දඩල්ලෙන් ජයගෙන තරුණ සභා පිටියේ කඳවුරු බඳින වොලිබෝල් | සිළුමිණ

දඩල්ලෙන් ජයගෙන තරුණ සභා පිටියේ කඳවුරු බඳින වොලිබෝල්

හටන ශූරතාව වෙනුවෙන් සභභාගිවූ කණ්ඩායම් අතර ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ ‘කෝවිඩ් එන්නතින්’ ආරක්ෂාකර තිබුණා.

එන්නත්කරණයෙන් බලවත් වූ හා ස්වේච්ඡා නිරෝධායනයෙන් ආවරණිත වූ පිරිමි කාන්තා වොලිබෝල් කණ්ඩායම් විස්සක් අතර දඩල්ලේ පැවැති ජාතික වොලිබෝල් හටනේ අවසන් තරග වෙනුවෙන් කණ්ඩායම් හතරක් ලබන සෙනසුරාදා (13) මහරගම තරුණ සභා පිටියේ කඳවුරු බඳිනවා.

ඒ පිරිමි අංශයෙන් ‘බිටු ලින්ක් ගෲප්’, විදුලි බල ක්‍රීඩකයන් හා ගුවන් හා යුද කාන්තා කණ්ඩායම් අතරයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන සීමාසහිත සිලෝන් බිස්කට් සමාගම අනුග්‍රහය දක්වන ජාතික වොලිබෝල් ශූරතාව වෙනුවෙන් සභභාගිවූ කණ්ඩායම් අතර ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ ‘කෝවිඩ් එන්නතින්’ ආරක්ෂාකර තිබුණා. සෙසු ක්‍රීඩකයන් කණ්ඩායම් වශයෙන් ස්වේච්ඡා ජීව බුබුළු තාක්ෂණය තමයි භාවිත කර තිබුණේ. ඊට අමතරව තරගාවලිය අතරතුර විෂ බීජ හරණ දියර යොදා ගනිමින් උපරිම ආරක්ෂක උපක්‍රම භාවිත කළා.

තරගාවලියේ සුපර් ලීග් පිරිමි අවසන් තරගයට සුදුස්සෝ වුණේ අප පෙර කිව්වාක් මෙන් ‘බිටු ලින්ක් ගෲප්’ කියන ක්‍රීඩා සමාජය සහ රට ආලෝකමත් කරන ‘විදුලිබල මණ්ඩල කණ්ඩායම’ යි.

මේ ‘බිටු ලින්ක්’ ක්‍රීඩකයෝ ගාල්ල, දඩල්ල වොලිබෝල් නිවසේ තියෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය දීප්තිමත් කළේ වාසනා, ගුවන් හමුදා, තරුණ සේවා, වරාය අධිකාරී ක්‍රීඩා සමාජ පරාජය කරමින් අවසන් පූර්ව තරගය සඳහා අපරාජිතව පැමිණෙමිනුයි.

‘බිටු ලින්ක්’ ක්‍රීඩකයන් ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ‘ඉටු’ කරන්නට අවසන් පූර්ව තරගයේදී මුණ ගැහුණේ ප්‍රබල යුද හමුදා වොලිබෝල් කණ්ඩායමයි. ඒ තරගය උණුසුම් කරමින් තරග වට හතරක් දක්වා ඇදී ගියත් අන්තිමට කවුරුත් අපේක්ෂා කළ ආකාරයට දක්ෂතා එක්තැන් කරගත් ‘බිටු ලින්ක්’ ක්‍රීඩකයන්ට අවසන් හටනට දොරගුළු විවරවෙමින් රතු පාවඩ වැටුණා.

අනෙක් පසින් අවසන් හටනට සුදුසුකම් ලැබූ ‘විදුලි බල මණ්ඩල කණ්ඩායම’ තරගාවලිය පටන් ගත්තේ ජයග්‍රහණයකිනුයි. ඒ ගමනේදී ඔවුන් ‘ඕෂන්, නාවික, පොලිස් කණ්ඩායම් පරාජය කළත් යුද හමුදා කණ්ඩායම අතින් මූලික වටයේ තරගයක් පරාජය වුණා. ඒත් අන්තිමට ගුවන් හමුදාව සමඟ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ විදුලි බල වීරයෝ අවසන් හටනට සුදුස්සෝ වුණා.

ඒත් මෙහි ‘බිටු ලින්ක්’ ක්‍රීඩක කණ්ඩායමට මානසික වාසියක් තිබෙනවා. ඒ තමයි ‘විදුලි බල ක්‍රීඩකයෝ’ පරාජය වුණු යුද හමුදා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී බිම දැමීමට හැකිවීම. මේ හේතුවෙන් අවසන් මහා තරගය උණුසුම් වුවත් පටන් ගැන්මේ දී ම මානසික වාසිය තිබෙන්නේ ‘බිටු ලින්ක්’ ක්‍රීඩකයන් අතෙයි.

කාන්තා අංශයෙන් අවසන් සටන ගුවන් - පාබල යුද ගැටුමක්. තරුණ සේවා පිටිය තුළ ගිණි කෙළි පෙන්වන සටනකට ඔවුන් සූදානම්. හයිඩ්‍රාමනී, මාස් ක්ලෝදින්, වරාය අධිකාරිය පරාජය කරමින් පැමිණි ගුවන් ක්‍රීඩිකාවන්ගේ අවසන් ප්‍රහාරය එල්ල වුණේ නාවිකයන්ටයි.

යුද හමුදා යුවතියෝ තරුණ සේවා, මහ උස්වැව, නාවික කණ්ඩායම් පරාජය කර මූලික සටනේ දී හයිඩ්‍රාමනියන් බිම දමා අවසන් හටනට මහරගමට එන්න සුදුසුකම් ලැබුවා. දඩල්ල වොලිබෝල් නිවස උණුහුම් කළ ඔවුන් 13 වැනිදා ඒ කියන්නේ ලබන සෙනසුරාදා මහරගම තරුණ සභාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ මන්චි සුපර් ලීග් ශූරතාව වෙනුවෙන් එකිනෙකා හා සටන් වදිනවා. මෙම තරගාවලියේ පිරිමි තෙවැනි ස්ථානය යුද හමුදාවටත් කාන්තා තෙවැනි තැන නාවික හමුදාවටත් හිමි වුණා.

 

 

Comments