මගේ නෝනාගේ රොටියි තක්කාලි හොද්දයි නිසයි මම ක්‍රිකට් ලෝක කුසලානයට ගියේ | Page 2 | සිළුමිණ

මගේ නෝනාගේ රොටියි තක්කාලි හොද්දයි නිසයි මම ක්‍රිකට් ලෝක කුසලානයට ගියේ

PRASANNA hennayake

අයි.සී.සී.යේ අනුදැනුමක් නැතිව ලාහෝර් ක්‍රීඩාංගණයට ගිහිල්ලා මාධ්‍ය ආවරණ හැඳුනුම්පතක් හදාගත්තා

ලාහෝර් පිටියට යන්න ක්‍රීඩක බස් රියේ ඉඳිද්දී වට්මෝරුයි, කොන්ටූරියි මාව බිමට ඇදලා දාන්න හැදුවා

අර්ජුන ඇවිත් වට්මෝර්ට බැනලයි ඒක නැවැත්තුවේ ආබාධිත ක්‍රිකට් ලෝලියා ශ්‍රී ලංකාවට සුබ පතන්න පෙරමඟට ඇවිත් හිටියා. අර්ජුන ඔහුගේ අත අල්ලලා ඒ සුබ පැතීම පිළිගත්තා.

සිරුරින් ගත් කල වඩා වැඩි විශේෂත්වයක් නැති කුඩා මිනිසෙකි. එනමුදු හැකියාවෙන් බලන කල හේ උත්තුංග දැවැන්තයෙකි.

ඌවේ සිට දූවිලි පුරවරයට පැමිණ ඒ දූවිලි පුරවරයේ දුර්ගම භාවයේ ගිරි ශිඛර මත මාළිගා තැනූ ඔහු නමින් ප්‍රසන්න හෙන්නායකය. ක්‍රිකට් ලෝක කුසලාන විජයග්‍රහණයෙන් වසර විසිපහක සැමරුම් මතක අතර එම ජයග්‍රහණය සාක්ෂි පිටපත් කළ ‘උපනෙත’ පිටුපස සිටි ‘ක්ෂණ මිනිසා’ වන්නේද ඔහුමය. ‘ක්‍රීඩා’ ඔහු හා සංවාදයකට වේදිකා තැනෙන්නේ එවැනි පසුබිමකය.

ඔබ කැමරාව තුළින් සමාජය කියවන්න පටන් අරගෙන කොපමණ කාලයක් වෙනවා ද?

වසර හතළිහක් වෙනවා. මම ඡායාරූප ශිල්පය පටන් ගත්තේ පාසල් යන කාලෙදි. ඒ පාසලේ ඡායාරූප සංගමයේ සාමාජිකයෙක් විධිහට. ඒත් පින්තූර නම් ගන්න ලැබුණේ නෑ.

ඇයි ඒ? කැමරාවක් තිබුණේ නැද්ද?

නෑ ඇත්තටම මම පාසලේදී දක්ෂතා දැක්වූයේ ශිෂ්‍ය භටයෙක් විධිහටයි. ඒක කොයිතරම් ප්‍රබලද කියනවා නම් වරක් ලංකාවේ හොඳම පාසල් ශිෂ්‍ය භට සාජන්ට්වරයා වශයෙන් මම සම්මාන ලැබුවා. ඒ අංශයෙන් යන්න තියෙන ඉහළම තැන දක්වා මම ගියා. ඒ නිසාම ඡායාරූප සංගමය තුළ ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ.

එතකොට කැමරාව අතට ගන්න පාර කැපුණේ කොහොම ද?

මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. අපි බදුල්ලේ. මම ඉගෙන ගත්තේ බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේ. එහෙම තියෙද්දී ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් වෙන්න හැකිවෙනවා.

පස්සේ යම් යම් දඬුවම් මාරු එක්ක අප්පච්චිත්, අම්මත් එක්ක මුළු පවුලම ඇවිත් කොළඹ පදිංචි වෙනවා. එක අතකින් ඒක දෛවයෝගයක්. මොකද ඔය කාලේ අපේ අම්මා උගන්වපු පාසලේම තමයි ධර්මසිරි ගමගේ මහත්තයාගේ නෝනාත් සේවය කළේ. ඒ කාලේ මම කරන පුංචි පුංචි නිර්මාණ අපේ අම්මා, ගමගේ මහත්තයාගේ නෝනට දීලා ඒවා ලේක්හවුසියේ පත්තරවල පළ කෙරුවා. ඔය අතරේ පාසලෙන් ඉවත් වෙද්දී තමයි මට ඒ මහතා පටන් ගත්ත යොවුන් ජනතා පත්තරයට එක්වෙන්න ලැබෙන්නේ. ඊට පස්සේ එතුමා නිසා තමයි මට ඡායාරූප කලාව ඉගෙන ගන්නත් අවස්ථාවක් උදාවෙන්නේ.

ඒ කොහොමද ඒ? ධර්මසිරි ගමගේ මහතා කියන්නේ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙක්, කලාකරුවෙක් බව ඇත්ත. ඒත් ඡායාරූප ශිල්පියට දක්ෂයෙක් කියලා අපි අහලා නෑ?

නෑ. මම යොවුන් ජනතා පත්තරයට ලිපි ලියාගෙන යද්දී තමයි ඒ අවස්ථාව ලැබුණේ. එහෙම ලියද්දී මම ලියූ ලිපි හුඟාක් ජනප්‍රිය වුණා. මේ අතර ත්‍රස්තවාදීන් රත්මලානේ ගුවන්තොටුපොළේ ගුවන් යානයකට පහර දුන්නා. ඉතිං මම ඒ ගැන ලිපියක් ලියන්න ගියා.

මම එතැනට යද්දී යානයට එල්ල කළ ප්‍රහාරය නිසා වැටිලා තිබුණු සුන්බුන් එතන හිටපු ආරක්ෂකයෙක් අතුගානවා මම දැක්කා. එතකොට මට හිතුනා මේක ලියනවාට වඩා කැමරාවක් තිබුණානම් කොච්චර අපූරු, වචන දාහකින්

කිවහැකි පින්තූර ගන්න තිබුණද කියලා. පස්සේ මම ඒක ගමගේ මහත්තයටත් කිව්වා. එතුමා එවලෙම මාව ලාල් හෑගොඩ මහතාට සම්බන්ධ කළා. එතැනින් තමයි මම ඡායාරූපකරණය පැත්තට හැරෙන්නේ.

එතකොට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ කොහොම ද?

ඒක සිද්ධ වුණේ බන්දුල වර්ණපුර නිසයි. ඇත්තම කියනවා මම පුංචි කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ඔහුට කැමතියි. ඔහුත් මගේ පාසලේමයි. ඊට පස්සේ අර්ජුන රණතුංග මගේ පවුලේ මිතුරෙක් වුණා. ඒ ඔහුගේ බිරිය සමදරා හා මගේ බිරිය අතර තිබුණු මිත්‍රත්වයත් නිසයි. ඒ මිත්‍රත්වය මාව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දක්වා රැගෙන ආවා.

එහෙමද ඔබ 96 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියා වෙන්නේ?

නෑ. ඒ කාලේ මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල ඡායාරූප ශිල්පියා නෙවෙයි. මොකද මට එහෙම පත්වීමක් ලැබිලා තිබුණේ නෑ. නමුත් මම 96 ලෝක කුසලානයේ අවසන් තරගය ස්වේච්ඡාවෙන්ම ආවරණය කළා. එදා රටේ සෑම පත්තරයකම පළවුණේ මගේ පින්තූර තමයි.

එහෙනම් ඔබ කොහොමද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණයට එක්වුණේ?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර්ජුන රණතුංග පවුලයි මගේ පවුලයි හොඳ මිත්‍රයෝ. සමහරදාට අර්ජුනයි ඔහුගේ බිරිය සමදරායි මගේ ගෙදර ඇවිත් යනවා. අපි ඔවුන්ට ආගන්තුක සත්කාර කරනවා. මොකද යාලුවොනෙ. එතකොට මගේ බිරිය බොහෝ වෙලාවට හදන කෑමක් තමයි රොටියි, තක්කාලි හොද්දයි. ඒක හරි රසයි. අර්ජුන හා ඔහුගේ බිරිය පවුලේ හිතවතුන් නිසා මේ විධිහට රැ කෑමක් කන්න බලාගෙනම අපේ ගෙදර එනවා. එහෙම ආපු දවසක තමයි අර්ජුන කිව්වේ මේ පාර අපි ලෝක කුසලානය දිනනවා. පුලුවන් නම් වරෙන් කියලා. ඒක තමයි ක්‍රිකට් ආවරණය කරන්න පාර කැපුවේ.

ඉතිං ඔබ එකවරම අර්ජුණගේ යෝජනාවට එකඟ වුණාද?

මෙහෙමයි මම එකපාරට ගියේ නෑ. නමුත් එදා අර්ජුන කිව්වා වගේම 96 ලෝක කුසලානයේ අවසන් තරගයට අපි කොහොම හරි ආවා. ඒ එක්කම අර්ජුනගේ ආරාධනය මට මතක් වුණා. ඉතිං මම මගේ පුද්ගලික වියදමෙන් පාකිස්තානයට ගියා. හැබැයි එහෙට ගියාට මට ක්‍රීඩාංගණයට යන්න විධිහක් නෑනේ.

ඉතිං මම කළේ ලාහෝර් ගිය ගමන් කෙළින්ම අපේ ක්‍රීඩකයෝ ඉන්න හෝටලයට යන එකයි. එහෙදි අර්ජුන මාව දැකපු ගමන් සතුටු වුණා. ඔහු කිව්වා එහෙනම් ලාහෝර් තරගයට ඇවිත් පින්තූර ගනිං කියලා. මම හා කිව්වා. ඒත් ක්‍රීඩාංගණයට යන්න මට බලපත්‍රයක් තිබුණේ නෑනෙ? අර්ජුන මාව අපේ කණ්ඩායමේ බස් එකට නැගලා ක්‍රීඩාංගණයට යන්න කිව්වා. ඒ විධිහට මම දැන් අපේ බස් එකේ ඉඳගෙන ඉන්නවා. එහෙම ඉන්කොට මුලින්ම වට්මෝර් එක්ක ඇලෙක්ස් කුන්ටූරි බස් එකට ආවා. ඔවුන් ඇවිත් මාව දැක්කා විතරයි කලබල වුණා. ඔවුන් දැන් මට බැනලා මාව එළියට දාන්න හදනවා. ඒ සිද්ධිය වෙද්දී ටික වෙලාවකට පස්සේ අර්ජුනයි, අනෙක් ක්‍රීඩකයොයි බස් එකට නැග්ගා. ඒ වෙලාවේ ඔහු වට්මෝර්ලට දොස් කියලා තමයි මට බස් එකේ ක්‍රීඩාංගණයට යන්න හැකිවුණේ.

ඉතින් එහෙම ක්‍රීඩාංගණයට ගියාට මාධ්‍ය අවසර පත්‍රයක් නැතිව තරගාවලියක් ආවරණය කරන්න බෑනෙ? විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක්?

ඔව්. ඒත් මම ක්‍රීඩාංගණයට ඇතුළු වෙලා අයි.සි.සී, බලධාරීන්ට කියලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡායාරූප ගන්න නිල අවසර පත්‍රයක් හදවා ගත්තා. ඊට පස්සේ තමයි පින්තූර ගන්න ක්‍රීඩාංගණයට එන්න පිළිවන් වුණේ.

අහුමුළු වලින් රිංගලා කොහොම හරි ඉලක්කයට යන්න පුලුවන්කම දක්ෂතාවයක්. එහෙම ගිහිල්ලා ඔබ ගත්තු පින්තූර අතරින් සුවිශේෂී පින්තූර මතකයේ තියෙනවද?

ලෝක කුසලානයේ ගත්ත හැම පින්තූරයක්ම විශේෂයි. පිට්ටනියට ගිය වෙලේ ඉඳලා මම කළේ පින්තූර ගන්න එක. ක්‍රීඩකයන්ගේ කාමරය තුළ ඡායාරූප, පිට්ටනියේ ඡායාරූප, ශූරතාවය දිනුවට පසුව, ශූරතාවය සමඟ, ගුවන් යානය ඇතුළේ ඡායාරූප, ලංකාවට ආවට පස්සේ ගුවන්තොටුපොළ ඇතුළේ ක්‍රීඩක සිදුවීම්වල ඡායාරූප ඇතුළු දකින හැම ඡායාරූපයක් වගේ මම ගත්තා. ඒ හැම එකක්ම මට විශේෂයි.

එතකොට අර ආබාධිත පාකිස්තාන ක්‍රිකට් ලෝලියාගේ සුබ පැතීම කොහොමද ඔබේ කැමරාවේ සටහන් වුණේ?

ඒක අපූරු සිදුවිමක්. මට ඒ ඡායාරූපය ලැබුණේ අර්ජුන තමන්ගේ කණ්ඩායම එක්ක මුලින්ම පන්දු රකින්න පිටියට ඇවිදගෙන එනකොටයි. ඒ ආබාධිත ක්‍රිකට් ලෝලියා ශ්‍රී ලංකාවට සුබ පතන්න හිතාගෙන පෙරමගට ඇවිත් හිටියා. අර්ජුන ඒ සුබපැතීම පිළිගත්තා. ඒ ආබාධිත ප්‍රේක්ෂකයාගේ අත අල්ලලා ඔහු ඒ සුබ පැතීම පිළිගත්තා. ඒ ක්‍රීඩා ලෝලියාගේ මුවේ තිබුණු සතුට පුදුමාකාරයි. එදා අර්ජුනගේ තිබුණු උසස් පෞරුෂය මා තුළ ඇතිකළේ විශාල ගෞරවයක්.

එතකොට අවසන් තරගයේ ජාතික ගීතය සම්බන්ධවත් ගැටලුවක් වුණාලු නේද?

ඔව්. එදා ලාහෝර් තරගයේදී ඔස්ට්‍රේලියානු ජාතික ගීය වාදනය කරලා දෙවැනියට වාදනය කළේ දකුණු අප්‍රිකාවේ ජාතික ගීයයි. මොකද ඔවුන් සිතාගෙන ඉන්න ඇති දකුණු අප්‍රිකාව අවසන් තරගයට එයි කියලා. ජාතික ගී දෙකක් වාදනය වුණාට පස්සේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිටියෙන් ඉවත් වුණා. ඒත් අර්ජුනයි, සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයොයි හෙළවුණේවත් නෑ. අර්ජුණ කිව්වා අපේ ජාතීක ගීය වාදනය කරනතුරු පිටියෙන් ගිහින් තරගයට එකතුවෙන්න බෑ කියලා. ඒ වෙලාවේ සංවිධායකයන් ශ්‍රී ලංකා ජාතික ගීය හෙව්වා. මේ අතරේ මම යෝජනා කළා අපේ ජාතික ගීය අපිම ගයමු කියලා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයකුත් ලාහෝර් ඇවිත් සිටියේ. අපේ කණ්ඩායම ජාතික ගීය ගයද්දී ඔවුනුත් ජාතික ගීතය ගායනා කළා. ලාහෝර් හි ගඩාෆි පිටිය ශ්‍රී ලංකා ජාතික ගීයෙන් නින්නාද දෙද්දී අයි.සී.සී. සංවිධායකයෝ අපේ ජාතික ගීය සොයාගෙන වාදනය කළා. ඒ සිදුවීම කිව්වේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ජාතික හැඟීමේ ප්‍රබලත්වයයි.

අවසන් තරගයෙන් පසුව සිදුවුණු, බාහිර සමාජය නොදන්න බොහෝ සිදුවීම් ඔබ දන්නවා. ඒ කීපයකුත් මතක් කරමු?

ඔව්. එදා අර්ජුන ෂේන් වෝන්ට හිතාගන්න බැරි විධිහට ඔහුගේ දෑත් අතරින් ගහපු පාර මට මතකයි. ඒ වෙලාවෙම මම වෝන්ගේ මූණ පින්තූරයකට හසුකර ගත්තා. ඒ වගේම මට මතකයි තරගයට පෙර දිනයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එකතුවෙලා ඇත්ත ලෝක කුසලානය එක්ක ඉඳලා දිගින් දිගටම ඡායාරූප ගත්තු හැටි. ඒ වෙලාවේ අපේ ක්‍රීඩකයකුත් ඒ විධිහට පින්තූර ගන්න යන්න හැදුවා. එතකොට අර්ජුන කිව්වා යන්න එපා කියලා. හැමෝම බලාගෙන ඉඳිද්දී ඔහු කිව්වා ඕක හෙට අපි අතට අරගත්තාම ඕනෑ තරම් පින්තුර ගන්න පුලුවන්. ඒ නිසා දැන් ඒවා ගන්න ඔස්ට්‍රේලියාවට ඉඩදෙන්න කියලා. ඒක ඇත්ත වුණා. හැබැයි අර්ජුන ක්‍රිකට් කුසලානය දිනලා මුලින්ම ඇවිත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කිව්වේ තම තමුන් අදහන ආගම සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්න කියායි. එහෙම නැතුව ෂැම්පේන් බීලා සව්දිය පුරන්න නෙවෙයි. එහෙමයි එදා කණ්ඩායම තුළ ක්‍රීඩක විනය තිබුණේ. අනෙක එදා අර්ජුනගේ බිරිය සමදරයි, එයාගේ පුතයි ලාහෝර්හි තරගය නැරඹුවේ පොදු ප්‍රේක්ෂකාගාරය තුළ ඉඳලයි. එදා ඇයට ප්‍රභූ ප්‍රවේශ පත්‍ර ලැබුණේ නෑ. ඒ නිසා තමයි එදා ක්‍රිකට් අද ක්‍රිකට් අතර වෙනස ලෙස මම දකින්නේ.

අර්ජුන ලෝක කුසලානය ගත්තාට පස්සේ මුලින්ම කළේ එයාගේ අම්මාට වඳින එක. ඊට පස්සේ එයාගේ බිරිය සමදරාව වැළඳ ගත්තා. ඊටත් පස්සේ පුතාව තුරුළට අරගෙන ඇඬුවා. මේ අවස්ථා සියල්ල මගේ කැමරාවේ සටහන් වුණා. ඇත්තටම ඒ හැමදෙයක්ම මතක.

ඊට පස්සෙද ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඡායාරූප ශිල්පියා වෙනවා?

ඔව්. මම 1997 වසරේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගේම ජාතික ඔලිම්පික් කමිටුවෙත් නිල ඡායාරූප ශිල්පියා වුණා. මම ඒ තනතුරුවලින් ඉවත්වන්නේ 2002 වසරෙදියි.

ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න පූර්ව සැලසුමක් තිබුණද?

නෑ. මම ගියේ අර්ජුනගේ ඉල්ලීම පිටයි. එහෙම නැතිව මම ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න හිතාගෙන ලෝක කුසලාන අවසන් මහා තරගය ආවරණය කළේ නෑ.

කොහොම වුණත් පසුව ඔබ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ ක්‍රිකට් ආයතනය හොඳට ගෙවන්න ඇති?

මෙහෙමයි. මම කරපු වැඩවලට විතරයි මුදල් ගත්තේ. නැතිව නිත්‍ය වැටුපක් ගත්තේ නෑ.

එතකොට ක්‍රිකට් ආයතනයෙන් ඉවත් වුණේ?

පසුකාලීනව ක්‍රිකට් ගිය ගමන ගැන මට සතුටක් නැතිවුණා. එතනට සල්ලි එකතු වෙන්න වෙන්න ඒක ව්‍යාපාරයක් වුණා. කණ්ඩායමේ ජයග්‍රහණය අඩුවෙන්න ගත්තා. ඉතින් මම එතැනින් ඉවත් වුණා. ඒ වගේම මම වත්මන් අගමැතිතුමාගේ ඡායාරූප අංශයේ වැඩකටයුතුවලටත් එකතුවෙන්න වුණා. ඒකත් ක්‍රිකට් වලින් ඈත් වෙන්න තවත් හේතුවක්.

1996 ශ්‍රී ලංකාව හිමිකරගත් ක්‍රිකට් විජයග්‍රහණයට දැන් වසර විසි පහයි. අද ක්‍රිකට් ක්‍රීඩාවයි, එදා ක්‍රිකට් ක්‍රීඩාවයි, ඔබේ ලාහෝර් මෙහෙයුමයි ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම කියනවා නම් ඒක මම සතුටෙන් සමරන මතකයක්. මම කැමරා බඩු ගොඩක් අසීරුවෙන් එල්ලාගෙන පෞද්ගලික වියදමින් ලාහෝර් ගිහින් ඒ කරපු ඡායාරූප මෙහෙයුම නිසා අපිටම කියලා මතක සමරු ගොන්නක් ඉතිරි වුණා. එදා ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගෞරවණීය හැඟීම් මාලාවක්. ඒත් අද එදා තිබුණු කණ්ඩායම් එකමුතුව නෑ. එදා අර්ජුණ, අරවින්ද නායකයා උපනායකයා විධිහට තියාගත්ත මිත්‍රත්වය අද කණ්ඩායමේ දකින්නේ නෑ. ඒ නිසා මේ 96 අසම සම විජයග්‍රහණය මට මහානර්ග මතකයක්.

මේ ක්‍රිකට් මතක සැමරුම් විඳින්න ක්‍රීඩා ලෝලීන්ටත් අවස්ථාවක් ලබාදෙන්න ඔබගේ උත්සහයක් නැද්ද?

තියෙනවා. මගේ ළඟ ක්‍රිකට් සමරු භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයකට වර්ල්ඩ් කප් එක දවසේ අර්ජුන, මහානාම, හෂාන් ඇඳපු කලිසම්, අරවින්දගේ කමිසය, ගුරුසිංහගේ සීතලට අඳින වූල් බැනියම වගේ සමරු අදත් මා ළඟ ප්‍රවේශම්. ඒ වගේ සමරු ගොඩාක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට බලාගන්න අවස්ථාවක් ලබාදෙන්න ඉදිරියේ ප්‍රදර්ශනයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments