
SUSANTHIKA jayasinghe
අපෙන් තව වැඩගන්න
දහ අටේ කාලේ හිටිය දඩබ්බර සුසන්තිකා නෙවෙයි
දැන් ඉන්නෙ පොල් අතු පැලෙන් මන්දිරයට ආපු මට රටේ ක්‍රීඩකයන් ගොඩනංවන්න පුලුවන්
ක්‍රීඩා අමාත්‍යාංශයටවත් ඔලිම්පික් කමිටුවටවත් දොස් කියන්නේ නෑ
සුසී මේ දවස්වල මොකද කරන්නෙ?
ගෙදර වැඩ තමයි. දරුවන් දෙන්නගෙ වැඩත් එක්ක මගේ මව්පියන්ගෙ වැඩ කටයුතු කරන්න තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක්ක අභියෝග සමඟ තමයි ඉන්නෙ.
ඒ කියන්නේ එදා ක්‍රීඩිකාවක් වශයෙන් තිබුණු පීඩනය වෙනත් ආකාරයකට ජීවිතයට ගිලගෙන තිබෙනවා කියන එකනෙ?
ඔව්. ඉස්සරටත් වැඩිය අද තියෙන පීඩනය වැඩියි කියලා හිතෙනවා. එදා මෙච්චර ගැටලුවක් තිබුණේ නැහැ. එන ප්‍රශ්නවලට බය නැතිව මුහුණ දුන්නා. ඒත් දැන් අපේ දරුවන්ට අපි අත්දැක්ක පරිසරයට වඩා දරුණු සමාජ ක්‍රමයකටනෙ මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ.
ඔබ ඒකෙන් අදහස් කළේ?
දැන් අපි පුංචි කාලේ තිබුණු සමාජ නිදහස අපේ දරුවන්ට නෑනෙ. මම මගේ පුතාගේ වයස වෙද්දී නිදහස් ජිවිතයක් ගත කළා. තුන් පාරක් විතර අත කඩාගෙන හිටියා. ඒ අඹ කඩන්න ගස් නැඟලා. ඒත් දැන් ඉන්න දරුවන්ට ගහකට නගින්න පුලුවන් ද? මම මගේ දරුවන් එක්ක ඉන්නෙ කොළඹ. පාසල් යන්නේ කොළඹ පාසල්වලට. මම එදා උඩුවක ලබපු පාරිසරික සුවය අද දරුවන්ට නෑ. මේ කෝවිඩ් කියලා හැදිලා තියෙන වසංගතය ගැන විතරක් හිතන්නකො. ජීවිතේ ඔක්කෝම දේවල් සංකීර්ණ කරලා තියෙනවා නේද? ඇත්තටම ඒ නිසා මම ඉන්නේ හරිම ආතතියෙන්.
ඒ කියන්නේ සුසී ඉන්නේ සතුටෙන් නොවෙයි?
මෙහෙමයි සතුට කියන්නේ ක්ෂණයෙන් ඇතිවෙලා නැතිවෙන දෙයකටනෙ. ඉතිහාසයේ මම සතුටු වුණා. ආඩම්බර වුණා. උදම් ඇනුවා. දැන් ඒවා මතක. ඈත අතීතයේ එක්තරා දවසක සිදුවූ දේවල්. නමුත් දැන් දරුවන්ගේ වැඩකටයුතු එක්ක ජීවිතයට ඇතිවෙලා තිබෙන්නේ පීඩනයක්. විශාල නොසන්සුන් භාවයක්. ඇත්තටම කියනවා නම් දැන් මගේ අම්මයි, තාත්තයි වයස නිසා ඔවුනුත් දැන් මට මගේ දරුවෝ වගේ තමා. ඉතින් පීඩනය වැඩියි.
ඉස්සර හිටපු ප්‍රවේගකාරී, තරමක් නොසන්සුන්, උද්වේගකාරී සුසන්තිකා දැන් වෙනස් වෙලා?
ඔව්. එදා කෙළිලොල්, කටකාර, දඟකාර ගති නැතිවෙලා. දැන් මට අවුරුදු හතළිස් පහක්. ඉතිං දැන් අම්මා කෙනෙක්. ඉස්සර දහ අටේ කාලේ දේවල් කළ සුසන්තිකා නෙවෙයි දැන් ඉන්නේ. මම ඉස්සර ක්‍රීඩිකාවක් විධිහට කිසිදෙයක් ඉතිරි කරන්නැතිව ජයග්‍රහණය කළා වගේම අම්මා කෙනෙක් වශයෙනුත් ජීවිත වගකීම් ජයග්‍රහණය කරා යොමුකරගන්න කැමතියි. එතැනදී තාක්ෂණික සමාජය නැත්නම් වර්තමාන පරිගණක සමාජ ක්‍රමය එක්ක මගේ දරුවන්ගේ ජීවිත වඩාත් සුබදායී ආකාරයෙන් කළමනාකරණය කරන්න තමයි මම දැන් උත්සාහ කරන්නෙ.
ඔබ දරුවන් ගැන බොහෝ දේ කතාකරනවා ඔවුන් කොහෙද පාසල් යන්නෙ? ඉන්නේ කීයෙ පන්තියේ ද?
මගේ පුතා යන්නේ කොළඹ රාජකිය විද්‍යාලයට. දුව විශාඛා විද්‍යාලයට. පුතා නම් හතේ පන්තියේ ඉගෙන ගන්නවා. දුව තුනේ පන්තියේ ඉන්නෙ.
ඔබේ දායාදය දරුවන්ට ලබාදෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
තවම මම ඒ සම්බන්ධයෙන් කිසිදෙයක් හිතලා නෑ. හැබැයි ඒක ඔවුන් අත තියෙන වැඩක්. ඔවුන්ට ඉගෙන ගන්න අවශ්‍ය හැමදේම දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ක්‍රීඩා කරනවාද, සිංදුකියනවාද, ඉංජිනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි වෙනවාද කියන එක තීරණය කරන්නේ ඔවුනුයි.
දැන් පුතා ටිකක් විතර ලොකුයිනෙ. එයා තවම ක්‍රීඩාවට යොමුවුණේ නැද්ද?
නෑ, එයා වැඩියම කැමති චිත්‍ර අඳින්න. ඒ වගේම ගිටාර් ගහන්නත් කැමතියි. අපේ පරම්පරාවේ කවුරුවත් චිත්‍ර ඇඳලවත්, සංගීතයට සම්බන්ධවෙලාවත් නෑ. ඒත් පුතා ඒ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. මම දකින්නේ ඔහුත් මගේ පාරෙම යනවා කියලයි. මොකද ක්‍රීඩාවයි, කලාවයි අතර ලොකු වෙනසක් නෑනෙ.
එතකොට දුව ගැන කොහොම ද?
දුව තවම තුනේ පන්තියේ නිසා ඇයට ලොකු හැඟීමක් නෑ. එයා කියනවා දවසක මමත් අම්මා වගේ ඔලිම්පික් දුවන්න ඕනෑ කියලා.
බණ්ඩාරගම තමයි ඔබ ගෙයක් හැදුවේ. දැන් මොකද කොළඹ කරන්නෙ?
කොළඹත් මට ගෙයක් තිබුණානෙ. බණ්ඩාරගම ඉඳලා දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩයි, මගේ ක්‍රීඩා අමාත්‍යංශයට එන එකයි ඔලිම්පික් කමිටුවට යන එකයි කරන්න අසීරුයි. ඒ නිසා අපි ඉන්නේ කොළඹ.
ඔබේ බණ්ඩාරගම නිවස ඉතාමත් මනරම් බවයි කියැවුණේ?
ඔව්. ඒක ගඟ ආශ්‍රිතව ඉදිකරලා තියෙන්නේ. හැබැයි දැන් නඩත්තු කළාට පූර්ණ වශයෙන් අපි එහේ පදිංචියට යන්නේ නෑ. මොකද කොළඹ වැඩ ගොඩක් තිබෙන නිසා.
වර්තමානයට හැරෙමු. ඔබ දැන් පිට්ටනියට යන්නේ නැතිව බොහෝම සැහැල්ලුවෙන් ඉන්නවා ද නැත්නම් හවසට හවසට ව්‍යායාම් කරනවා ද?
මම එතැනදි නම් වැරැද්දක් කළා. ඒ තමයි දුවලා දුවලා එකපාර ක්‍රීඩාව අතහැරලා දාපු එක. පුතාව ලැබෙන්න ආපු නිසා මම ක්‍රීඩාව නැවැත්තුවා.ඒක දැන් වෙනස් කරගන්න උත්සාහ කරනවා..
ඔබට ශක්තිමත් මානසික පසුබිමක් තිබුණාට අනිත් අයව උද්යෝගීමත් කරන්න, පුහුණු කරන්න බෑ නේද?
දීලා බලන්න එපායැ. එතකොට බලන්න පුලුවන්.
ඒත් ඔබට සුදුසුකම් නෑ නේ ද? පළමු අදියර හරි දෙවැනි අදියර හරි කියලා පුහුණුකාරී විභාග තිබෙනවානේ?
ඇත්තටම කියනවා නම් අපිට මේ කියන අදියර පාඨමාලා ලබාදිය යුතු නෑ කියලයි මම කියන්නෙ. මොකද අපි ප්‍රායෝගික තලයේ උපරිම දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ. එහෙම සුදුසුකම් නැත්නම් තමයි මේ අදියර පාඨමාලා සමත්වෙලා පුහුණුකරුවන් වෙන්න අවශ්‍ය වන්නේ. එහෙම නැත්නම් විශේෂ පුහුණුවක් සඳහා අපිව යවලා නවීන දැනුම ලබාගත යුතුයි.
ඔය කතාව බලධාරීන්ට කිව්වේ නැද්ද?
ක්‍රීඩා අමාත්‍යාංශයට වගේම ඔලිම්පික් කමිටුවටත් කියලා තියෙනවා. තවම මුකුත් සිදුවෙලා නෑ. ඔලිම්පික් කමිටුවත් කියනවා කෙටි දුර පුහුණු විශේෂඥවරියක් වශයෙන් මට පුහුණුවක් ලබාදිය යුතුයි කියලා. නමුත් දැන් කාලය ඇති. මට නැවත නැවත කාටවත් පණිවුඩ යවන්න ඕනෑ නෑ. හැබැයි මේක මට විතරක් නොවෙයි ආසියාවෙන් ඔබ්බට රට ගෙනිච්ච ක්‍රීඩකයන් සියලු දෙනා වෙනුවෙන් සිදුකළ යුතුයි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දක්ෂතා නොසලකා ඉහළ දක්ෂතා සම්බන්ධයෙන් සලකන්න පසුගියදා තීරණයක් ගත්තා. මේ ගැන ඔබ මොකද කියන්නේ?
මෙහෙමයි. ඔබ මාධ්‍යවේදියෙක්නෙ. දැන් මලල ක්‍රීඩා ගත්තහම දුවන, පනින හැමෝගේම දක්ෂතා ලෝකයේ කාලය, දුර, රටේ වාර්තාවී ඇති කාලය, දුර සමඟ සංසන්දනය කරලා බලන්න ඕනෑ. අපේ කාලයේ ලෝකයේ හිටපු හොඳම ධාවකයන් දහය, විස්ස එහෙමත් නැත්නම් පනහ අතර අපි හිටියා. දැන් තත්ත්වය සංසන්දනය කළ යුතුයි. එහෙම නැත්නම් ඒකෙන් ක්‍රීඩකයන්ටවත්, ක්‍රීඩාවටවත් වැඩක් නෑ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ ක්‍රීඩා ඇමැතිවරයා ගත් තීරණ නිවැරැදියි කියායි.
අනාගතය ගැන සුබවාදීව සිතන්න පුලුවන් ක්‍රීඩකයෝ, ක්‍රීඩිකාවෝ එහෙම මලල ක්‍රිඩාවේ ඔබ දකිනවාද?
මෙහෙමයි. අපේ වැඩපිළිවෙල නිවැරැදිව හදනවානම් එමගින් දක්ෂ ක්‍රීඩකයන් බිහිවෙනවා. ඒක වළක්වන්න බෑ.
දැන් අමාෂා පහුගිය ජාතික මලල ක්‍රීඩා ශූරතාවේදී හොඳ නිමි කාලයක් වාර්තා කළා?
ඔව්. ඒ කාලය තවදුරටත් වැඩිදියුණු කරන්න නම් එවැනි ක්‍රීඩිකාවන් වෙනුවෙන් නියමිත වැඩපිළිවෙලක් සැකසිය යුතුයි.
ඉතාලියේ පුහුණුව ලබන යුපුන් අබේකෝන් ගැන ඔබ මොකද හිතන්නේ?
මම ඔහුව හැබැහින් දැකලා නෑ. ඒ නිසා මට ස්ථිරව යමක් කියන්න බෑ. නමුත් මම හිතන්නේ ක්‍රීඩකයකුගේ දක්ෂතා දීර්ඝ කාලයක් එකදිගට පවත්වාගෙන යන්න පිළිවන්වීම තමයි දක්ෂ ක්‍රීඩකයකු සොයාගැනීමට හැකියාව උදාකරදෙන්නේ.
ක්‍රීඩාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔබේ කියැවීම කුමක්ද?
ක්‍රීඩාව ජනප්‍රිය කරන්න ක්‍රීඩාව සම්බන්ධයෙන් වගේම ඊට එක්වෙලා හිටපු ක්‍රීඩකයෝ ගැන වැඩි වශයෙන් කතා කළ යුතුයි. හිටපු දක්ෂ ක්‍රීඩකයන්ගෙන් පාසල් මට්ටමේ ක්‍රීඩකයන් ගොඩනංවන්න, ක්‍රීඩාවට එක්වෙන්න පෙළඹවීමක් ඇතිකරන්න ප්‍රයෝජනයක් ගත යුතුයි. එතකොට තමයි මව්පියන් තමන්ගේ දරුවන්ව ක්‍රීඩාවට
යොමු කරන්නේ. අපි සැමවිටම ක්‍රීඩාව කරලා ලබාගත හැකි දේ සම්බන්ධයෙන් සමාජයට අවබෝධයක් ගොඩනඟන්න ඕනෑ.
ක්‍රීඩාව පැත්තෙනුත් ඔබ තුළ කලකිරිමක් ඉන්න බවක් පේනවා?
ඔව්. මාව උපදේශිකාවක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය යොදාගන්නවා තමයි. නමුත් ඒක ස්ථිර පත්වීමක් නොවෙයි. නමුත් මම කියන්නේ අපිට කරන්න වැඩක් දෙන්න. ඉලක්කයක් දෙන්න. ගමින් ගමට අපිව අරගෙන යන්න. ක්‍රීඩා කරන හැටි, ක්‍රීඩකයන්ගේ ආහාර සකසන්න ඕනෑ ආකාරය ගැන අපිට අදහස් දෙන්න අවස්ථා හදන්න. ක්‍රීඩා භාණ්ඩ ඔහේ බෙදන්නේ නැතිව අවශ්‍යතා අනුව ඒ දේ කළ යුතු ආකාරය ගැන මැදිහත්වීමක් කරන්න අපිට අවස්ථා හදන්න. මම කියන්නේ මට විතරක් මේවා දෙන්න කියලා නොවෙයි. ආසියාවෙන් එළියට ගිය අපේ ක්‍රීඩකයෝ කීපදෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගෙන් මේ දේ ලබාගන්න. ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ඔවුන්ට ස්ථිර රැකියාවක් හදලා දෙන්න. එතකොට අපිට මේ රටේ ක්‍රීඩාවට පරිපාලනය පැත්තෙන් යමක් කරන්න පුලුවන් වෙනවා.
ඔබ ක්‍රීඩා පරිපාලනයට එන්න බලාපොරොත්තුවක වෙනවා ද?
අනේ නෑ. ලිපි ගොනු ඇතුළේ පරිපාලනය කරන්න මම එන්නේ නෑ. නමුත් ක්‍රීඩකයෝ වශයෙන් අපිට තියෙන්නේ ක්‍රීඩාවේ ප්‍රායෝගික ඥානය. පොල් අතු පැලෙන් මන්දිරයට ආපු මගේ ගමන ඇති මේ රටේ අලුත් ක්‍රීඩකයින්ව නැගිට්ටවන්න. ජාත්‍යන්තර දිනන්න මම යොදාගත්ත දැනුමෙන් තමයි අපේ සේවාව රටට, ක්‍රීඩකයාට ගත යුත්තේ. මෙතැනදී මම ක්‍රීඩා අමාත්‍යාංශයට, ඔලිම්පික් කමිටුවට හෝ වෙන කාටවත් දොස් කියන්නේ නෑ. ඒක මතක තියාගන්න.
ඒ කියන්නේ ඉස්සර සුසීට ඔලිම්පික් කමිටුව එක්ක තිබුණු ආරෝව දැන් නැහැ කියන එකනෙ?
දැන් ඉන්න සභාපතිවරයා ඉතා හොඳ මහත්මයෙක්. ඔහු අපි වගේ ක්ෂේත්‍රයට යමක් කළ ක්‍රීඩකයන්ගෙන් ක්ෂේත්‍රයට දෙයක් කරගන්න උත්සාහ කරනවා. මම එහි ඉහළ දක්ෂතා අධ්‍යක්ෂිකාවයි. නමුත් එහි තවත් බලතල සැකසිය යුතුයි කියලයි මම යෝජනා කරන්නේ.
අද ඉන්න පුහුණුකරුවන් ගැන මොකද හිතන්නේ?
සමහරු යක්කු වගේ. ක්‍රීඩකයන්ට බනිනවා. නමුත් එදා හිටපු පුහුණුකරුවෝ ක්‍රීඩකයාට ගෞරව කළා. ආදරෙන් මෙහෙයවූවා. මගේ පුහුණුකරු ඩර්වින් පෙරේරා, ඇමෙරිකාවේ ටෝනි කැම්බෙල් වගේ මහත්වරු කවදාවත් මට බැනලා නෑ.
ඔබ ලෝක ශූරතා රිදී පදක්කම දිනන්නෙ ඩර්වින් පෙරේරාගේ පුහුණුව යටතේ නේද?
ඔව්.
ඒත් ඔබ ඩර්වින්ව අතහරිනවා. ඔලිම්පික් පදක්කමේ ගෞරවය යන්නේ ඇමෙරිකානු පුහුණුකරුවකුට. ඒ ඇයි?
මම මල මිනී ගොඩදාන්න කැමති නෑ. ඔබ ඉතිහාසය දන්නවා. කෙටියෙන් කිව්වොත් මට රටේ ඉන්න බැරි තත්ත්වයක් ඇතිකළා. එතැනදී මට ඩර්වින් සර්ව අතහැරලා යන්න සිදුවුණා.
ඒත් ඔබ සිංහ කොඩිය අතහැරියේ නෑ?
නෑ. මම කවදාවත් ඒක කරන්නේ නෑ. මේ මගේ රට. ඒක මට හැමදාම මතකයි. ක්‍රීඩකයෝ වශයෙන් අපිට ලැබුණු දේවල් මදි වෙන්න ඇති. ජීවිතයේ මැදි වයසේ ක්‍රීඩාව අතහැරලා අපි ගිමන් හරිනකොට ජීවත් වෙන්නේ කොහොමද කියලා දඟලනවා තමයි. දැන් අපිට අයිති පදක්කම් මිටියකුයි, අතීතයේ මතක කන්දරාවකුයි, අනාගතයේ වගකීම් ගොඩකුයි විතරයි. ඒත් රට ඒකට පළි නෑ.
අවසන් වශයෙන් ඔබ බලධාරීන්ට කියන්නේ මොකක් ද?
අපෙන් මීටත් වඩා වැඩක් ගන්න. ආසියාව පහුකරපු ක්‍රීඩකයන් ඉන්නේ අතළොස්සටයි ඒ අය ක්‍රීඩා අමාත්‍යාංශයට ස්ථිර සේවයක් යටතේ බඳවාගෙන වැඩක් ගන්න. ඒක අනාගත ක්‍රීඩකයන්ට යහපතක්. මේක යෝජනාවක් මිස මම කරන චෝදනාවක් නොවෙයි.
ඡායාරූප - ජගත් ඉරෝෂණ










