
RAVIN wickramaratne
හොරු හොරු කියන කොට නිකම්ම හොරු වෙනවා
ශ්‍රී ලංකාවේ අවසන් වූ එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පිහිටවූ පාලන කමිටුවේ අධ්‍යක්ෂ ධුරය පැවරී තිබුණේ රවීන් වික්‍රමරත්නට ය. රවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකි. නිලවරණ උණුසුම දැනෙමින් තිබියදී, දේශීය ක්‍රිකට් ක්‍රීඩාව විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් පවතින කාලයක රවීන්ට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට අදහසක් පහළ විය. ඔහුගේ එම කැමැත්තට ‘ක්‍රීඩා’ වේදිකාවක් ගොඩනගා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක් ද?
මේකට විවිධ අයට විවිධ විදියට උත්තර තියෙන්න පුළුවන්. ඒත් ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රිඩාවක් . සාමුහිකත්වය තියෙන දෙයක්. මේක බිස්නස් එකක් කියන එකට එහා ගිය දෙයක් . මේ දිහා පුළුල් විදියට බලන්න පුරුදු වෙන්න ඕනෑ.
ඔය කියන ක්‍රිකට් ක්‍රීඩාව අද අපේ රටේ තියෙනවා ද?
මේ ක්‍රිඩාව අදත් අපේ රටේ තියෙනවා. මේ ගුණාංග .විනය නීති රිති ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යන්න ඕනෑ. එහෙම නැතුව ක්‍රිකට් කියන්නේ හමුදාවක් ගෙනැල්ලා නීතිරිති දාලා ඉදිරියට ගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි.
හැබැයි වර්තමාන ක්‍රීඩකයන්ට වානිජ වටිනාකමක් තිබෙනවා.මීට අවුරුදු 40 ක ට එහා ක්‍රිකට් නෙවෙයි අද තියෙන්නේ .ඒත් අද වුණත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න ඕනෑ මුදල් මතම නෙවෙයි .ඒක ක්‍රිඩකයන් දැන ගන්න ඹ්නැ දෙයක්.
අද ටෙස්ට් තරගයකට ක්‍රීඩකයෙකුට කියක් ගෙවනව ද?
මේක ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩකයාට වෙනස් වෙනවා.ජ්‍යෙෂ්ඨත්වය අනුව ක්‍රීඩකයකුගෙන් ක්‍රීඩකයෙකුට ඒක වෙනස් වෙනවා.ජ්‍යෙෂ්ඨ ම ක්‍රීඩකයකුට තරගයකට රුපියල් ලක්ෂ දහයක් විතර හම්බ වෙනවා.
අපේ ක්‍රිකට් වැටිල ද?පසුබැහැල ද?නැත්නම් ක්‍රීඩකයෝ තම තමන්ගේ වගකීම් පැහැර හැරලා තියෙනවා ද?
ක්‍රිඩකයන් තමන්ගේ වටිනාමක දැන ගන්න ඕනෑ.ඒ වගේම වගකිම දැනගන්න ඕනෑ. මේ වගකිම කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි පසුගිය කෝවිඩ් පළමු රැල්ල කාලේ ක්‍රීඩකයෝ තම තමන්ගේ ශාරීරික යෝග්‍යතාව රැකගන්න අවශ්‍ය කරන දේවල්ටික හරියට කළාද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි හරියටම ඒ දේ දන්නේ නැතුව මම ඔවුන්ට වරද පටවන්න ඉක්මන් වෙන්නේ නෑ.මේ හැම දෙයක් ම ඔවුන් අතේයි තියෙන්නෙ. ඒ දේ රැක ගන්නවාද නැද්ද කියන වගකීම තිබෙන්නෙත් ඔවුන් අතේම යි.
ඔබ එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂවරයා. ඒ තරගාවලිය අවසන්. දැන් රටක් විදියට ඒ තරගාවලියෙන් අපි බලාපොරොත්තු වුනු දේ ඉෂ්ඨ වුණා ද?
ඒක ලාභයක්ම බලාගෙනම කරපු දෙයක් නෙවෙයි. ඒත් යම් මුල්‍ය වටිනාකමක් නොලැබුණාම නෙවෙයි.පහුගිය කාලයේ අයි.පී.එල්. ගියේ ඉසුරු උදාන විතරයි.බී.පී.එල් ගියේ ක්‍රීඩකයන් තුන් දෙනයි. මෙවර ටී10 තරගාවලියට අපෙන් ක්‍රීඩකයෝ 14ක් ගියා. මේවා තමයි ලාභ.ඒත් තරගාවලියෙන් අපට හම්බ වෙන්න ඕනෑ මුලම්‍ය වටිනාකම ලැබුණා.වසරින් වසර තමයි මේ දිමනා අපට වැඩි වෙන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට තරග කළ ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තරග 15 බැගින් ගනිද්දී ටෙස්ට් පහක්, එක්දින හතරක් හා විස්සයි විස්ස තුනක් විතරයි ජයගෙන තියෙන්නේ. මේකෙදි වගකීමක් පාලකයන්ට නැද්ද?
අපේ පසුබෑමක් තියෙනවා. ඒක පිළිගන්න ඕනැ.මේ පසුබෑමට හේතු පහුගිය දිනවල දිගින් දිගටම අපි කතා කළා, ක්‍රීඩා අමාත්‍යවරයා, මහේල ජයවර්ධන මේ සාකච්ඡාවට එකතු වුණා .ඒකෙදි හුඟක් යෝජනා ඉදිරිපත් වුණා.මේ යෝජනා එක්ක ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු වෙනසක් වෙයි.
එහිදි ඇතිවු යොජනා මොනවාද?
පළමු පෙළ තරගාවලියේ කණ්ඩායම් ගණන අඩු කරන්න කතා වෙනවා. හැබැයි පළමු පෙළ කණ්ඩායම් ගණන වැඩි කළේ ඡන්ද බලාගෙන නෙවෙයි. ඒ දේ කළේ දේශීය වශයෙන් පළමු පෙළ තරග පහක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ට එංගලන්තයේ ඔස්ට්‍රෙලියාවේ පළමු පෙළ ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බ වෙන එක ගැන හිතලායි. මේකත් අපි ගත්ත තීරණයක් නොවෙයි. ඒක කලින් හිටපු පාලකයන් ගත්ත තිරණයක්.
වර්තමානයේ ක්‍රීඩා සමාජ 24 ක් තිබෙනවා.ඒ සංඛ්‍යාව 10-08 ක් දක්වා අඩුකරන්නත් පළාත් තරගාවලිය නිශ්චිත කාල සටහනක් යටතේ පවත්වන්නත් යෝජනා වුණා. ඒ වගේම කණ්ඩායමේ හැම දෙයක්ම බලාගන්න වගකිවයුතු නිලධාරියෙක් ගැනත් යෝජනාවක් ආවා.
මේක පරණ තැටියම තමයි,ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂිතයි කියලා අයී.සී.සීයත් කියනවා?
මේක දුෂිතයි කියන පදනම මොකක්ද? හොරු හොරු කියන කොට නිකම්ම හොරු වෙනවා. කවුද මේ දේවල් කියන්නේ අපේ පරණ ක්‍රීඩකයෝ සහ දේශපාලකයෝ. ඔවුන් හිතා මතාම තමන්ගේ පහත් අරමුණු ඉෂ්ඨ කරගන්න අපේ රට ජාත්‍යන්තරය ඉස්සරහා පාවා දෙනවා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සීලයෙන් කියලා තිබුණා මෙහෙම චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා.එක්කෙනෙක් දෙන්නෙක් වැරැදිකාරයෝ වෙන්න පුළුවන්.හැබැයි ඒවත් ඔප්පු වෙලා නෑ. මතක තියාගන්න අපි අපේ හැම ගිනුමක්ම විගණනය කරනවා. එහෙම කරලා තියෙන කොටත් තමයි මෙහෙම චෝදනා කරන්නෙ. මම නම් සැලෙන්නේ නෑ. කවුරු හරි මේක ඇතුළේ මොකක් හරි කරලා ගනුදෙනුවක් ගන්නවාද කියන්න මම දන්නේ නෑ.
ක්‍රීඩකයන්ගේ විනය මේතරම් පිරිහිලා තියෙන්නේ ඇයි?
විනය කියන දේ තමන් ම රැක ගන්න ඕනෑ දෙයක්. හැම දේම ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න මේ පොඩි ළමයි නෙවෙයිනෙ.ඒත් කළමනාවරුවෙක් ඉන්නේ මේ දේවල් බලා ගන්න.ඔහු ඒ වගකිම ඉෂ්ඨ කරන්න ඕනෑ.මේවා නවත්වන්න ඔහුට පුළුවන් වෙන්න ඕනෑ.ඒත් හිරකාරයෝ වගේ ක්‍රීඩකයන්ව ගාල් කරලා තියා ගන්නත් බෑ.
ඡායාරූප - වාසිත පටබැඳිගේ










