ක්‍රීඩකයන්ගෙන් ගුවන් හමුදාවක් හදන්න අපේ අපේක්ෂාවක් නෑ | සිළුමිණ

ක්‍රීඩකයන්ගෙන් ගුවන් හමුදාවක් හදන්න අපේ අපේක්ෂාවක් නෑ

 

රග්බි තරගාවලියේදී ජීව බුබුළු තාක්ෂණය අපිත් අනුගමනය කරනවා

විනය නැති කිසිවකුගේ පදක්කම් අපට අවශ්‍ය නෑ

දිවිහිමියෙන් රට රකින අපට ජනතාවට ලබාදිය නොහැකි භෞතික සම්පතක් නෑ

රටේ අනාගතය වෙනුවෙන් විදේශ විනිමය ගෙන එන්න දායක මීමට සූදානම්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යනු සරල තම දේශය සම්බන්ධව හැඟුම්බර සෙන්පතියෙකි. එහෙත් ඔහු එසේ හැඟුම්බර රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොවේ. ඔහු ක්‍රීඩා විෂයේද එලෙසින්ම හැඟුම් බරය. එහෙයින්ම ඔහු මේවනවිට අන්කවරදාටත් වඩා ගුවන්හමුදාව තුළ ක්‍රීඩාමය විප්ලවයක් ආරම්භකර තිබේ. ඒ විප්ලවය යළි හැරවිය නොහැකි මෙන්ම කිසිදා කිසිවකු නොහැරවිය යුතු විප්ලවයකි. එම විප්ලවීය ප්‍රයත්නය සම්බන්ධයෙන් කතා කිරීමට 'ක්‍රීඩා' මෙවර ඔහු හා සම්මුඛ වූයේය.

රටක ගුවන ආරක්ෂා කිරීමේ ප්‍රමුඛයා සේ සැලකෙන ගුවන් හමුදාව දැන් ක්‍රීඩාව හරහා අලුත් විප්ලවයක් ආරම්භ කර තිබෙන බක් පෙනෙනවා. මුලින්ම අපේ සංවාදය එතැනින් ආරම්භ කරමු

එය මා තනියෙන් සිදුකරන දෙයක් නොවෙයි. සමස්ත ගුවන් හමුදාවම මේ වනවිට තමන්ගේ ප්‍රමුඛ අරමුණට අතිරේක ව කලක සිටම ක්‍රමක්‍රමයෙන් සිදුකරගෙන යන වැඩසටහනක් තමයි එය. එමගින් අපි අපේක්ෂා කරන්නේ රටක් වශයෙන් අපේ ක්‍රීඩාමය හැකියාව වැඩිදියුණු කරගන්නට අවශ්‍ය යම් දායකත්වයක් ලබාදීමටයි.

ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියක් ආරම්භ කරන්නට සැලසුම් සකස් කරලා තිබෙන්නෙත් ඒ උත්සාහයේ දිගුවක් වශයෙන් විය යුතුයි?

ඔව්. අපි මේ තරගාවලිය සංවිධානය කරන්න තිරණය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපනය කරලා වසර හැත්තෑවක් සම්පූර්ණ වන පසුබිමකයි. අපි අභිමානවත්ව මේ සංවත්සරය සමරන්න සැලසුම් කරද්දී ඊට සමගාමීව ක්‍රීඩාව වෙනුවෙන් ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියක් සංවිධානය කරන්න සැලසුම් කරලා තිබෙනවා. එමගින් අපි අපේක්ෂා කරන්නේ රග්බි ක්‍රීඩාවට නව පණක් ලබාදීමටයි.

මේ වද්දී එම තරගාවලිය වෙනුවෙන් පවතින සූදානම කොහොමද?

අපි රග්බි ක්‍රීඩා සමාජ දහයේ නියෝජිතයන්, රග්බි සංගමය වගේම ක්‍රීඩා අමාත්‍යවරයා සමඟත් සාර්ථක සාකච්ඡාවන් පවත්වා තරගාවලිය සංවිධානය කරන්න අවශ්‍ය පසුබිම ගොඩනඟලා අවසන්. ඇමැතිවරයා සිය අනුමැතිය හා ආශිර්වාදය පුර්ණ වශයෙන් ලබාදීලා තිබෙනවා. දැන් අපි සෞඛ්‍ය අංශ සමඟ තමයි මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නේ.

රග්බි ක්‍රීඩාව තුළ ක්‍රීඩක ස්පර්ශය වැඩිවශයෙන් සිදුවිය හැකි ක්‍රීඩාවක්. කොවිඩ් වයිරසය සමඟ කොහොමද මේ අභියෝගය එක්ක ඔට්ටුවෙන්න උත්සහ කරන්නෙ?

ඔව්. මේක බොහෝම ගැඹුරින් සිදුකළ යුතු කටයුත්තක්. ඒ නිසා අපි සෞඛ්‍ය බලධාරීන් සමඟ පූර්ණ සැලසුමක් සහිතව තමයි එය සිදුකරන්නේ. ඔබ කියූවා වගේම රග්බි කියන්නේ ‘ස්පර්ශී’ නැතහොත් කන්ටැක්ට් ස්පෝර්ට්ස් කියලා හැඳින්වෙන ක්‍රීඩාවක්. ඒ නිසා අපිට මෙය සිදුකළ හැක්කේ නිරෝධායන වැඩපිළිවෙලක් සහිතව පී.සී.ආර්. හා ඇන්ටිජන් වැනි පරීක්ෂණ පවත්වා සංචිතගත කිරීමෙනුයි. එසේ කිරීමෙන් පසු එම කණ්ඩායම් ජීව බුබුළක් ලෙස තරගාවලි කාලය පුරා වෙනම ම තබාගත යුතුයි. ඒ වෙනුවෙන් ගුවන් හමුදාව සූදානමින් සිටිනවා. එය අදාළ ක්‍රීඩා සමාජය විසින් සිදුකරන්න කැමතිනම් අපි ඔවුන්ට අවසර ලබාදෙනවා. නමුත් ජීව බුබුළ ඇරඹුණාට පසුත් වරින්වර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්නයි අපි සැලසුම්කර තිබෙන්නේ. කිසිදු අර්බූදයක් ඇති නොවෙන්න සැලසුම් කළ තරගාවලියක් වශයෙන් තමයි මේ තරගාවලිය සංවිධානය කෙරෙන්නේ.

ගුවන් හමුදාව සතු ශක්තිය අපි අවතක්සේරු නොකළත් මේ ආකාරයෙන් ජීව බුබුළු තාක්ෂණය යටතේ තරගාවලියක් සංවිධානය කිරීම මිල අධික කටයුත්තක් නේද?

සත්තකින්ම. අපි ක්‍රීඩාව වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කරන මුදලක් තිබෙනවා. ඒ වගේම අනුග්‍රාහකයන්ගෙනුත් මේ වෙනුවෙන් මුදල් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අනුග්‍රාහකයන් දෙදෙනෙක් සමඟ මේ වනවිට අපි සාකච්ඡා කරමිනුයි ඉන්නේ. ඔවුන්ගෙන් තමයි පූර්ණ වශයෙන් මේ වෙනුවෙන් මුදල් යෙදෙවෙන්නේ. සංවිධාන බරපැන තමයි වැඩි වශයෙන් ගුවන් හමුදාවට දරාගන්නට සිදුවන්නෙ.

සජීවී ප්‍රේක්ෂකයන්ගෙන් තොරව තමයි තරගාවලිය සංවිධානය කරන්නට සිදුවන්නේ. එහෙමනම් අනුග්‍රාහකයන්ට ලැබෙන ප්‍රතිලාභ වර්ධනය කරගැනීම සිදුකරන්න සැලසුම්කර ඇත්තේ කෙසේද?

අපේ ජනමාධ්‍ය තමයි මෙතැනදී අපට අවශ්‍ය ශක්තිය සැපයිය යුත්තේ. එය සජීවී ආකාරයෙන් වගේම, මුද්‍රිත මාධ්‍ය මගින් පූර්ණ ආවරණයක් ලැබෙන විට එය ක්‍රීඩාව පාර්ශ්වයෙන් විශාල ප්‍රේක්ෂකාගාරයක් ආවරණය කරනවා. කොවිඩ් නිසා ක්‍රීඩාවේ ඇදවැටීම පිළිසකර කිරීමේ මාධ්‍ය සතු කාර්ය භාරය ඉතා ඉහළයි. ඉතින් මාධ්‍ය ආයතන කියන්නේ අපිට මෙතැනදී තිබෙන ශක්තිමත්ම සගයා. ගුවන් හමුදාව ඒ බව හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා.

මෙය වාර්ෂික රග්බි කාලසටහන තුළ අඛණ්ඩ තරගාවලියක් බවට පත්වේවි ද?

ඔව්. අපි මේ පටන් ගන්නේ ලෝකයම යම් අර්බූදයකට මුහුණදී සිටින විටයි. ඒ නිසා යම් අසීරුතා සහිත කාලයක ආරම්භ කරන තරගාවලියක් තමයි මේ. නමුත් එය ඉදිරි වසරවලදී පහසුවෙන් පවත්වාගෙන යන්න හැකිවේවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා.

රග්බි ක්‍රීඩාවෙන් මඳක් ඉවතට හැරුණෝතින් නිල් අහසේ පරාක්‍රමයට හිමිකම් කියන ගුවන් හමුදාව මහපොළොවේ තිබෙන ක්‍රීඩාවන් තුළත් ආධිපත්‍ය පතුරා තිබෙනවා. එය ගුවන් හමුදාව හා පාපැදිය අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින අවියෝජනීය සම්බන්ධය හේතුවෙන් වඩාත් සිහිපත් වෙනවා. මොකද වසර කීපයක් තිස්සේ රට තුළ ශක්තිමත්ම හා අලංකාර පාපැදි සවාරියක් සංවිධානය කිරීමේ අභිමානය හිමිව ඇත්තේ ගුවන් හමුදාවට නිසා. මෙවර එහි සූදානම මොන වගේ ද?

අපි රටේ අභිමානය, ආරක්ෂාව වෙනුවෙන් අහසේ හරඹ කළාට ඉතා හොඳින් පොළොවේ පයගහලා ඉන්න හමුදාවක්. කාලයක් තිස්සේ අපි ගුවන්හමුදා දිනයට සමගාමීව පවත්වන පාපැදි තරගාවලිය ලෙස ගුවන් හමුදා පාපැදි තරගාවලිය සංවිධානය කරනවා. පවත්වනවා. එයට විශාල උනන්දුවක් උද්යෝගයක් තිබෙනවා. නමුත් මෙවර නම් අපි විශාල ක්‍රීඩකයන් පිරිසකට එය විවෘත නොකිරීමටත්, විදේශීය ක්‍රීඩකයන්ට ආරාධනා නොකිරීමට වගේම පවත්වන දුර ප්‍රමාණය හා තරගාවලිය පවත්වන කාලයේ සීමා කිරීම් සිදුකිරීමට සිතා සිටිනවා. මොකද මේ කෝවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සලකලා තමයි එවැනි ලඝු කිරීමකට අකමැත්තෙන් වුවත් අපි එළැඹී තිබෙන්නේ. එය දින තුනකට තියන්න අපි සූදානම්. නමුත් සෞඛ්‍ය බලධාරීන් තමයි දින ගණන තීරණය කරන්නෙ.

පාපැදි ක්‍රීඩාව අපේ රටේ නම් සැලකිය හැක්කේ දුප්පතාගේ ක්‍රීඩාව කියලයි. මෙරට පාපැදි ක්‍රීඩකයන් සෙසු ක්‍රීඩකයන් වගේම ආර්ථිකමය වශයෙන් නම් බොහෝ අසීරුතා තිබෙන අය. ඔවුන්ගේ ආර්ථිකය හැදීම ගුවන් හමුදාවේ සෘජු වගකීමක් නොවුණත් මෙවැනි ප්‍රශස්ත තරගාවලියක් සංවිධානය කරද්දී එවැනි දක්ෂ පාපැදි ක්‍රීඩකයන්ගේ වෘත්තීය අවශ්‍යතාවට ගුවන් හමුදාව තුළ යම් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවාද?

අපි මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් හා ජයග්‍රාහකයන්ට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමෙන් ක්‍රීඩකයන් ක්‍රීඩාවේ රඳවාගන්න යම් ශක්තියක් වන්නට අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයන්ව අපි ගුවන් හමුදාවට අනුයුක්ත කරගෙන ඔවුන් ඉදිරියට යන්න ශක්තියක් දෙනවා. නමුත් අපි හමුදාවක් නිසා සිවිල් සමාජය තුළ ඉන්න සියලු ක්‍රීඩකයන් ගැන මැදිහත් වෙන්න බෑ. මොකද අපිට හමුදාවක් වශයෙන් පවත්වාගත යුතු විනයක් තිබෙනවා. රටක් වශයෙන් අපි ඒ ශික්ෂණය, අභිමානය හමුදාව තුළින් රටට ලබාදිය යුතු නිසා යම් යම් සීමාවීම් තිබෙන බව පිළිගත යුතුයි. නමුත් හැකි උපරිමයෙන් දක්ෂ ක්‍රීඩකයන් අපි ගුවන් හමුදාවට අනුයුක්ත කරගෙන ඔවුන්ගේ ක්‍රීඩාව ගැන බලාගන්නවා.

ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් යන ඕනෑම අයෙකුට ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා ප්‍රවර්ධන විෂයේ සංවේදීව ඇති බවයි පැහැදිලිව පෙනෙන්ට තිබෙන්නේ. පසුගියදා ඔබ හා ක්‍රීඩා ඇමැති හමුවේදීත් ඒ බව යළිත් වරක් තහවුරු වුණා. ඒ ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ කටයුත්ත වෙනුවෙන් ගුවන් හමුදාවේ සහයෝගය ඉල්ලා සිටීමෙනුයි. මේ පිළිබඳව මඳක් කතාකරමු?

ගුවන් හමුදාව වශයෙන් අපට එය කිසිදු ගැටලුවක් නොවෙයි. මොකද අපි ඉන්නේ මේ රටේ මහජනතාව වෙනුවෙන් සිදුකළ හැකි යුතුකම් වෙනුවෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් දායක

වීමටයි. එතැනදී ක්‍රීඩාවට ආදරය කරන තරුණ, ක්‍රීඩාශීලී හා ක්‍රීඩකයෙක් වශයෙන් කටයුතු කළ ඇමැතිවරයෙක් ලෙස වත්මන් ක්‍රීඩා ඇමැතිතුමා පොදුවේ සියලු හමුදාවන්ගෙන් මේ සඳහා සහයෝගය ඉල්ලුවා. එතැනදී අපේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය අපට ලැබුණා. ඒ අනුව අපි ග්‍රාමීය පාසල් ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා ඇමැතිතුමාගේ ව්‍යාපෘතියට සහයෝගය දක්වනවා. ඒ අනුව ආණමඩුව පාසලක නේවාසිකාගාර ගොඩනංවලා, පිටි සංවර්ධනය කරලා වගේම කොට්ඨාස මට්ටමින් නිලධාරීන් පත්කරන්නත් එකඟ වුණා. ගුවන් හමුදාව සතු ක්‍රීඩා පහසුකම් ක්‍රීඩකයන්ට ලබාදීමටත් අපි ක්‍රියා කරනවා.

ඒ කියන්නේ හමුදාවන් සතු සම්පත් සිවිල් සමාජය තුළ ඉන්න ක්‍රීඩකයන් වෙනුවෙන් යොදවන්න දැන් හමුදාව සූදානම් වෙනවා?

ඇත්තටම හමුදාවයි, සිවිල් සමාජයයි කියලා බෙදන්න මම එකඟ නෑ. හමුදාව කියන්නේ සිවිල් සමාජයේම කොටසක්. අපි දිවිහිමියෙන් රට රකිද්දී ඊට යටින් තිබෙන සම්පත් අපිට ජනතාවට දෙන්න පිළිවන් විය යුතුයි. ඒ නිසයි අප සතු භෞතික සම්පත් අනාගතයේ රට බාරගන්න ඉන්න දරුවන් වෙනුවෙන්, ක්‍රීඩකයන් හා නොපැකිලව බෙදා ගන්නේ. ඒක ආදරයෙන් කරන දෙයක්.

ඒත් ගුවන් හමුදාවේ ඇස්බැන්දුම ‘කිරි ගරුඩ වෙරළ’ ආශ්‍රිතව ඇති මනරම් ගොල්ෆ් පිටිය නම් ලබාදෙන්න එතරම් කැමැත්තක් නැති හැඩයි අපට දැනෙන්නේ?

එවැනි අර්බූදයක් නෑ. මම කියන්නේ කිසියම් ව්‍යාපාරික සමාගමක් හෝ රටක් එක්ක මේ ගොල්ෆ් පිටියේ වැඩිදියුණු කිරීම් බෙදා ගන්න ගුවන් හමුදාව සූදානම් නෑ කියලයි. එහෙම නැතිව මෙහි අන්තර්ජාතික තරගාවලි සංවිධානය කරලා රටට විදේශ විනිමය ගෙන එන්න අපේ පූර්ණ සහයෝගය හා කැමැත්ත තිබෙනවා. විදේශීය ක්‍රීඩකයන් රටට කැඳවා ගැනීම මගේ දැඩි අභිලාෂයක්.

ගුවන් හමුදාව තුළට ක්‍රීඩකයන් සම්බන්ධ කරගැනීමේ යම් යම් සීමාවන් ඇතිබවක් පෙනෙනවා. එය ඉදිරියේදී පුළුල් කරන්න අපේක්ෂාවක් නැද්ද?

මෙහෙමයි හමුදාවක් වශයෙන් අප සතු නිලධාරීන් ප්‍රමාණය සෙසු හමුදාවලට සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඊට සාපේක්ෂව තමයි ක්‍රීඩාව වෙනුවෙන් සහභාගිවන ක්‍රීඩකයන් ඉන්නෙ. ඒ වගේම අපි අපේ ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරනවා. මොකද හමුදාවක් නම් එතැන ඉතා ඉහළ විනයක් පැවැතිය යුතුයි. විනය නොමැතිව එවැනි හමුදාවක් රැගෙන යා නොහැකියි. ඒ නිසා හමුදාව තුළ සිටිමින් ක්‍රීඩාව කරනවා මිසක් ක්‍රීඩා කරමින් හමුදාව තුළ ඉන්න ක්‍රීඩකයෝ අපි නිර්මාණය කරන්නේ නෑ. එය තමයි මෙතැන තිබෙන ප්‍රධානම කාරණය. ඊට අනුගත අයට තමයි අපි සමඟ එක්විය හැක්කේ. මොකද අපිට රාජ්‍ය වගකීමක් තිබෙනවා. එය ඉටුකරලයි ක්‍රීඩාව කළ හැක්කේ. ඒ නිසා එයට අනුගත නොවන කිසිදු ක්‍රීඩකයෙකු මට අවශ්‍ය නෑ.

ඉතා විශිෂ්ට ක්‍රීඩා පහසුකම් තිබුණත් ගුවන් හමුදාව දේශීය ක්‍රීඩා තරගාවලියන්හිදී අඩු ඵලදායීතාවයක් දක්වන්නේ ඒ නිසාද?

මෙහෙමයි, අපි හමුදාවක් වශයෙන් අපේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා හොඳ පහසුකම් පවත්වාගෙන යනවා. අනෙක මම මීට පෙර කිව්වා වගේ විනයගරුක ක්‍රීඩකයන් තමයි අපි ගොඩනංවන්නේ. ක්‍රීඩකයන්ගෙන් ගුවන් හමුදාවක් හදන්න නෙවෙයි අපි සැමවිටම උත්සාහ කරන්නේ. ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයන් හදන්නයි. ඒ නිසා මූලිකව අපි පදක්කම් දිනාගැනීම එකම ඉලක්කය කරගෙන කටයුතු කරන්නේ නෑ.

ගුවන් හමුදාව ආරම්භ කරන තරගාවලි ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනයට එක්කර ගැනීමේ අරමුණක් තිබෙනවා ද?

ඔබ නඟන ඔය ප්‍රශ්නය ක්‍රීඩා ඇමැතිතුමාත් යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළා. අපි සංවිධානය කරන තරගාවලි ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනයට ඇතුළු කරන්නත් විදේශීය ක්‍රීඩකයින් ඊට ආකර්ශනය කරගන්නත් ඉදිරි කාලයේදී අපි අපේක්ෂා කරනවා. ක්‍රීඩා ඇමැතිතුමා මෙවැනි ක්‍රීඩා තරග ජාත්‍යන්තරයට ගෙන යා හැකි තරග බවට පත්කරන්න හා ඒ සඳහා උපකාර කරන්නත් එකඟ වුණා.

ස්කොෂ්, මේස පන්දු වැනි ක්‍රීඩා, වේගය සම්බන්ධයෙන් උපරිම ක්‍රිඩා ලෙසයි සැලකෙන්නේ. ගුවන් හමුදාව තුළත් වේගය ග්‍රහණය කරගැනීම අතින් ඉතා ඉහළ ශක්‍යතාවක් පැවතිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. මේ අනුව ස්කොෂ්, ටේබල් ටෙනිස් සඳහා ඔබේ හමුදාවට වැඩි වශයෙන් දායක විය හැකියි නේද?

ස්කොෂ් ක්‍රීඩාව හා ගුවන් හමුදාව සමඟ ඉහළ සම්බන්ධයක් තිබෙනවා. මොකද ස්කොෂ් ක්‍රීඩාව හා ගුවන් නියමුවන් තුළ ඇතිකරගන්නා සම්බන්ධය ඉතා ප්‍රයෝජනවත්. ඒක ලෝකයම පිළිගන්න දෙයක්. අපෙත් හැම ගුවන් කඳවුරක් තුළම ස්කොෂ් ක්‍රීඩා පහසුකම් තිබෙන්නේ ඒ නිසයි. අපි ස්කොෂ් දියුණු කරන්නත් සෙසු ක්‍රීඩකයන්යොදාගනිමින් වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

චෙස් වැනි බුද්ධිමතුන්ගේ ක්‍රීඩාවකට ඉහළ ඥානයක් සහිත වූවක් එකතු කරගනු ලබන හමුදාවක් තුළ අවස්ථාව කොහොම ද?

අපි තාක්ෂණ ශක්තිය අතින් වඩා ප්‍රවීණ හමුදාවක්. එතැනදී ඉක්මන් තීරණ ගැනීම, මානසික නිරවුල් භාවය ඇතිකරගැනීම කඩිනම් කරගත යුතුයි. ඒ නිසා චෙස් වැනි ක්‍රීඩාවක් අපට ඉතාමත් යෝග්‍යයයි. ඒ නිසා මේ ධූරයේ වැඩ බාරගනිද්දී මම චෙස් ක්‍රීඩාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වුණා. ඉදිරියේ එම ක්‍රීඩාවත් ගුවන් හමුදාව තුළ ස්ථාපනය කරන්න උපරිම දායකත්වය මා පෞද්ගලිකව ලබාදෙන්න කැමතියි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments