ක්‍රීඩාවේ රිදී රේඛා අඳින ‘හපන් අබේකෝන්’ | Page 2 | සිළුමිණ

ක්‍රීඩාවේ රිදී රේඛා අඳින ‘හපන් අබේකෝන්’

 

YUPUN abeykoon

පසුගිය වසරේ මීටර් 100 නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන විට ඔහු තරග කළේ ජර්මනියේදී ය.

දැන් ඔහු දේශීය මලල ක්‍රීඩාවේ ‘යුගයක්’ බිහිකිරීමට සූදානම් ක්‍රීඩකයෙක් බව පෙණේ. ඊට අවශ්‍ය කැරිස්මා බලය දැනටමත් තමන් සතු බව ඔහු ප්‍රකට කර ඇත.

 ‘අහස් කුස සුන්දර වන්නේ කළු වළා තුළ රිදී රේඛා ඇඳෙන විටය. එවන් කළු වළා තුළින් රිදී රේඛා මතුවන තුරු නො ඉඳ අඳුරු වළාවන් රිදී වළා බවට පත්කර ගන්නට ද පිළිවන. මේ එවන් අපේක්ෂා දල්වන රිදී රේඛා අඳින්නකු ගැනය.ඔහු යුපුන් අබේකෝන් වූවාට දැන් අපට ඔහු 'හපන්' අබේකෝන් යැයි කියා හඳුන්වන්නටද පසුබිම සකසා තිබේ. මේ ඒ ගැනය.'’

‘වාසනාව ගැන නොසිතන්න. වෙහෙස වී වැඩ කිරීම සම්බන්ධයෙන් විශ්වාසය තබන්න.’ යැයි මුලින්ම කීවේ ඔහු නොවේ. එහෙත් ඔහු එය ඉහ මුදුනින් පිළිගන්නෙකි. ඒ අනුව ක්‍රියා කරන්නට ද පසුබට නොවන්නෙකි. ඔහුගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ පිටුව පරිශීලනය කරන්නකුට ඒ බව පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ඒ අන්කිසිවෙක් නොව ශ්‍රී ලංකාවේ අලුත්ම ‘වේග රජු’ ලෙස සැලකෙන යුපුන් අබේකෝන් ය. ඉතාලිය ආශ්‍රිත ව ජීවත් වෙමින් පුහුණු කටයුතු සිදුකරනු ලබන ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවන කාලය සනිටුහන් කළ මිනිසා ඔහුය. ඒ තත්පර 10.16කින් මීටර් 100 ඉසව්ව නිමකරමිනි. ඔහු එම වාර්තාව තැබූයේ පසුගිය වසරේය.

එහෙත් යළි ඔහු ක්‍රීඩා කරළිය තුළ පුවත් මවන්නකු බවට පත්වුණේ පසුගිය සති අන්තයේ මීටර් 60 ගෘහස්ථ ධාවන තරගයකට එක්ව නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වීමත් සමඟය. ඒ එම ඉසව්ව තත්පර 6.59කින් අවසන් කරමිනි.

එකී ජයග්‍රහණය සඳහා ඔහුට එම තරගයේ පළමු ස්ථානය දිනාගැනීමටත් ලෝකයේ මෙම වසරේ ක්‍රීඩක ශ්‍රේණි සටහනේ හොඳම කාලයක් බවට එය සටහන් කරගැනීමටත් යුපුන්ට අවස්ථාව උදාවිය. තරගය පැවැත්වුණේ ඉතාලියේ ඇන්කෝනාහි දී ය.

පන්නල ජාතික පාසලෙන් හා වෙන්නප්පුව ජොශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති යුපුන් කෙටි දුර ධාවනයේ ‘හපන්’ බව මේ වනවිටත් ප්‍රදර්ශනය කර තිබේ. ඔහු ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම මෙරටට දිනා දීමට දක්ෂතා දැක්වූ බව ද නොරහසකි.

පසුගිය වසරේ මිටර් 100 පිරිමි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන විට ඔහු තරග කළේ ජර්මනියේ ය. එම තරගයේදී යුරෝපාකරයේ ඉදිරියෙන් කියැවිය හැකි නම් සහිත ධාවකයන් හා යුපුන් තරග කළ අතර අවසානයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම දක්වා ස්වකීය ධාවන වේගය ඉහළ නංවාගැනීමට ඔහුට හැකි විය.

යුපුන් ඉතාලියේ පුහුණුව ලබන්නේ ‘මෞරිෂියෝ රැපරෙලි සහ ක්ලෝඩියෝ ලිසිරාඩෙලෝ’ යනුවෙන් හැඳින්වෙන පුහුණුකරුවන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේය. ඔහු ඉතාලියට සංක්‍රමණය වූයේ මීට වසර ගණනාවකට පෙරය. එසේ එරටට සංක්‍රමණය වීමෙන් අනතුරුව පූර්ණ කාලීනව ක්‍රිඩා පුහුණුවේ යෙදෙන්නට තරම් වාසනාව උදාකරගෙන තිබීම නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවමින් ලෝකය තුළ ධාවකයකු වශයෙන් ඉදිරියට යාමට ඉවහල්ව තිබේ.

‘ඔහු දැන් මීටර් 100 තරගයක් දිව්වොත් තත්පර 10.1ට අඩුවෙන් දුවනවා. බොහෝවිට තත්ත්පර 10.05 ඔලිම්පික් පරිසාධන මට්ටමට ළංවෙන්න වුණත් යුපුන්ට පුළුවන් කියලයි මම හිතන්නේ. ඒ වගේම කියන්න ඕනෑ කෙටි දුර ධාවකයකුට තිබිය යුතු පූර්ණ අඟ පසඟ යුපුන් ට තිබෙන බව. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියා, පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගවලදී ඉහළ දක්ෂතාවක් දක්වාවි කියලා මම විශ්වාස කරනවා.’ යැයි මෙරට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා දැඩි විශ්වාසයකින් යුතුව කරන ප්‍රකාශයත් මෙහිදී අමතක නොකළ යුතුය.

සැබැවින්ම ‘යුපුන් අබේකෝන්’ ගේ නමට ‘හපන් අබේකෝන්’ ලෙස නව හැඩයක් ලබාදිය යුතුයැයි හැඟෙන්නේ එහෙයිනි.

පසුගියදා වාර්තාගත කාලයක් සටහන් කළ ඔහු සහභාගිවූ මීටර් 60 ගෘහස්ථ ධාවන තරගය සංවිධානය කර තිබුණේ ඉතාලි මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධ තරගයක් ලෙසිනි. එය එම ඉසව්ව වෙනුවෙන් ලොව වාර්තාවූ 320 වැනි හොඳම කාලය ලෙසින්ද සැලකෙයි.

කෙසේ නමුත් එම කාල සීමාව තුළ මීටර් 60 ඉසව්වක් ක්‍රීඩකයක් අවසන් කළ පළමු අවස්ථාව වාර්තාවන්නේ 1976 තරම් ඈත සමයකය. එනම් යුපුන් මේ සම කරන්නේ වසර හතළිස් හතරකට පමණ පෙර ලෝකය විසින් ස්පර්ශ කළ කාල අවකාශයකි. ‍

ෙඑනයින් බලන කල ඒ පිළිබඳ උදම් ඇනිය නොහැකි යැයි යමකුට සිතෙන්න පිළිවන. එහෙත් එය එසේ නොසැලකිය හැක්කේ වර්තමානයේ ලොව වේගවත්ම කාලයකට එය සමරූපී කළ හැකි හෙයිනි. එමෙන්ම මලල ක්‍රීඩාවේ කෙටි දුර ධාවකයකුට පැවැතිය යුතු ශාරීරික ස්වභාවය පවතින ක්‍රීඩකයකු වශයෙන් ද යුපුන්ගේ එම තරග නිමි කාලය අපේක්ෂා දල්වන දක්ෂතාවක් වන බැවිණි.

කලක් දේශීය මලල ක්‍රීඩා තරග බිමේ ප්‍රේක්ෂකයන්ගේ මානසික උද්යෝගය උපරිම තලයට රැගෙන එන ක්‍රීඩාව බවට මීටර් 400 ඉසව්ව පත්කිරීමට සමත් වූ ක්‍රීඩකයෙක් ලෙස සුගත් තිලකරත්න හඳුන්වන්නට පිළිවන. එහෙත් ඊට පෙර මලල ක්‍රීඩා ඉසව්වක් දැඩිව දේශීය ප්‍රේක්ෂකයන්ට සම්ප්‍රේශණය කළ ක්‍රීඩකයා සේ සැලකෙන්නේ ශ්‍රියන්ත දිසානායක ය.

ෙඔහු එකල ක්‍රීඩා පිටියේ සැලකුණේ එක්තරා ආකාරයක සැලෝලයිඩ් වීරයෙක් ලෙසය. ශ්‍රියන්ත යනු දේශීය මලල ක්‍රීඩා පිටිය තුළ රිදී තිරයේ වීරයෙකු වූ ‘විජය කුමාරණතුංග’ වැන්නෙකි. දැන් එය යළි දේශීය කෙළිබිම තුළ නිර්මානය වෙමින් ඇත. ඒ යුපුන් අබේකෝන් නමැති මෙම විසි හය වියැති ක්‍රීඩකයා දක්වන දක්ෂතා සමඟය.

යුපුන් අබේකෝන්ගේ නමේ මුල් කොටස වෙනුවට ‘හපන්’ යනුවෙන් යෙදිය යුතුයැයි අප යෝජනා කරන්නේ එහෙයින්ම ය. දැන් ඔහු දේශීය මලල ක්‍රීඩාවේ ‘යුගයක්’ බිහිකිරීමට සූදානම් ක්‍රීඩකයෙක් බව පෙණේ. ඊට අවශ්‍ය කැරිස්මා බලය දැනටමත් තමන් සතු බව ඔහු ප්‍රකට කර ඇත.

දැන් අවශ්‍ය වන්නේ යුපුන් හා තරග වදින්නට ඔහු හා සම සමව තරග කළ හැකි තවත් දේශීය ක්‍රීඩකයන් ඉදිරියට ගැනීමට කටයුතු කිරීමය. වැඩි වැඩියෙන් ජාත්‍යන්තරව පැවැත්වෙන ග්‍රෝන් ප්‍රී පන්නයේ මලල ක්‍රීඩා ඉසව්වලට ඔවුන් යොමුකරවීමය.

එය සීමාවක්, පාලනයක් සහිතව දක්ෂයන් මිටින් මුදා හැරීමක් විය යුතුය. එවිට පරෙවියන්, උකුස්සන් බවට පත්වනු වළකනු නොහැකිය. මේ යෝජනාව ‘යුපුන්’ ද යුරෝපය තුළ සිටිමින් දක්වන දක්ෂතා මඟින් නිහඩව සිදුකරමින් සිටී. මෙයට පෙර කියූවා සේ සෑම සිදුවීමකම ‘සංඥාර්ථය’ තේරුම් ගැනීමට බලධාරීන් සුදක්ෂ විය යුතුය.

එවිට අඳුරු වළා අතර නිකිණි කොටන්නා සේ ඉඳ හිට මතුවන රිදී රේඛා වෙනුවට අහස් කුස පායන ‘රිදී වලාකුළු’ මෙරට මලල ක්‍රීඩාව තුළ දැකගැනීමට හැකියාව උදාවනු නිසැකය.

 

 

Comments