සුසීගෙන් පසු කඳුරටින් හමුවුණු වේග බලාගාරය | සිළුමිණ

සුසීගෙන් පසු කඳුරටින් හමුවුණු වේග බලාගාරය

AMASHA de silva

2022 ආසියා පොදුරද මඬුලු පදක්කම් අපේක්ෂාවක්

ගීත රසවිඳින්න වගේම කලාත්මක වැඩ කරන්න ගොඩාක් කැමැතියි.

හොඳට ඉගෙන ගෙන දුෂ්කර පළාත්වල ළමයින්ට උදව් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා.

අමාෂා යනු සුසන්තිකාගෙන් පසුව ධාවන පථය මත වේගය රැගෙන එන කන්ද උඩරටින් බිහි වූ ක්‍රීඩිකාව ය. කොවිඩ් වසංගතයත් සමඟ ලද දීර්ඝ විරාමයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඈ 2006 වසරෙන් අනතුරුව මීටර් 100 ඉසව්වේදී මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූවාය. 98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මූලික වටයේ දී තත්පර 11.64 ක කාලයකින් තරගය අවසන් කරමින් සිය හොඳම කාලය වාර්තා කළ අමාෂා අවසන් තරගයේදී තවත් මුවහත් වෙමින් තත්පර 11.55 ක දක්ෂතාවක් සනිටුහන් කළාය. එය සැලකෙන්නේ මීටර් 100 ඉසව්වේදී මෙරට ක්‍රීඩිකාවන් අතරින් වාර්තා වූ සිව්වැනි හොඳම කාලය ලෙසය. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා හා රුමේෂිකා රත්නායක මීට පෙර වේගවත්ම කාලයන් වාර්තා කර ඇත.

මේ අතර මෙරටදී ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය සුසන්තිකා ජයසිංහ 2006 වසරේදී දැක් වූ අතර රුමේෂිකා රත්නායක සිය හොඳම කාලය වර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ය. ඒ තත්පර 11.51ක් ලෙස ය. අමාෂා 2018 දී, සිය හොඳම කාලය වාර්තා කර ගන්නේ තත්පර 11.71ක් ලෙස ය.

ඇය 2019 සාග් තරගාවලියේ මිටර් 100 ඉසව්ව තත්පර 11.82කින් නිම කරමින් රිදී පදක්කම සහ මිටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඈ මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමුවන වසරේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරන විෂය ධාරාවන්ගෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු හදාරයි.

මේ අතර යුද හමුදාව නියෝජනය කරන ඇය කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කීපවරක්ම සම්මානයට පාත්‍රවීමට ද සමත් වූවාය.

‘ඉගෙන ගන්න ලොකුවට ම ආසාවක් තිබ්බේ නෑ. කලා විෂය ධාරාවන් ගෙන් ඉගෙන ගත්තේ. අධ්‍යාපනය පැත්තෙන් හුඟක් අතපසුවිම් සිද්ධ වුණා. 2018 අ.පො.ස. උසස් පෙළ විභාගය අතරතුර මැයි මාසයේ ලංකාවේ තිබ්බ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියටත් මම ක්‍රීඩා කළා.ජුනි මාසයේ ජපානයේ තිබ්බ ආසියානු කනිෂ්ඨ තරගාවලියටත් ගියා. ජුලි මාසයේ පින්ලන්තයේ තිබ්බ ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන්න සිදුවුණා. හැබැයි තිබුණු කාලයෙන් උපරිම මහන්සි වෙලා වැඩ කළා. ප්‍රියන්ති මැඩම් එයාගේ ගෙදර නවත්තගෙන තමයි මට මීඩියා ඉගැන්නුවේ.

හැමෝම කියනව ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් කියලා. ඒක එහෙම නෑ. ඇත්තටම කියනවා නම් ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි කියන දෙකම සමාන්තරව කරගන්න පුලුවන්. ඒකට කැපවෙන්න අවශ්‍යයයි. ක්‍රීඩාව කරද්දි දරාගැනීමේ ශක්තිය වගේම පිළිවෙලකට වැඩකරන්න හැකියාව ලැබෙනවා.මම මේ දෙකම කරගෙන ඉදිරියට ආවේ ඒ විදියටයි.’ ඈ ‘ක්‍රීඩා’ හා පවසන්නේ ගාම්භීරව ය. ඒ ඇගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් වන අහිංසක ආඩම්බරයකි.

මිටර් 100 ඉසව්ව අද අමාෂාගේ ප්‍රධානම ඉසව්ව වුවද , එකී ඉසව්වට ඈ යොමුවන්නේ අහඹු ලෙස. අප එසේ කියන්නේ ඈ 2014දී මුලින්ම කළේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව වන හෙයිනි.

‘මම 2014 ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ දී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තුන්වැනියා වුණා.ඊට පස්සේ මීටර් 200/ 400 සහ 400 කඩුලු මතින් දිවීමෙන් ඉදිරියට ආවා. 2017දි,ජෝන් ටාබට් තරගාවලියේ මීටර් 400 දුවන්න යද්දි වැරැදි ආරම්භයක් ගත්ත නිසා තරගයෙන් එළියට දැම්මා. එතකොට මීටර් 100 පවත්වල තිබුණෙ නැ. ඒක නිසා 100 තරග කළා. ඒකෙන් හිතපු නැති විදියට පළවැනියා වුණා. ඊට පස්සේ තමයි මගේ පුහුණුකරුවා කිව්වේ මීටර් 100 ඉසව්ව දිගටම කරමු කියලා.

මුලින්ම ඉස්කෝලේ ලොකුවට මලල ක්‍රීඩා තිබ්බෙ නෑ. හත වසරේදි තමයි මලල ක්‍රීඩාව පටන් ගත්තෙ. අපිව ක්‍රීඩා කරන්න යොමුකළේ චන්ද්‍රිකා මැඩම් තමයි. එතකොට සනත් සර්. එයා අපිව අවුරුද්දක් පුහුණු කළා. අටවසරෙ ඉඳන් මේ දක්වා සංජීව වීරක්කොඩි සර් ගාව ට්‍රේනිං කරනවා.’ ඈ පවසන්නීය.

මෙරට පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී වැඩි අවධානයක් දිනා ගත් අමාෂා රන් පදක්කම් හතරක් දිනා ගත්තාය.ඒ මිටර් 100/200/100 සහ 400 සහාය දිවිමේ ඉසව්වලින්ය.

‘මම මීට කලින් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ. මට දැනගන්න ලැබුණ විදියට මීටර් 100 ඉසව්වේදි ඉන්දියානු ක්‍රීඩිකාවක් විතරයි මට අභියෝගයකට සිටියේ. ඒත් බයක් තිබුණා. අපේ රටේ තිබුණ නිසා වාසියක් වුණා. අත්දැකීම් නැති නිසා. ස්ටාර්ට් එකේ ඉඳල හොඳට දිව්ව. එතරම් අභියෝගයක් තිබුණෙ නෑ.මීටර් 200 ඉසව්වෙදි පදක්කම් තුනම දිනාගත්තෙ අපේ ක්‍රීඩිකාවන් 200 ඉසව්වේ පළවෙනියා වුණේ මම. දෙවැනිය වුණේ ශර්මිලා තුන්වැනියා වුණේ ශෙලින්ඩා. අපිට පදක්කම් තුනම ගන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි. මට එදා ශර්මිලා ලොකු අභියෝගයක් වුණා.

ගීත රසවිඳින්න වගේම කලාත්මක වැඩ කරන්න ගොඩාක් කැමැතියි. හොඳට ඉගෙන ගෙන දුෂ්කර පළාත්වල ළමයින්ට උදව් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා. පවුලේ අම්මයි ,තාත්තයි. අයියයි. අක්කයි. අක්කා වයඹ විශ්ව විද්‍යාලයේ හොකී කණ්ඩායමට ක්‍රිඩා කරනවා. අයියා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. එයාට හොඳට ගීත ගයන්න පුළුවන්.මගේ ක්‍රීඩා ජිවිතයට ගොඩක් අය උදව් කරනවා. ඒ සියලුම දෙනා මේ මොහොතේ හදවතින් ම සිහිපත් කරනවා,’ අවසන් වශයෙන් ඈ 'ක්‍රීඩා' පුවත්පතට පැවසී ය.

ඡායාරූපය - ජගත් ඉරෝෂණ

 

Comments