රනිල් - හරීන් හමු­වෙන් පසු අලුත් සන්ධා­න­යක පෙර නිමිති | සිළුමිණ

රනිල් - හරීන් හමු­වෙන් පසු අලුත් සන්ධා­න­යක පෙර නිමිති

කොවිඩ් වසංගතය ආරම්භවූ අවස්ථාවේ සිට මෙරට තුළ පැවැති දැවැන්ත ගැටලුවක් නිමා කර ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට හැකි විය.

 

කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා නොදීම සම්බන්ධව දැනට වසරකට ආසන්න කාලයක් නිර්මාණය වී තිබූ මත ගැටුමක් අගමැතිවරයාට අවසන් කිරීමට හැකිවීම රජය එක් පැත්තකින් ලද ජයග්‍රහණයකි.

කොරෝනා රෝගය වැලඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය නිර්දේශ මත මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමය ඉදිරියේදී වෙනස් වනු ඇත.

කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් රජයට දැඩි විරෝධතාවක් නිර්මාණය වී තිබුණේය. එය දේශපාලන ආරවුලක් බවට පත්වන තැනටම ඉහළ ගොස් දේශපාලන වාසි ලබා ගනිමින් සමඟි ජනබලවේගය විසින් භූමදානයට අවසර ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාර කිහිපයක් ම පැවැත්වීම හේතුවෙන් ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට සිය ඡන්ද දායකයන්ගෙන් ගැලවුමක් නොවූයේ ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන ආගමික පසුබිමක් තුළය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එස්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මේ බැව් විමසා සිටියේය.

“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‍කොවිඩ් රෝගය ජලයෙන් බෝවිය නොහැකි බව ප්‍රකාශ කළාය. ඒ නිසා මළ සිරුරු භූමදානය කිරීම විද්‍යාත්මකව අහිතකර තත්ත්වයක් නොවෙයි” මරික්කාර් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් කීවේය.

ඒ අනුව මත ගැටුම් රැසකට හේතු වූ ගැටලුවකට පිළිතුරක් ලැබී ඇතත් ඒ සම්බන්ධයෙන් වන නිරෝධායනය නීතිය වෙනස් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්වන තෙක් භූමිදානයට අවසර හිමි නොවන බවට ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම තීරණය සම්බන්ධයෙන් පකිස්ථානු අගමැතිවරයා රජයට මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතිය පුද කරමින් ටියුටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි. ඇමෙරිකානු එංගලන්ත ඇතුළු මෙරට මහ කොමසාරිස්වරු රැසක් ද මෙම තීරණය සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කළහ.

මේ අතර පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ මස 22 වැනිදා ශ්‍රී ලංකාවට නිල සංචාරයක් පැමිණීමට නියමිත බව විදේශ පුවත් සේවා වාර්තා කර තිබේ.

වතු කම්කරුවෙකුට දිනකට රුපියල් දහසක වැටුපක් ලබාදීමට රජය මුල සිටම කළ යෝජනාවට වතු සමාගම් දිගින් දිගටම විරෝධය පළ කළේය. වතු කම්කරු සංගම් නායකයන් එම ගැටලුවේ නොපෙනෙන පැත්තක් පිළිබඳව ඉකුත් සතියේ අදහසක් ප්‍රකාශ කළේ ය.

වතු නැවත බදු දීමට ආණ්ඩුවේ අදහසක් තිබුණා‍. රුපියල් දහසක වැටුපක් ලබාදීමට අකමැති වතු සමාගම්වලින් වතු ටික නැවත රජයට ගන්නා බවත් කියනවා” වතු කම්කරු සංගම් නායකයෝ කියති.

මේ අතර ආණ්ඩුව අර්බුද ගණනාවක හිරවී ඇතැයි දේශපාලන විචාරකයන් සඳහන් කරන අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරු සඳහන් කරන්නේ කිසිදු ගැටලුවක් ඇතිවී නොමැති බවයි.

ආණ්ඩුව තුළ සිටින වෙනත් පක්ෂවල පෞද්ගලික මතයන් ඉදිරිපත් කරන බවත් එය ආණ්ඩුවේ මතය නොවන බවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවසති.

සියලු පක්ෂ පවුලක් ලෙස රටවෙනුවෙන් කටයුතු කරන බවත් පවුලේ සහෝදරයන් අතර යම් ගැටුමක් හටගන්නත් එය ඉතා ඉක්මනින් සමතයකට පත් වන බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ඇමැති විමල් වීරවංශ ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කළ ප්‍රකාශය පොදුජන පෙරමුණ ආණ්ඩුව උණුසුම් කිරීමට හේතු වූයේ ය. විමල් සමඟ ආණ්ඩුවේ මේ ගැටුමට හේතු ව‍ූයේ වරාය නැගෙනහිර ජැටියයි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණා දැමීමට සූදානම් වන බව වෘත්තීය සමිති ගෙන ගිය අරගලයට තල්ලුවක් දෙමින් විමල්, වාසු, උදය ඇතුළු පිරිස පසුගිය සතියට පෙර සිට වෙනම පක්ෂ නායක රැස්වීම් පවත්වමින් කටයුතු කිරීම මේ ගැටුමේ ආරම්භය විය. මෙය පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර කැබිනට් මණ්ඩලය තුළ එවැනි තීරණයක් නොගෙන තිබියදී විමල් ඇතුළු පිරිස එලෙස කටයුතු කිරීම සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බහුතරයකගේ අදහස විය. පසුගිය කැබිනට් රැස්වීමේදී අළුයට ගිනිපුපුරු ලෙස තිබූ අතර ඒවා නැවත මතු වූයේ විමල් පසුගිය සති අන්තයේ පුවත්පතට කළ ප්‍රකාශය නිසාය.

මේ ප්‍රකාශය ඉරිදා පුවත්පතේ පළ වූ විට පසුදින සාගර, සංජීව ඇතුළු පිරිසක් ඊට උත්තර දුන්හ. ඔවුන් කීවේ විමල්ට පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය ගැන කතා කරන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

පසුගිය අඟහරුවාදා ආණ්ඩු පක්ෂයේ කණ්ඩාය‍ම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පැවැතියේ මෙවැනි පසුබිමක් තුළය. ඇමැති ප්‍රසන්න රණතුංග මේ රැස්වීමට පැමිණියේ විමල් වීරවංශ ඇමැතිවරයාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් පුවත්පතේ පිටුව ද රැගෙනය. සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විමල්ගේ කතාව ගැන ප්‍රශ්නය ඇද්දේ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා ය. වාද විවාද රැසක් ඒ මොහොතේ සිදුවිය. ලන්සා, වාසු, ප්‍රසන්න හා ගම්මන්පිල ඊට එක්වූහ.

සඳුදා සවස අගමැති මහින්ද පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ මේ ගැටුම විසඳීම සඳහාය.

“දැන් අපි මේ වාදය අවසන් කරමු. අපි අතර අනවශ්‍ය මත භේද ඇති වුණාම ඒකේ වාසිය විපක්ෂයටයි” අගමැති මහින්ද කීවේය.

ආණ්ඩු පක්ෂ රැස්වීම අවස්ථාවේ ඇමැති විමල් හිටියේ මීගමුවේ අධිකරණ කටයුතු තත්ත්වයකට සහභාගි වෙමිනි. විමල්ගෙන් මාධ්‍යවේදියකු ඇසුවේ සාගරගේ ප්‍රකාශය ගැනය. පොදුජන පෙරමුණෙන් මහින්ද ඉවත් විය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් ජනතාවගෙන් සමාව ගත යුතු බව පවසා තිබුණි. විමල් ඊට අපූරු උත්තරයක් දුන්නේය. මහින්ද සුළඟ අරඹා යළි මහින්ද බලයට පත් කිරීම වරදක් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට කැපවීම වරදක් නම් තමන් ඊට ජාතියෙන් සමාව ඉල්ලීමට සූදානම් බවය.

මේ අතර මේ දිනවල කතා බහට ලක්ව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමුවූහ. ඇමැති මහින්ද පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ සිට දිවා ආහාරය ගෙන පිටතට පැමිණෙමින් සිටියේය‍. සාගර කාරියවසම්, ලොහාන් රත්වත්ත, නිමල් ලන්සා, මහින්ද අමරවීර, දයාසිරි, සහන්, නිශාන්ත වැනි මැති ඇමැතිවරු මහින්ද සමඟ වූහ. මේ අතර ඇමැති විමල් දිවා භෝජනය ලබා ගැනීමට භෝජනාගාරයට එමින් සිටියේය.

“කෝ විමල් කොහෙද හිටියේ මම උදේ දැක්කේ නෑනේ” අගමැති මහින්ද විමල්ගේ කරට අත දමා ගනිමින් කීවේය.

“මම පොඩි වැඩකට ගියා. අගමැතිතුමා දැන් ආවේ” විමල් කීවේය.

විමල් හා සාගර අතර කිසිදු කතා බහක් සිදු නොවූ අතර දෙදෙනා, දෙදෙනා දෙසම හොරෙන් බලා අහක බලා ගන්නා අයුරු දුටු එතැන සිටි මැති ඇමැතිවරුන්ගේ කට කොනකට සිනහවක් නැගෙනු දක්නට ලැබුණි.

සිරගතව සිටින රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන්නැයි ඉකුත් දිනවල විපක්ෂය කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලීම් කළේය. මරණ දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ඇත්නම් රන්ජන් රාමනායකට එම වරප්‍රසාදය නැත්තේ ඇයි දැයි විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.

රන්ජන් රාමනායක මහතා නැවත නඩු කටයුත්තකට ගිහින්. අධිකරණයේ නඩුවක් තියෙනවා. අධිකරණයේ යම් තීන්දුවක් දුන් පසුව අපි ඒ ගැන සලකා බලනවා යැයි කථානායක පිළිතුරු දුන්නේය‍. ඒ අනුව ඔහුට නඩුව නිමවන තුරු පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වනු ඇතැයි ද එක දිගට මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට හේතුවක් යැයි නීති විශාරදයෝ පවසති.

එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවීමට ඉකුත් සතියේ සඳුදා පැරැණි මිත්‍රයකු පැමිණියේය. පැමිණෙන බව කලින් ම දැන්වීම නිසා නායක රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කොළඹ සිය නිවසේ රැඳී සිටියේය. ඒ වෙන කිසිවකු නොව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුය. දේශපාලනික වශයෙන් කණ්ඩායම් දෙකක සිටින පිරිස එක කණ්ඩායමක් බවට පත් කිරීම හරින්නේ මෙම විශේෂ හමුවේ මූලික ඉලක්කය වී තිබුණි.

“කොහොමද සර්” යැයි හරින් නායකයා දුටු විගස සිනාසෙමින් ඇසුවේය.

“හොඳයි හොඳයි හොඳින් ඉන්නවා” යැයි රනිල් හරින්ව අසුන් පනවමින් කීවේය.

“මොකද විශේෂයෙන් ම මේ පැත්තේ” රනිල් හරීන්ගෙන් විමසීය.

“මේ ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව අපි එකට හිටගන්න ඕන. අපි එක පෙරමුණක් හදන්න ඕන. මේ සඳහා අපි ඔක්කොම එකට එකතුවෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය මෙතනට එන්න ඕන ඒක අවශ්‍ය හොඳ දෙයක් හරීන් කීවේය.

“අලුත් කණ්ඩායමකට මම පාර්ලිමේන්තුව භාරදීලා තියෙන්නේ. පිටුපස ඉඳන් තමයි ඔවුන්ගේ ගමනට සහය ලබාදෙන්නේ. ඔයාලා රුවන්ලා කොහොමත් එකට වැඩ කරපු අයනේ. මේ ගැන රුවන් එක්ක කතා කරන්න” රනිල් පිළිතුරු ලබා දුන්නේය.

ඉන්පසු දෙදෙනාම ආගිය තොරතුරු රැසක් කතා බහ කිරීමෙන් අනතුරුව හරීන් හිටපු නායකයාගේ නිවසින් පිටව ගියේ රහස් රැසක් ඉතිරි කර තබාය. එය නම් සන්ධානයක පෙර නිමිත්තක් දැයි සැකයක් පවතී.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායක රනිල්, නියෝජ්‍ය නායක ‍රුවන්, මහලේකම් රංගේ බණ්ඩාර සහ සභාපති වජිර හමු වූහ. ඔවුන් එහිදී පක්ෂයේ යාන්ත්‍රණය සම්බන්ධ කතා බහ කළේය. සංවිධායකවරුන් පත් කිරීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුණි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත කරන ලද රජවාස වෙළෙඳ සංකීර්ණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා විවෘත විය. ජනපති එහිදී එහි තිබූ විවිධ නිපැයුම් රැසක් නිරීක්ෂණය කළේය.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මෙම ප්‍රදර්ශනාගාරය පුළුල් කර රජවාස සංකීර්ණය ඉදිකර ඇත. එය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 78 ක් සමන්විතය.

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමෙන් පළමු අදියර පසුගිය සතියේ පැවැත්වුණේ විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ය‍.

අදියර දෙකක් යටතේ ආසන සංවිධායකවරුන් පත්කරන අතර පළමු අදියරේදී පත් කළේ සංවිධායකයන් එකසිය හත් දෙනෙකි. ඇතැම් ආසනවලට මුලින් සිටි ආසන සංවිධායකටම පත්වීම් ලැබුණු අතර සමහර ආසනවලට පත්වී තිබුණේ අලුත් මුහුණුය‍.

“හැම අයෙක්ම අවංකව වැඩ කරන්න. සංවිධායකකමක් දීලා ඔබතුමන්ලාට පක්ෂයෙන් ගරු කිරීමක් කරලා තියෙනවා.

ඒ වගේ ම ඔබතුමන්ලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. අකාර්යක්ෂම දුර්වල අය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට දෙවරක් මම හිතන්නේ නැහැ. සජිත් කීවේය.

පත්වීම් ලබාදීමෙන් පසුව සවස සියලු දෙනාට දිවා භෝජන සංග්‍රහයක් හා වැඩමුළුවක් සංවිධානය කර තිබුණි. ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්වුණි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂයට ලැබෙන කාලය අසාධාරණ ලෙස අඩු කරනවා. මේ ගැන කතා කළ යුතු වෙනවා.” පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු කැඳවා ගැනීමට අපි පාර්ලිමේන්තුව තුළ මැදිහත්වීම් කරන්න ඕන” මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යෝජනා කළේය.

රන්ජන් වෙනුවෙන් නීතිමය මැදිහත්වීම් රැසක් කරන්න මම කටයුතු කරගෙන යනවා.” සජිත් රන්ජන් වෙනුවෙන් ගෙන තිබෙන නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.

ඔහු සිටි මේසයේ රාජිත සේනාරත්නල සරත් ෆොන්සේකාල, තිස්ස අත්තනායක සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සිටියහ. ආසන සංවිධායකවරුන්ට වැඩමුළුව පැවැත්වුණේ සවස් වරුවේය. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා වන මනස සකස් කිරීමේ දේශනයක් පැවැත්වූයේ වීඩියෝවල සංඛ්‍යා ලේඛනවල දත්ත ඉදිරිපත් කරමින්ය.

මීළඟ ජනාධිපතිවරණයට තවත් දින හය සියයක් විතර තමයි තියෙන්නේ. අපි මේ ගත කරන වේලාවත් වැදගත්. අපිට ජයග්‍රහණය කරා යෑමට මේ මොහොතේ සිට අපි වැඩ කළ යුතුයි” හරින් කීවේය‍.

“ඒක මරු කතාව’ හරින්ගේ කතාව අවසානයේ සජිත් කීය.

විපක්ෂනායක ජංගම සේවාවලට පැමිණි පාසල් ළමුන්ගේ දෙමාපියන් සඳහන් කර සිටියේ නිල ඇඳුම් සහ පෙළ පොත් ගැටලුවයි.

මේ සම්බන්ධව විපක්ෂනායකවරයා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී තොරතුරු විමසා සිටියේය.

එක පැත්තකින් ශිෂ්‍යත්වයේ ප්‍රශ්න අනෙක් පැත්තෙන් දරුවන්ට නිල ඇඳුම් දුන්නා කියලා බොරු කියනවා. කාටද මේ ප්‍රෝඩාව කරන්නේ.”

පා‍ර්ලිමේන්තු ලොබියේදී අශෝක් අබේසිංහ සජිත් කීවේය.

මේ අතර සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩලය පසුගිය සතියේදී රැස්වූයේ ආණ්ඩුවේ පරිසර විනාශය ගැන අවධානය යොමු කරමින් ය.

“ගස් කැපීම වෙනුවට ගස් වැවීමේ වැඩපිළිවෙළක් අපි හදන්න ඕන‍. අපි යන තැනට ඵලදායි දෙයක් කරන්න ඕන” සජිත් කීය.

“ඔබතුමා ජංගම සේවයේදී මේ ගැන අවධානය යොමු කරන්න” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් යෝජනාවක් ආවේය.

මේ අතර සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය ද ජානකී හෝටලයේදී මේ ගැන සාකච්ඡා කිරීමට සමාජ ක්‍රියාකාරීන් කැඳවා තිබුණි. පාඨලී චම්පික රණවක රාජිත සේනාරත්න මනුෂ නානායක්කාර, රවි කරුණානායක, නවීන් දිසානායක ඇතුළු මන්ත්‍රීවරු නීතිඥයෝ ද පිරිසක් මේ සඳහා එක්වූහ.

මේකට විරුද්ධව තැන් තැන්වල හුදකලා සටන් කිරීමෙන් වැඩක් නැහැ. අපි හැමෝම එකට එකතුවෙලා පොදු වේදිකාවකදී මේ සඳහා සටන් කළ යුතුයි. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයට මේ සඳහා කණ්ඩායම් එක් කළ හැකියි. මේක දේශපාලන පක්ෂයක් නොවන නිසා සියලුම දේශපාලන පක්ෂවල නායකයින් මෙතැනට එකතු කරන්න පුළුවන්” මනුෂ යෝජනා කළේය.

හැමෝටම මේකට එන්න කියන්න. මම ආයිමත් ඡන්දෙ ඉල්ලන බලාපොරොත්තුවක් නෑ. රටට දෙයක් කරන්නයි මට අවශ්‍ය. ඒ නිසා ‍හැමෝම මෙතැනට එකතු කරන්න පුළුවන්” කරු ජයසූරිය කීවේය.

Comments