සෞදිය සම්බන්ධව ඇමරිකාවේ නව පිළිවෙත ෆොසිල ඉන්ධන යුගයේ අවසානයේ ආරම්භයද? | Page 2 | සිළුමිණ

සෞදිය සම්බන්ධව ඇමරිකාවේ නව පිළිවෙත ෆොසිල ඉන්ධන යුගයේ අවසානයේ ආරම්භයද?

ලෝක තෙල් මිල තවදුරටත් ලෝකයට විශාල බලපෑම් කළ නොහැකි තැනකට පත්වන අතර, පරිසර හිතකාමී බලශක්ති වෙත ලෝකය ශීඝ්‍රයෙන් ගමන් කරන්නට විය. ඒ සමඟම ක්‍රමයෙන් ලෝකයේ අන් කවර ප්‍රදේශයකටත් වඩා මැද පෙරදිග කළාපය සම්බන්ධව ඇමරිකාවේ පැවති උනන්දුව අඩු වන්නට විය.

 

ලෝකය පවතින්නේ හිතවත්කම්, යාළුමිත්‍රකම් හෝ ඥාති සබඳකම් මත නොවේය. ලෝකයේ රටවල් අතර හිතමිත්‍රකම් පවතින්නේ තමන්ට වාසිදායක තත්ත්වයන් දක්වා පමණක්ය. ඒ සඳහා උදාහරණ ඔනෑතරම්ය. අදින් දශක දෙකකට පමණ පෙර ඇමරිකාවට සෞදි අරාබිය තරම් රටක් තිබුණේ නැත. ඇමරිකාවේ හොඳම මිතුරා සෞදිය වූ අතර, මැද පෙරදිග කලාපයේ ප්‍රධාන භූමිකාව සෞදිය හිමි කර දීමට ඇමරිකාව මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඇමරිකානු හමුදාවෝ නිතර සෞදියේ ලැගුම් ගෙන සිටි අතර, මැද පෙරදිග කලාපයේ වෙනත් රටවල් සමඟ ගැටුම් ඇති කර ගත් සෑම අවස්ථාවකදීම ඇමරිකානු හමුදාවන්ට සේවා සපයනු ලැබුවේ සෞදි භූමියේ සිටය. ඉරාකය ඇතුළු බොහෝ රටවල් බිමට සමතලා වන තෙක් බෝම්බ හෙළීමට ඇමරිකානු ගුවන් යානා ගුවනට නැඟුණේ සෞදි භූමියේ සිටය.

කොටින්ම කිවහොත් ඇමරිකාව සහ සෞදිය හොඳම මිත්‍රයෝ වූහ.

එවකට ලෝකයේ පැවති ෆොසිල ඉන්ධන නිධි අතරින් විශාල ප්‍රමාණයක් සෞදි අරාබියට හිමි වී තිබූ අතර මුළු ලෝකයම පැවතියේ ෆොසිල ඉන්ධන මතය. සෞදි අරාබිය ප්‍රධාන ලෝක බොර තෙල් මිල පාලනය කළ රටවලින් සමන්විත වූ ඔපෙක් සංවිධානය නිල නොවන ලෝක පාලකයා බවට පත්ව සිටියේය. ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකය ඔපෙක් සංවිධානය විය. ඒ අතරින්ද සෞදි අරාබිය මූලික විය. ඒ නිසාම මේ තෙල් බලවතා හොඳින් තබා ගැනීමට ඇමරිකාව කළ හැකි සියල්ලම කළේය. ඒ යුගයේ සෞදිය ආරක්ෂා කිරීමට ඇමරිකාව නිරන්තරව කැපවී සිටියේය. සෞදිය හොඳ වැඩ කළද, නරක වැඩ කළද ඇමරිකාව සෑම අවස්ථාවකදීම සිටියේ සෞදිය පැත්තේය. ඇමරිකානු ජනාධිපතිවරුන් සෞදි රජුගේ හොඳ හිත වර්ධනය කර ගැනීමට ලබා දුන් පඬුරු පාක්කුඩම් ගැන ඔත්තු සේවාවන්හි නිරත වී පසුව ඉන් ඉවත් වුණු පුද්ගලයන් කිහිප දෙනෙකුම රචනා කළ පොත්වල පැහැදිලිව සඳහන්ව ඇත්තේය.

ලොව එසේ පවතින අතර පෘථිවිය සතු ඛණිජ තෙල් ප්‍රමාණවත් වන්නේ 2050 දක්වා බවට නිර්ණය කෙරෙන්නේය. එමෙන්ම ෆොසිල ඉන්ධන භාවිතය ගෝලීය උණුසුම ඉහළ යෑම ඇතුළු තවත් ගැටලු රාශියක් ඇති කරන බවද තහවුරු වන්නේය. එතැන් සිට ලොව පුරා විද්‍යාඥයන් ක්‍රියාත්මක වන්නේ විකල්ප බලශක්ති සෙවීමේ අරමුණ ඔස්සේය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බලය වඩාත් විධිමත් ලෙස ප්‍රවාහනය සඳහා ආරෝප කර ගැනීමේ හැකියාව සොයා ගන්නා අතර, ස්වභාවික බලශක්ති ඔස්සේ විදුලි බලය නිපදවා ගැනීමේ හැකියාවද මිනිසා ළඟා කර ගන්නේය.

මේ සියල්ල මිනිස් වර්ගයා ඉදිරියට ගන ගියද සෞදි අරාබිය නම් මරු පරහවල්ම විය. ලෝක තෙල් මිල තවදුරටත් ලෝකයට විශාල බලපෑම් කළ නොහැකි තැනකට පත්වන අතර, පරිසර හිතකාමී බලශක්ති වෙත ලෝකය ශීඝ්‍රයෙන් ගමන් කරන්නට විය. ඒ සමඟම ක්‍රමයෙන් ලෝකයේ අන් කවර ප්‍රදේශයකටත් වඩා මැද පෙරදිග කලාපය සම්බන්ධව ඇමරිකාවේ පැවති උනන්දුව අඩු වන්නට විය. පැරණි අතිජාත මිත්‍රයන් අමතකව ගිය අතර ඇමරිකානු ජනාධිපතිවරයකු බලයට පැමිණි සැණින් සෞදි අරාබියට කරන ප්‍රථම නිල සංචාරයන්ද අහෝසිව ගියේය.

තමන් සතු බලය ක්‍රමයෙන් වියැකී යමින් පවතින බව අන් කවරකුටත් වඩා හොඳින් සෞදි අරාබිය වටහා ගත්තේය. සෞදි රජුගේ පුත්, ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු අන් කවරටකුටත් වඩා හොඳින් සෞදි බලය බිඳ වැටෙමින් පවතින බව වටහා ගත්තේය. ඔහු වහාම සෞදිය නව සියවස කරා ගෙන යන නව වැඩපිළිවෙළක් සකස් කරන්නට වූ අතර ෆොසිල ඉන්ධනවලින් විතැන් වී නව මූල්‍ය උත්පාදන ක්‍රම වෙත සෞදි ආර්ථිකය විවර කරන ක්‍රම සැකසීමට පමණක් නොව ඒ ක්‍රම ක්‍රියාත්මක කිරීමටද බිල් සල්මාන් කුමරු කටයුතු යෙදීය.

උදාහරණයක් ලෙස සංචාරක ව්‍යපාරය දැක්විය හැකිය. බින් සල්මාන් කුමරුට අනුව ඉදිරි සියවසේදී සෞදි අරාබි ආර්ථිකයේ ප්‍රධාන ඉපයීම් මාර්ගය සංචාරක ව්‍යපාරය වනු ඇති අතර, ඒ සඳහා සුදුසු පරිසරය රට තුළ ඇති කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමද ආරම්භ කරනු ලැබීය. එය එක්තරා අතකින් සෞදි ආර්ථිකය මෙන්ම සමාජයද ප්‍රතිසංස්කරණය කිරීමට පාර කැපීය.

සංචාරක ව්‍යාපාරය පැවතීමට නම් රටේ විවෘත සමාජ ක්‍රමයක් පැවතිය යුතු වූ අතර මුස්ලිම් නීතිය සහ සමාජ ක්‍රමය වැනි ආවෘත සමාජ ක්‍රමයක් යටතේ නිදහස් සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගැනීම අසීරු විය. ඒ අනුව රටේ ඉදිරි ආර්ථික ශක්තිය වෙනුවෙන් සමාජ ක්‍රමයේ යම් යම් වෙනස්කම් සිදු කිරීම ආරම්භ වූ අතර, කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබීම ඒ සඳහා හොඳම උදාහරණයක් විය. සෞදි කාන්තාවන්ට මුස්ලිම් නීතිය යටතේ රිය පැදවීම සඳහා මේ දක්වා අවසර ලැබී තිබුණේ නැත. එහෙත් ෆොසිල ඉන්ධන අලෙවිය මඟින් මුදල් උපයන රටකට එවැනි නීති සමඟ පැවතිය හැකි වුවද සංචාරක ව්‍යාපාරය මඟින් මුදල් උපයන රටක නීති ලිහිල් විය යුතුය. ඒ අනුව සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබුණු අතර ඒ සියල්ල බින් සල්මාන් කුමරුගේ අනාගත දැක්ම යටතේ ගත් තීරණ බව පැවසිය හැකිය.

මේ වන විට තම රට සංචාරක ආකර්ෂණය සහිත රටක් බවට පත් කිරීමට සෞදිය වේගයෙන් කටයුතු කරමින් සිටින්නේය. ඔවුන් මේ දක්වා උපයා ගත් තෙල් සල්ලි කුට්ටි පිටින් වියදම් කරමින් කාන්තාරයේ සංචාරක ආකර්ෂණය සහිත නගර ඉදි කිරීම අරඹා ඇති සෞදි පරිපාලනය පසුගියදා අලුතෙන්ම ප්‍රකාශ කර සිටියේ සෞදි කාන්තාරයේ අති විශාල නගරයක් ඉදි කිරීමට කටයුතු යොදා ඇති බවය.

ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු මාධ්‍ය හමුවේ මේ බව පවසා සිටි අතර ඔහු පෙන්වා දුන්නේ එලෙස කාන්තාර භූමියේ ඉදි කිරීමට නියමිත නගරය ප්‍රමාණයෙන් බෙල්ජියම හා සමාන වන බවයි. එමෙන්ම මේ නගරය දුම් සහ ඉන්ධන අපද්‍රව්‍යවලින් විනිර්මුක්ත වන බවත්, ඒ වෙනුවට නගරය කෘත්‍රිම බුද්ධිය මඟින් පාලනය කරනු ඇති බවත්ය.

මීට අමතරව තවත් ධනෝපායන මාර්ග රැසක් වෙත සෞදිය දොරටු විවර කරමින් සිටින අතර, වෛද්‍ය අධ්‍යාපන මෙන්ම මෝටර් රථ අමතර කොටස් වැනි තවත් අංශ ගණනාවක් ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට සෞදි බලධාරීන් කටයුතු කර තිබේ.

මේ අන්දමින් විසි එක්වැනි සියවසේ අති තරගකාරී ආර්ථිකයන් අතර සෞදි අරාබිය ගිලී නොයෑමට දැඩි වෙහෙසක් දරන බින් සල්මාන් කුමරාට දැන් තමා කළ පවු හෙවනැල්ල සේ පසුපසින් පැමිණීමේ අභියෝගයටද මුහුණ දීමට සිදුවී තිබේ. ඒ ජමාල් කෂෝගි සිදුවීමයි.

උපතින් සෞදි ජාතිකයකු වුවද කෂෝගි පසුව ඇමරිකානු පුරවැසිභාවය ලබා ගත් පුද්ගලයෙකි. ඔහු නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට බියක් නොමැති ව සෞදි රජපවුල විවේචනය කරමින් ලිපි සපයන්නේද ඔහු තුළ පැවති විශ්වාසයක් හේතුවෙන් බව පැවසිය හැකිය. එහෙත් ඔහුගේ විවේචන නොඉවසූ බින් සල්මාන් කුමරු ඔහු ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කරවන්නේය.

මේ දක්වා පැවති ට්‍රම්ප් රජය ඊට ප්‍රතිචාර ලෙස ඉතා ඇල්මැරුණු අන්දමින් කටයුතු කළ අතර සල්මාන් කුමරුගේ මැදිහත්වීම් දිගින් දිගටම ඔප්පු වෙමින් පවතින වටාපිටාවක ඒ කිසිවක් හෙළා දැකීමට හෝ කටයුතු නොයෙදීය.

දැන් බයිඩ්න් රජය ට්‍රම්ප් රජයේ ප්‍රතිපත්තිවලට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ ලෙස කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ ඇති සබඳතා පැහැදිලි බව පවසමින් සල්මාන් කුමරුට දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඒ පසුගියදා කශෝගි ඝාතනය සම්බන්ධ ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් පදනම් කර ගනිමිනි. එම වාර්තාවට අනුව කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධය ඉතා පැහැදිලි අතර, ඔහුට දඬුවම් කළ යුතු බවද නිර්දේශ වී තිබේ.

කශෝගි ඝාතනය සම්බන්ධව ලෝකයෙන් එල්ල වුණු චෝදනා යටතේ සෞදිය මීට පෙර නඩු විභාගයක් පැවැත්වූ අතර වරදකරුවන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කර දඬුවම්ද නියම කරන ලදී. එහෙත් පසුගිය වසරේදී එම පුද්ගලයන්ගේ සිර දඬුවම් අවම කෙරුණු අතර,ඇතැම් චූදිතයන්ට නිදහසද ලබා දෙන ලදී.

එහෙත් දැන් ඇමරිකාව පවසා සිටින්නේ තමන් කශෝගි ඝාතනය සම්බන්ධව නිකම් අතහෝදා ගැනීමට සූදානම් නොමැති බවය.

මේ නම් පැණි වරකා ගසට හෙණ ගැසීමකි. මේ දක්වා ඉතා සියුම් ලෙස පවත්වාගෙන පැමිණි සෞදි සබඳතා තවදුරටත් තමන්ට වැදගත් නොවන බවට වන ඉඟියකි. ඇමරිකාව මේ වන විට විකල්ප බලශක්ති වෙත වේගයෙන් ගමන් කරමින් පවතින අතර, එරට ටෙස්ලා සමාගම සම්පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ අති විශාල ලෙස වෙළෙඳපොළට නිකුත් කරමින් තිබේ. යුරෝපය පවසා ඇත්තේ 2050 වන විට ෆොසිල ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ භාවිතය සම්පුර්ණයෙන් අත්හැර දමන බවයි.

එසේ නම් එවැනි යල් පනින මිතුරක් නඩත්තු කරනවාට වඩා ලෝකයේ හොඳනම දිනා ගනිමින් තම පුරවැසියාට සාධාරණය ඉටු කරන ලෙස තර්ජනය කිරීමේ වඩා පහසු මානව ඇමරිකාව විසින් තෝරා ගන්නට ඇති ඉඩ වැඩිය. මෙහිදී ඇමරිකාව සිදු කර ඇත්තේද එයම බව පැවසිය හැකිය. මේ අන්දමින් සෞදිය මෙන්ම මැදපෙරදිග කලාපය සතු තෙල් බලය වෙනත් බලශක්ති වෙත විතැන් වීම යනු ලෝක බල ධූරාවලියද වෙනත්ම මාවතක් වෙත පිවිසීමේ මූලාරම්භය බව පැහැදිලිය.

එය එසේ වන විට තෙල් සම්පත් සහිත රටවල පාලකයන් කුමක් කර ගත්තද ලෝක බලවතුන්ට මැදිහත්වීම් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඒ තවදුරටත් තෙල් සම්පත තමන් සතු කර ගැනීමේ යටි අරමුණු ලෝක බලවතුන් සතු නොවන නිසාවෙන්ය.

එය එසේ නම් ඉන්පසු දෙදරන්නේ මුස්ලිම් අන්තවාදය බවද කිව යුතුය.

මේ සියල්ල සිදුවීමට තවත් වසර දහයක්වත් ගතවනු නිසැකය. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ එවැනි වූ සමාජ පෙරළියක මූලාරම්භක සිදුවීම් පෙළ බව නම් නිසැකයෙන් පැවසිය හැකිය.

 

 

Comments