ශ්‍රී ලාංකික එක­මු­තුව හා කොටි ඩය­ස්පෝ­රාව අතර සීතල යුද්ධ­යක් | සිළුමිණ

ශ්‍රී ලාංකික එක­මු­තුව හා කොටි ඩය­ස්පෝ­රාව අතර සීතල යුද්ධ­යක්

මානව හිමිකම් උල්ලංඝනය කළ බව පවසමින් මෙරට රණවිරුවන්ට නැවත බොරු චෝදනා එල්ල කිරීමට කොටි ඩයස්පෝරාව කටයුතු කරමින් සිටිති. ඉකුත් සතිය පුරා මේ පිළිබඳව නොයෙක් කතා බහ සිදු කෙරිණි.

වසර තිහක ඉතිහාසයකට දිව ගිය මෙරට ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කාලයකින් අවසන් කර දැමීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ නම් අභීත එඩිතර නිර්භීත නායකයා නිසාවෙනි.

මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක ගොවි ජනතාවට පානය කිරීමට වතුර බිඳක් නොමැති අවස්ථාවක එය ලබාදීම වෙනුවෙන් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ත්‍රිවිධ හමුද­ාව ආරම්භ කළ මානුෂීය මෙහෙයුම පිළිබඳව මුළුමහත් ලෝකයම කතා කළේය.

එවකට ජනාධිපතිවරයා වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ හට ඇ‍ෙමරිකාව, ජර්මනිය, කැනඩාව ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් රැසක්ම යුද්ධය නතර කරන ලෙසට දැඩි බලපෑම් එල්ල කරනු ලැබීය. එහෙත් “මේ මගේ රටේ ප්‍රශ්නයක් මේක මට විසඳන්න පුළුවන් විසඳා ගැනීමෙන් පසුව අපි මේ ගැන කතා කරමු යැයි එඩිතර නායක මහින්ද එදා ලෝකයේ ප්‍රබල රටවල්වලට නොබියව කීවේය.

මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම ත්‍රස්තවාදීන්ගේ මුදල් මත යැපෙමින් ජීවත්වූ ඇතැම් කණ්ඩායම් යුද්ධය නැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වූයේය.

එහෙත් සතුරා සතුව තිබූ භූමිය කොටසින් කොටස අත්පත් කර ගනිමින් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ වසර ගණනාවක් නොයෙක් දුක් විඳි ලක්ෂ තුනකට ආසන්න ජනතාව ඉන් මුදාගෙන ඒ පිරිසට නිදහස ලබාදීම පිළිබඳව අද ඔවුන් මහින්ද රාජපක්ෂ නායකයා වෙත දක්වන්නේ අසීමිත ස්නේහයකි. අහිංසක දෙමළ ජනතාව අද උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන්නේ මහින්ද රාජපක්ෂ නායකයාණන්ට පිංසිදු වන්නට ය. එමෙන්ම බැසිල් රාජපක්ෂයන් ක්‍රියාවට නැංවූ උතුරු වසන්තය වැඩසටහනින් උතුරේ විශාල සංවර්ධනයක් ඇති විය.

යුද්ධය අවසන් කළ 2009 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කොමිසම නොයෙක් ආකාරයෙන් මෙරට රණවිරුවන්ට දඬුවම් කිරීමට සැරසෙයි. එදා කොටි ත්‍රස්තවාදයට ගිනි අවියෙන් දෙකඩ කරන්නට නොහැකි වූ මේ රට අද ජාත්‍යන්තර බලය යොදවමින් දෙකඩ කිරීමට කොටි ඩයස්පෝරාව උත්සාහ දරති.

ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සැසියේදී මෙරටට නැවත වතාවක් යුද අපරාධ චෝදනාව එල්ල කිරීමට සූදානම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේට විරුද්ධව නැගී සිටීමට විදේශගතව සිටින සිංහල එකමුතුවන් රැසක් කටයුතු ආරම්භ කර තිබේ.

ද්‍රවිඩ සිවිල් වැසියන් එක්ලක්ෂ හතළිස් දහසක් මෙරට හමුදාව විසින් ඝාතනය කළ බවට නගන චෝදනා සම්පූර්ණ අසත්‍ය ඒවා බවට සාක්ෂි සහිත වීඩියෝ පට ප්‍රදර්ශනය කරමින් ඉකුත් සතිය පුරාවටම ප්‍රංශයේ පැරිස් නුවර එංගලන්තයේ ලන්ඩන් නුවර ඉතාලියේ මිලානෝ නුවර ඇතුළු යුරෝපයේ රටවල් රැසකදීම විරෝධතා ව්‍යාපාරයන් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එකමුතුව ක්‍රියා කරනු ලැබීය. ඉදිරි සති කිහිපය තුළදීත් මෙවැනි විරෝධතා පවත්වමින් ශ්‍රී ලංකා‍ රණවිරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව රටවල් රැසකම සිටින ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකයෝ පවසති‍.

මේ වෙනුවෙන් මෙරට සිටින සංවිධාන කිහිපයක් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට විරෝධ දක්වමින් රටවල් කිහිපයකම තානාපතිවරුන්ට සංදේශ භාරදීමට සැලසුම් කර තිබේ.

කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ‍ම්ලේච්ඡ ප්‍රහාර 150 ක තොරතුරු සහිත පොතක් ලබන මාර්තු පළමු වැනිදා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත භාරදීමට ශ්‍රී ලාංකික එකමුතුවේ මෙරට සාමාජිකයන් පිරිසක් තීරණය කර ඇත.

මේ අතර ඉන්දියාවේ භාරතීය පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් මෙරට තුළ එම පක්ෂය ස්ථාපිත කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධව මෙරට ඇමැතිවරු ද මන්ත්‍රීවරු ඇතුළු නොයෙක් පාර්ශ්වයන් සිය අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

පෞද්ගලිකව පුද්ගලයෙකු ඉදිරිපත් කරන මතයක් ඉන්දීය රජයේ මතය නොවන බව රජයේ මැති ඇමැතිවරු සඳහන් කරන අතර පිටරටක දේශපාලන පක්ෂයකට කිසිසේත්ම මෙරට දේශපාලනයට පැමිණීම සඳහා හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම හිටපු සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් බිම්ශානි ජාසිංහ ආරච්චිගේ පත්වීමට විරෝධය පාමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පිරිසක් කටයුතු කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියෝ පිරිසක් පෙළ ගැසී තිබේ.

ඇයගේ අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේද‍යකින් තොරව පෙනී සිටින බවත් ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය ප්‍රකාශ කර සිටියි. මේ අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ ඉකුත් (18) වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙතෙක් පැවැති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමඟ මෙම නව දිවුරුම් දීම සිදු කෙරිණි.

“වි‍ශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15 වක් විතර වැඩ කරන නායකයෙක්. එතුමා මෙලෙස වැඩ කරන්නේ සෑම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයකින්” යැයි අගමැති මහින්ද රාජපක්ෂ කීවේය.

“අපි ගමකට සේවය කරනවා නම් එම සේවය ලබා ගන්නා තැන හොඳට තියෙන්න ඕන. එයයි අපි විශ්වාස කරන්නේ. සේවයක් කරන්න නම් සේවය කරන ස්ථානය බලපානවා. හොඳ පරිසරයක් ලබාදුන්නාම සේවකයන්ට එහි සේවය කරන්න හිතට ආශාවක් දැනෙනවා. අපි අද මේ ඇති කරලා තිබෙන්නේ එම පරිසරයයි” ද හෙතෙම සඳහන් කළේය.

“ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් අද විශේෂයෙන් ම නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබාදීම අපගේ වගකීමක් මෙන් ම යුතුකමක්” යැයි ද අගමැතිවරයා කීවේය.

රුපියල් කෝටි 14 ක වියදමකින් මහල් හතරකින් යුතුව ඉදි කළ බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කරමින් අගමැතිවරයා ඉකුත් දා මෙම කරුණු අවධාරණය කළේය.

මේ අතර ජනපතිගේ උපදෙස් පරිදි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත රටටම ලබාදීමේ කටයුතුවල දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීහු ලහි ලහියේ නිරතවෙති. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ‍ජනරාල් සංජීව මුණසිංහ හා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ද මේ දිනවල එම කටයුතුවල පෙරමුණ ගෙන සිටිති.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහා සංඝරත්නය හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් ද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් වන යෝජනා ඇතුළත් වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ගරුතර සංඝරත්නය මෙහිදී අගමැතිවරයාට උපදෙස් ලබාදුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් බදාදා උදෑසන සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූයේය. ඉකුත් ජනවාරි 21 දින සිට සංචාරකයින්ට රට විවෘත කිරීමෙන් පසු එහි ප්‍රගතිය සහ අඩුපාඩු ගැන සාකච්ඡා කිරීමට ය. එහිදී ඇමැති ප්‍රසන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“මම මේ ඉල්ලීම අගමැතිතුමන්ටත් කිව්වා‍. සංචාරක ක්ෂේත්‍රයේ ලක්ෂ 30 ක් විතර යැපෙනවා. මේ අංශයේ ඍජුවම ගැටෙන පිරිසට කොවිඩ් එන්නත දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. විශේෂයෙන් ම රියදුරන් හොටෙල් සේවකයන්ට, ගයිඩ්ලා වගේ අයට ප්‍රසන්න ජනාධිපතිවරයාට කීවේය.

“ඔව් එක හොඳ යෝජනාවක් මේ වනකොට අපි කොහොමත් රටේ සියලු දෙනාට එන්නත දෙන්න තීරණය කරලා ඉවරයි” ජනාධිපතිවරයා කීවේය.

“සර් මම ඉල්ලන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට ප්‍රමුඛතා දෙන්න කියලයි. ප්‍රසන්න පැහැදිලි කළේය.

“අපි කොවිඩ් 19 නිසා මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට කටයුතු කරලා තිබෙනවා‍.

සංචාරකයන් මෙරටට පැමිණීම රටේ ආර්ථිකයට ඉතා වැදගත්” ජනාධිපතිවරයා කීවේය. ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ ජාතික වැඩසටහන යටතේ සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව ඉකුත් අඟහරුවාදා ගම්පහ නයිවලදී පැවැත්වූයේ තරුණ සහ ක්‍රීඩා කටයුතු ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙනි. ඇමැති ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, නිමල් ලන්සා, සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක මේ සඳහා එක්වූහ. රැස්වීම අවසානයේ මැති ඇමැතිවරුන්ට දිවා ආහාරය යාබද ශාලාවක සූදානම් කර තිබුණේය.

සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට සජිත් තවත් නැවුම් වැඩසටහනක් සූරියවැවදී ආරම්භ කළේය. ඒ සෑම ජංගම සේවයකදීම පැළයක් රෝපණය කිරීමයි.

“ඒක ඉතා හොඳ වැඩක් විපක්ෂ නායක තුමා හිමිනමක් සජිත්ට ප්‍රකාශ කළහ.

“අපි සෑම වැඩසටහනකදීම අගයක් එකතු කරනවා” ජංගම සේවා 500 ක් කරලාත් පැළ 500 ක් රට පුරා නිකම්ම හැදිලා අපේ හාමුදුරුවනේ යැයි සජිත් කීවේය.

“අපි ප්‍රතිලාභ දෙන දරුවන්ටත් කියනවා පැළයක් හදන්න කියලා‍. දන්නවද මොනතරම් දුප්පත් වුණත් භූතානය කියන්නේ කාබන් අඩුම රටක්. පිරිසිදුම වාතය තියෙන රටක් වන ගහනය සියයට හැත්තෑවයි. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ තිබෙනවා සියයට හැට පහට වඩා වන ගහනය තියෙන්න ඕන කියන එක” සජිත් කීවේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවක් පෙනෙන්නට නැත‍. සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන් අතර හමුවේදී මේ පිළිබඳව දැඩි අවධානය යොමු විය.

“මේ ආණ්ඩුවට විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ලොකු වුවමනාවක් තිබෙන බව පේන්න තිබෙනවා. මීට එරෙහිව අපි හැමෝම එකතුවෙලා ක්‍රියාමාර්ග ගත යුතුයි” විපක්ෂය මර්දනයට එරෙහිව මුස්ලිම් කොංග්‍රසයේ පූර්ණ සහය ලබාදෙමින් රවු‍ෆ් හකීම් මන්ත්‍රීවරයා කීවේය.

මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී විශේෂ අවධානයට ගනු ලැබුවේ ආණ්ඩුවේ ජනාධිපති කොමිසම වාර්තාව පිළිබඳවය.

“විශේෂයෙන් ම කියන්න ඕන අපගේ ගරු මන්ත්‍රීතුමන්ලාට අධිකරණමය කටයුත්තකට මුහුණ දෙන්න වුවහොත් කරුණා කරලා ඒ ගැන මාව දැනුම්වත් කරන්න. මොකද ඒ සියලු ම දෙනා වෙනුවෙන් මම පක්ෂයේ වගේ ම විපක්ෂ නායකයා ලෙස මැදිහත් වෙනවා. මගේ මන්ත්‍රී කණ්ඩායම ආරක්ෂා කරගන්න මම ඕනෑම මොහොතක ඉන්නවා. රාජ්‍ය අක්‍රමිකතා වංචා දූෂණ හෙළිදරව් කරන විපක්ෂයේ දේශපාලකයන් ගණනාවකගේ ක්‍රියාවලිය නතර කිරීමට මොවුන් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. රජයේ වංචා පෙන්නුම් කරන එම දේශපාලනඥයන්ගේ සිවිල් මානව සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වෑයමක රජය මේ වන විට නතර වී සිටිනවා.”

සජිත් එහෙම කීවේ මනෝ ගනේෂන්ට වූ සිදුවිමක් ද පාදක කරගෙනය. මනෝට ගැටලුවක් ආ බව සැලවූ වහාම සජිත් ඔහුට කතා කළේය.

“ඔබතුමාට මේ ගැන කියන්න බැරි වුණා. සොයා බැලුවාට බොහොම ස්තුතියි” මනෝ කීවේය.

මහජන නියෝජිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිවට බියගුලු ක්‍රියාවලියකට රජය පිඹුරුපත් සකසන බව මෙහිදී සාකච්ඡාවට ගැනිණි. එම තත්ත්වයට එරෙහිව පොදු ශක්තියක්, බලවේගයක් එකතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද දැඩි අවධානය යොමු විය.

Comments