


චීන වරාය කලපුව හිරු කැන් උදාවෙමින් තිබුණේ රන් පැහැය දිදුලවමිනි. කලපු දිය තලය සිසාරා හමායන සුළඟ රැගෙන එන්නේ නැවුම් භාවයකි. ඉඳහිට මුහුදු ලිහිණියෝද, සේරූ වැනි කුරුලු රංචු නිල් අහස් කුස සිසාරා පියඹා යනු නෙතග දැවටෙන්නේ සොඳුරු රටා මවමිනි.
අප මේ සිටින්නේ ‘මාබල් බීච්’ නැතහොත් ‘කිරිගරුඩ වෙරළ’ නමැති මනරම් භූ දර්ශනය අත්විඳිමින්ය. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ළඳු කැලෑ මෙන්ම වීර, පළු, සියඹලා, දිවුල් ඇතුළු කුඩා ගස් ගොමු වසාගෙන පැතිරුණු කඳු ගැටයකින් යුත් වන ගත භූමි භාගයකි. එහි වෙරළ තෙර ඉදිවූ නිවාඩු නිකේතනයන් සියල්ල කාර්ය බහුලව ඇත්තේ හිරු කැන් වැටෙන වේගයට සමානුපාතිකවමය.
වන ගත භූමි භාගයේ නුග තුරු ඇතුළු විවිධ ශාඛා විටපක් තනන තුරු අතු මත කෑ මොරදෙමින් හඬ ගසන්නේ මොනරුන්ය. ඒ අතර වර්ෂාවක් නොතිබුණද ඇතැමුන් එළිමහන් බිමේ පිල් විහිදාගෙන නටමින් සිටිනු පෙණේ. ‘කිරිගරුඩ වෙරළ’ නිවාඩු නිකේතනයන්හි තාවකාලික වාසීන් ගේ උද්යෝගය මෙවැනි දසුන් තුළින් වැඩිදියුණු කර තිබේ. සොබා දහමේ මනරම් රැගුමින් මන්මත්ව සිටි අප දැන් ගුවන් හමුදා සෙබළ බලමුළුවක අත්අඩංගුවට පත්ව ඇතැයි හඟවමින් අප නැවතී සිටින කුටිය අසළට සමුදුරු පැහැ ඇඳුමින් සැරසුණු නිලධාරීන් දෙදෙනෙක් පැමිණියහ.
ඒ නිරායුධව ය. එය එක අතකින් මහත් අස්වැසිල්ලකි. ඔවුහු ගුවන් හමුදා මාධ්‍ය අංශයේ සුමිතුරෝය. ඔවුහු ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුශාන් විජේසිංහයන්ගේ සුහද ඇරැයුමකට අනුව අපව රැගෙන යාමට පැමිණ සිටිති. එසේ පැමිණි ඔවුහු ‘කිරිගරුඩ වෙරළේ’ සුන්දරත්වයේ දැහැණින් අපව මුදවා ගැනීමට ඇඟිලි ගනිති. අපි සොබාසිරි විඳීම කල් තබා ගුවන් හමුදාවට අයත් බස් රථයකට නැඟුණෙමු. දැන් අප ගමන් ගනිමින් සිටින්නේ වනගත අරණක් බඳුවූ භූමි භාගය මැදින් කලපු තලයට සමාන්තරව මෙන් වැටී ඇති පටු මාවත ඔස්සේය.
එම මඟේ කිලෝ මීටර් තුනක් අප රැගෙන ගොස් ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ යනුවෙන් නම් තබා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශිෂ්ට ගොල්ෆ් ක්‍රීඩාංගණය වෙත පිවිසුණේය.
අනුග්‍රාහකයන්ගේ ධජ පතාක වලින් හැඩිවී තිබුණද චීන වරාය ආශ්‍රිතව කලපුව සිඹින අක්කර 171ක් පුරා විහිදී ඇති ‘ඊගල් ගොල්ෆ් ලින්ක්’ ක්‍රීඩාංගණය මේ සූදානමින් සිටින්නේ අටවැනි වරට සංවිධානය කරනු ලබන ‘ගුවන් හමුදාපති කුසලාන 2021’ ගොල්ෆ් තරගාවලිය වෙනුවෙනි.
අප එහි ළඟාවන විට පිටියේ පළමු ගොල්ෆ් සිදුර අසළ ක්‍රීඩා කරන්නට සූදානමින් සිටියේ ආරෝහ පරිණාහ දේහයෙන් යුත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නයන්ය. ඔහු සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද වූයේය. ආරක්ෂක ලේකම් ධූරය පසෙක තබා අභියෝග ජයගන්නා, ජීවිත අරමුණු වැඩිදියුණු කරන්නාවූද, අධිෂ්ඨානය වැඩි වර්ධනය කරන්නාවූද ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලීමේ සූදානමකින් ඔහු සැරසී සිටී. ආරක්ෂක ලේකම්වරයා වටා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් රොඳ බැඳ සිටින්නේ ඔහුගේ පළමු පහර නීල ගුවනේ කවරාකාරයකින් ප්‍රක්ෂිප්තයක් අඳිනු ඇත්දැයි බැලීමටය.
‘ගුවන් හමුදාපති කුසලාන 2021’ ගොල්ෆ් තරගාවලිය අවසන් වනවිට පළමුව නැගෙනහිරින් මතුව ආ හිරු දුටු ත්‍රිකුණාමල ‘කිරිගරුඩ වෙරළ’ ආශ්‍රිත තාවකාලික නවාතැන්කරුවන්ට සන්ධ්‍යාව උදාවී දිවා ආහාරය පිණිස හඬ ගසමින් තිබුණේය.
සමස්ත තරගාවලියේ ප්‍රතිඵලය ප්‍රකාශ කෙරුණේ එදිනම සන්ධ්‍යාවේ පැවැති සම්මාන ප්‍රදාන රාත්‍රියේදීය. ඒ අනුව තරගාවලියේ පිරිමි ශූරතාව සංජීව ආරියරත්න දිනා ගත්තේ කාන්තා ශූරතාව අනූෂා සේනාධීරට හිමිවිය.
තරග ප්‍රතිඵල
දිගු පහර - අනූෂා සේනාධීර (කාන්තා), රොමේෂ් අබේරත්න (පිරිමි), ගොල්ෆ් සිදුර ආසන්නයට පන්දුව යොමුකිරීම-
මනෝරි ජයකොඩි(කාන්තා), රොමේෂ් අබේරත්න (පිරිමි), දිගු පහර (ඊගල් කුසලාන) සී. කරුණාතිලක (පිරිමි) , වුඩ්න් ස්පූන් - සී. සේනාධීර, පියාසර කොමදෝරු ලක්මාල් ගුණවර්ධන (පිරිමි), ඊගල් අභියෝග ශූරතාව ශූරතාව
පිරිමි -ඒ.වී.එම්. උදේණි රාජපක්ෂ , ගුවන් හමුදාපති කුසලාන අනුශූරතාව, කාන්තා - නිලූ ජයතිලක

පිරිමි - ජානක තෙබුවන
ඡායාරූප - ජගත් ඉරෝෂණ










