දැල්පන්දු කණ්ඩායම අතහැරලා මම පැනලා ගියේ නෑ | සිළුමිණ

දැල්පන්දු කණ්ඩායම අතහැරලා මම පැනලා ගියේ නෑ

THILAKA jinadasa

ඔලිම්පික් ගිය පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව මමලු!

ට්‍රික්සි-ලක්ෂ්මි දැල්පන්දු අරගලයේ තිලකා නෑ

 

ලංකාවේ කීඩා පරිපාලනය හරිම ගතානුගතිකයි

එය අරුමැසි ආදරයකි. අප එසේ කියන්නේ තමන්ගේ ඇරඹුම් ලක්ෂ්‍යය වෙනුවට දෙවනුව තම ක්‍රීඩා දිවියේ කේන්ද්‍රය වශයෙන් වෙනත් ක්‍රීඩාවක් සොයාගනිමින් එයට ගැඹුරින් ආදරය කරමින් සිටින හෙයිනි. ඇය නමින්මේ තිලකා ජිනදාසය. වර්තමානයේ මෙරට ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා අංශය භාර ප්‍රධානියා ය. මේ ‘ක්‍රීඩා’ ඇය හා පැවැත් වූ සුහද සංවාදයකි.

ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ඔලිම්පික් නියෝජනය ඔබෙයි?

සමහරු එහෙම කියනවා. තවත් සමහරුන් එය වැරැදියි කියනවා. කොහොම වුණත් මම 1988 සෝල් ඔලිම්පික් උළෙල නියෝජනය කළා.

මොකක්ද එතැන තිබෙන වරද?

දීපිකා චන්මුගම් පිහිනුම් ක්‍රීඩිකාවක් විධිහට මා සමඟ මේ තරගාවලිය වෙනුවෙන් සහභාගි වුණා. ඉතින් ඔලිම්පික් නියෝජනය කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව කියන ගෞරවය අප දෙදෙනාටම හිමිවෙන්න ඕනෑ කියන තර්කය තිබෙනවා. හැබැයි තරගාවලියට ලියාපදිංචි වුණු පළමු ක්‍රීඩිකාව නම් මමයි. චන්මුගම් ලියාපදිංචි වෙන්නේ දෙවනුව.

එදා ඔලිම්පික් යන්න පරිසාධන මට්ටම් අරගල තිබුණේ නෑ නේද?

ඔව්. 1992න් පස්සේ තමයි ඒ පරිසාධන මට්ටමේ තීරණය අරගත්තේ. එදා අද තරම් තරගකාරී භාවයක් තිබුණේ නෑ.

හැබැයි ඔබ ශ්‍රී ලංකාවට පළමු කාන්තා ඔලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමට දොරටු විවර කරගන්න මඟ පෙන්වපු, ධෛර්යය සපයපු එකම මලල ක්‍රීඩිකාව කියලත් කියන්න පිළිවන්?

මම ඔලිම්පික් ගිහින් වසර 12කට පස්සේ තමයි සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කම දිනාගන්නෙ. මගේ ඔලිම්පික් ගමන ඇතැම්විට ක්‍රීඩකයන්ට පමණක් හිමිවෙලා තිබුණු ඔලිම්පික් වරම් වෙනස් කරගෙන ක්‍රීඩිකාවනුත් එතැනට යන්න අවශ්‍ය ආකාරයට යම් බලපෑමක් වෙලා තියෙනවා කියලා හිතන්න පිළිවන්. ඒක ගමට දැනුණු විධිහ වෙන්න ඇති සුසන්තිකාලා, දර්ශලා, ශ්‍රියානිලා ඇතුළු විශිෂ්ටයන් පිරිසක් පහළ වෙන්නේ.

ඔබ කඩුලු පනින්නියක්. පසුකලෙක අපි ලෝකය තුළ මලල ක්‍රීඩාවෙන් නමක් දිනාගන්නේ සුවිශේෂී ඉසව් කීපය අතරට කඩුලු පැනීම කියන ඔබේ ඒ ඉසව්වත් තිබෙනවා?

ඇත්තෙන්ම. අපිට රටක් වශයෙන් පදක්කම් දිනන්න ප්‍රධාන වශයෙන් හැකියාව තිබෙන ඉසව් අතර කඩුලු පැනීමට අමතවර තවත් ඉසව් තිබෙනවා. මීටර් 400, 800 වැනි ඉසව් එතැනදී අපිට අමතක කරන්න බෑ.

ඒ ඉසව් මොනවාද කියන එක විධිමත් පර්යේෂණයකින් පසුව තීන්දු කළ යුතුයි. දැන් හෙල්ල විසිකිරීම පැත්තෙනුත් අපි ඉන්නේ ලෝකයේ ඉදිරි ස්ථානයක. පොඩි පොඩි අඩුපාඩු ටිකක් හදාගත්තොත් අපිට ජාත්‍යන්තරය දිනන්න පිළිවන්.

හිටපු මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතර තිලකා ජිනදාස කියන්නේ ඉතා ඉහළ තාක්ෂණික ඥානයක් සහිත, එය භාවිත කරමින් සැලසුම් අඳින්න හැකි තැනැත්තියකට. ඒත් අර ඉස්සෙල්ලා ඔබ කියූ පර්යේෂණ වලදී ඉන්නේ පස්ස ගහලා. ඇයි ඒ?

ඔව්. පුළුවන්. නමුත් එය සිදුවිය යුත්තේ නිසි ඇගයීමක් මත. එහෙම නැතිනම් එතැනට ඇවිත් වැඩක් කරන්න බෑ. කොයිතරම් වැඩකරන්න හැදුවත් වැඩකුත් නෑ.

ඇයි ඔබට ලැබෙන සැලකීම ප්‍රමාණවත් නැද්ද?

මම මිට ඉස්සර ඒ ගැන කතාකළා. අනෙක ඇගයීම, පිළිගැනීම කියන දේ මොකක්ද කියලා මම දන්නවා. ඒ නිසාම වෙන්නැති ඒ විධිහට ඇගයීම් නැහැයි කියලා හිතෙන තැන්වලට ඇවිත් කිසිවක් කරන්න ඉදිරිපත් නොවීම මගේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ.

ඔබ වැඩිකාලයක් නිරත වෙලා සිටි මලල ක්‍රීඩාව අතහැරලා දැල්පන්දුවක් අල්ලාගෙන ඉන්නවා. මොකක් ද මේ වෙනස?

වෙනසක් නෑ. මම ඒ කාලෙත් දැල්පන්දු ක්‍රීඩා කළා. ඒ වගේම මට හැකිවුණා ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න.

එහෙනං දැන් පුහුණු කටයුතුවලදී දැල්පන්දුව පැත්තට විතරක් හේත්තු වෙලා ඉන්නෙ?

හැම වෙලාවෙම පුහුණුකරුවකු වෙන්න ඕනෑ අත්දැකීම්වලට විතරක් නොවෙයි කියන එක මම පිළිගන්නවා. ඒක මට මගේ ගුරුවරයාත් කියාදුන්නු දෙයක්. ඉතින් මම පුහුණුකරුවකු වශයෙන් ඇති කුසලතා වැඩි ප්‍රමාණයක් ලබාගත්තෙ දැල්පන්දුවලින්. මේ වනවිට දැල්පන්දු පුහුණුකාරිණියක් වශයෙන් ජාත්‍යන්තර දැල්පන්දු සංගමය පිළිගන්න පාඨමාලා ගණනාවක් මම සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව තුළ සුදුසුකම් ලත් දැල්පන්දු පුහුණුකාරිණියක්.

ඇයි මලල ක්‍රීඩා පුහුණුකාරිණියක් නොවී දැල්පන්දු ක්‍රීඩාව පැත්තට විතරක් යන්න හිතුවේ?

මම මලල ක්‍රීඩාවේ පළමු අදියරේ පුහුණුකරුවකු වශයෙන් සුදුසුකම් ලබලා තිබෙනවා. ඒ වෙනුවෙන් තිබුණු අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ විභාගයෙන් දෙවැනියා වශයෙන් සමත් වුණේ මම. නමුත් මම පුහුණුකරුවකු වෙන්න එද්දී ඒ දවස්වල පිට්ටනියේ හිටියේ යෝගානන්ද විජේසුන්දර, ලක්ෂ්මන් ද අල්විස්, ඩර්වින් පෙරේරා, එස්.එම්.ජී. බණ්ඩාර. සුනිල් ගුණවර්ධන වගේ දැවැන්ත නම් ඇති උදවිය. ඔවුන් ළඟ පුහුණුකරුවකු හැටියට ක්ෂුද්‍ර චරිතයක් වගේ පෙනෙන්න ඉඩ තියෙන නිසා මම මලල ක්‍රීඩා වෙනුවට දැල්පන්දු ක්‍රීඩාවේ පුහුණුකාරිණියක් වෙන්න තීරණය කළා. එතැන මට සැලකිය යුතු තැනක් හදාගන්න පිළිවන් වුණා. ඒ නිසයි මම දැල්පන්දුව පැත්තට ගියේ.

සැලකිය යුතු තැනක් කිව්වට තවම දැල්පන්දු සංගමයට නම් ඔබව පේන්නේ ‘ළමයෙක්’ වගේ?

ඒක තමයි මෙතැන තියෙන වැරැද්ද. මම ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලබපු, ජාත්‍යන්තරය පිළිගන්න දැල්පන්දු පුහුණුකාරිණියක්. ඒත් ඇතැමුන්ට මාව ළමයෙක් විධිහට පේනවා ඇති. අන්න ඒ ගතානුගතික සිතිවිලි තමයි මෙතැනදී නැතිකරගත යුත්තේ.

මොකක්ද ඔබ කියන ගතානුගතිකත්වයේ කතාව?

මම 1998 ඔස්ට්‍රේලියානු සුදුසුකම් ඇතිව ශ්‍රී ලංකාවේ දැල්පන්දු පුහුණුකාරිණිය වෙන්න අයදුම්පතක් දැම්මා. ඒත් මට ඒක ලැබුණේ නෑ. ඒ වෙනුවට මට ලැබුණේ මාලදිවයිනේ ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වෙන්නයි. 2006 දී මට ලංකාවේ ජාතික යොවුන් දැල්පන්දු පුුහුණුකාරිණිය වෙන්න ලැබෙනවා. 2007 දීත් ඒ තනතුරට මාව නැවතත් පත්වෙනවා. අන්තිමට ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වෙන්නේ 2009 වසරේ දී මාස හයක කාලයකටයි. ඒක මට අහම්බෙන් හිමිවෙන්නෙ. ඒ ඊට පෙර හිටපු පුහුණුකාරිණිය ඒ තනතුර දාලා ගිය නිසයි. වසර අටක ඉතිහාසයකට පස්සෙ මගේ පුහුණුකාරිත්වය යටතේ අපිට ආසියානු ශූරතාව දිනාගන්න හැකිවෙනවා. එදා සිට අද දක්වා මම දැල්පන්දුව තුළ ප්‍රතිඵල පෙන්වූ පුහුණුකාරිණයක් වුණා. නමුත් මම යළිත් අර ගතානුගතික භාවය අත්විඳිනවා. ඒ අදහස් එක්ක මගේ කොන්ත්‍රාත් කාලය සලකලා බලලා මගේ අවශ්‍යතාව ගැන බලලා මම එතැනින් අයින් වෙනවා.

ඒත් 2009 වසරේ ඔබ ආසියානු ශූරතාව දිනුවේ අහම්බෙන් කියලා කියනවා?

එහෙමත් කිව්වා. ඒ ගතානුගතික කතා. හැබැයි හිටපු පුහුණුකාරිණිය කණ්ඩායම දාලා ගියාට පස්සේ ඒක බාර අරගෙන මාස හයක් තුළ ආසියානු ශූරතාවයට සැලසුම් සහගතව පුහුණුවීම් කළ බව එතැන හිටි ක්‍රීඩිකාවෝ දන්නවා කියලා මම හිතනවා. ආයෙත් මම ඇවිත් ආසියානු ශූරතාව දිනාගන්න කණ්ඩායම පුහුණු කරන තුරු වෙන කවුරුවත් ඒ කුසලානය දිනාගන්න මඟ පෙන්නුවේ නෑනේ. එදා මම දිනුවේ අහම්බෙන් නම් ඊට පස්සේ මම ආයෙත් දිනනතුරු අනිත් අයට ඒක බැරිවුණේ ඇයි? හැබැයි මාස හයක් තුළ 2009 වසරේදී ආසියානු ශූරතාව දිනුවාට 2011 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට යන කණ්ඩායමේ පුහුණුකාරිත්වය මට ලැබුණේ නෑ. මම කියන ගතානුගතිකත්වය තමයි එතැන තිබුණේ. අපිට දක්ෂතා අගයන්න ප්‍රතිපත්තියක් නැතිකම තමයි ලොකුම අඩුව. හැබැයි ලෝකය බලා ඉන්න නිසා මාව අන්තර් ජාතික වැඩවලට ගෙන්වා ගන්නවා. හැබැයි ශ්‍රී ලංකාව තුළ හුඟාක් ක්‍රීඩා සංගම් ඇතුළේ මේ කියන ගතානුගතික භාවය බොහෝ විට තියෙනවා.

ඒත් ඔබ යළි රටට ආසියානු දැල්පන්දු ශූරතාව දිනාදෙන්න සමත් පුහුණුකාරිණියක් වෙනවා?

ඔව්. විවිධ අභියෝග මැද මම ඒ දේ සිදුකරලා තිබෙනවා. අන්තිමට තිබ්බ 2018 වසරේ ආසියානු ශූරතාවයත් දිනාගත්තේ මගේ පුහුණාකාරිත්වයෙනුයි. ලෝක ශූරතාවයටත් අපේ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

ඔබ පුහුණු කළ කණ්ඩායම දිනන්නේ තර්ජනී ශිවලිංගම් කියන උසම ක්‍රීඩිකාව යොදාගෙන නේද?

තර්ජනී ශිවලිංගම් ගෝල් විදින්නියක් වශයෙන් අපිට සම්පතක්. ඒක මම නැහැ කියන්නේ නෑ. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න ඇය මා සමඟ විතරද ක්‍රීඩා කළේ කියලා. බැලුවොත් පෙනෙයි මම නැතිවත් ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බව. ඒත් ඇය කණ්ඩායමේ හිටියා කියලා වෙන පුහුණුකාරිණියන්ට ආසියානු ශූරතාව දිනන්න පුලුවන් වුණේ නෑ. ඒ ඇයි?

ඇත්තටම ඒ ඇයි?

පුහුණුකරුවෙක් කියන්නේ ක්‍රීඩකයන් මත යැපෙන්නෙකු නොවිය යුතු නිසා. අපි ක්‍රීඩිකාවන්ව ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඕනෑ. ඒක තමයි පුහුණු ක්‍රමවේද සකස් විය යුත්තේ. මම කරන්නේ ඒ දේ. අන්න ඒ නිසයි අපි ආසියාව ජයගත්තෙ. නැතුව තනි ක්‍රීඩිකාවක්, දෙන්නෙක් නිසා නෙවෙයි.

ඔබ හදිසියේ ජාතික දැල්පන්දු කණ්ඩායම දාලා ගියා කියලා චෝදනාවක් තිබෙනවා?

කවුද එහෙම කියන්නෙ? මම කවදාවත් කණ්ඩායම දාලා ගියේ නෑ. එදා ලෝක ශූරතා තරගාවලියෙන් පස්සේ මගේ පත්වීමට තිබුණු අභියෝග කොයිතරම්ද කියලා ඔයාලා දන්නවා. කණ්ඩායම පුහුණුකරනවාට අමතරව මම කළේ මගේ තනතුර ඊළඟ ආසියානු ශූරතාව දක්වා තිබෙන බව ඔප්පු කරන්න මහන්සි වුණා. ඇත්තටම මම දේශපාලනඥයන් පස්සේ යන පුහුණුකාරිණියක් නොවෙයි. ඒත් දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් මට වැඩකරන්න දුන්නා. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා එතැනට පත්වෙලා ඇවිත් යළි මගේ පත්වීම වසර දෙකකට දිගු කළා. අන්තිමට එතුමා දිර්ඝ කළ මගේ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයයි, දැල්පන්දු සම්මේලනයයි නෑ කිව්වා. ඒත් මම මගේ ළඟ තියෙන පිටපත පෙන්නුවා. පෙන්වලා කිව්වා සැකනම්

ෆයිසර් ඇමැතිවරයා අනුමත කළ ඒ ලිපිය අධිකරණය හමුවේ අභියෝග කරන්න කියලත් මම කිව්වා. එවැනි හැලහැප්පිලි එක්ක යද්දී කෝවිඩ් නිසා ආසියානු ශූරතාව අවලංගු කළා. ඉතින් මම දැල්පන්දු සම්මේලනයට දැනුම් දීලා අයින් වුණා.

ඔබ එහෙම අයින් වෙන්නේ ඇයි?

මොකද මගේ අවශ්‍යතාවය තිබුණේ තවත් දැල්පන්දු ආසියානු ශූරතාවක් වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමනේ. ඒත් ආසියානු ශූරතාව අවලංගු කළ නිසා මගේ පත්වීම තවදුරටත් අවශ්‍ය වුණේ නෑ. මොකද

මගේ පත්වීමේ 2020 ආසියානු ශූරතාව දක්වා පුහුණුකාරිණිය කියලා සඳහන් වුණා. නමුත් ආසියානු ශූරතාව අවලංගු කරලා, සංචිත පුහුණුව නතර කළාට පස්සෙ තමයි මම පුහුණුකාරිත්වයෙන් අයින් වෙන්නේ. ඒක ලිඛිතව ලිපියක් ඉදිරිපත් කරලා නීත්‍යනුකූලව, බොහෝම වෘත්තීය ආකාරයට සිදුකළ ඉවත් වීමක්. එහෙම නැතිව දාලා ගියේ නෑ. හැබැයි කිසිකෙනෙක් මට ගිවිසුම අවසන් කළා කියලා ස්තුති කරලා පිළිතුරු ලිපියක්වත් එව්වේනම් නෑ.

ඒ කියන්නේ ඔබ දැල්පන්දු කණ්ඩායම දාලා ගියේ නෑ?

නෑ. මට තිබුණු කොන්ත්‍රාත්තුව අනුව වැඩකරද්දී ආසියානු ශූරතාව අවලංගු කරන්න තීරණය වුණාම මම එතැනින් නීත්‍යානුකූලව අයින් වුණා.

එහෙම නැතිව වෙන ගැටලුවක් නොවෙයිද?

නෑ. මට වැඩකරන්න සුදුසු පරිසරයක් තිබෙනවා නම් මට ඒ ඇති. අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම් ඒක ප්‍රමානවත්.

කෙළින් කියන්න තිලකා ජිනදාස දැල්පන්දු පුහුණුකාරිත්වයෙන් ඉවත් වන්නේ බල අරගල නිසා නොවෙයිද කියලා. ඔබ ට්‍රික්සි නානායක්කාරගේ කඳවුර නියෝජන කරන කෙනෙක් නිසා එතැනින් ගියාද? එහෙමත් නැත්නම් ලක්ෂ්මී වික්ටෝරියා කඳවුරට හිතවත් නැතිනිසා එතැනින් අයින් වුණා ද?

මම ඔය කිසිම කඳවුරක නෑ. මම සුදුසුකම් සහිත වෘත්තීය පුහුණුකාරිණියක් විතරයි. ඒ නිසා මම ක්‍රීඩකයන් එක්ක ගනුදෙනු කරන, තාක්ෂණික පසුබිම අනුව ක්‍රියාකරන පුහුණුකාරිණියක්. සමහරු හිතාගෙන ඉන්නේ ඒ විධිහට වෙන්න ඇති. නමුත් ඒක වෘත්තීමය වශයෙන් ක්‍රීඩාව ගැන අවබෝධයක් නැති අය හිතන ආකාරය මිසක් යතාර්ථය නොවෙයි. ඒකයි මම මීට ඉස්සර කිව්වේ ගතානුගතික, හණමිටි අදහස් වලින් ගිහින් මේ ක්‍රීඩාව කරන්න බෑ කියලා.

හොඳයි ඔබ කියන්නේ අපිට යළි ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනන්න පුලුවන් කියලා ඔබ හිතනවා ද?

පුළුවන්. හැබැයි ඒකට විධිමත් සැලසුමකට අනුව වැඩකළ යුතුයි. වාර්ෂික තරග කාලසටහනක් තිබෙන්නත් ඕනෑ. ඒ වගේම පුහුණුකරුට නිවැරැදි අභිමානයක්, ක්‍රීඩිකාවන්ට නිසි පිළිගැනීම් හා පහසුකම් ලබාදිය යුතුයි. එවිට අපිට ආසියාව දිනාගෙන ලෝකයට යන්න පිළිවන්.

දැන් ඔබ ඉන්නේ කළකිරීමෙන් ද?

මට තිබෙන කනගාටුව අපිට ආසියාවේ ඉන්න හයියම ගෑණු ළමයි ටික ඉන්නේ කියලා ආසියාවට පෙන්වන්න බැරිවුණු එක නිසයි. ඒකට ආසියානු ශූරතාව එක දිගට දෙතුන් පාරක් දිනන්න ඕනෑ වසරක් දිනලා වසර කීපයක් අනුශූරියන් හරි තෙවැනි ස්ථානය හරි දිනලා වැඩක් නෑ. ඒක අඛණ්ඩ විය යුතුයි. අනෙක මම කණ්ඩායම අතරමඟ දාලා ගියා කියලා ඇතැම් අය ඇමැතිතුමාට කියලා තිබෙනවා. එතුමාත් ඒක එහෙමයි කියලා හිතනවා නම් ඒකත් මට කනගාටුවක්.

ඔබ දැන් ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා අංශයේ ප්‍රධානියා. නමුත් ඔබට විදේශීය පුහුණුකාරිණියක් වශයෙන් ආරධනාවක් ලැබිලා තිබෙන බවත් ආරංචියි?

ඔව් මම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩා භාරව සිටිනවා. එය මට ලැබුණු ඉහළ පිළිගැනීමක්. ජාත්‍යන්තරයෙනුත් මට ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් මම දැන් ඉන්නේ වගකීමක් බාර අරගෙන. ඒ නිසාත්, කොවිඩ් තත්ත්වය නිසාත් මම අන්තර්ජාතික ආරාධනා ගැන සිතන්නේ නෑ. හැබැයි යළි දිනෙක මම ලෝකයේ වැඩකරාවි. නෑ කියලා කියන්නේ නෑ

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments