කිම් ජොන් අන් හිනාවෙවී බැල­ස්ටික් මිස­යිල ලොවට පෙන්වයි | Page 2 | සිළුමිණ

කිම් ජොන් අන් හිනාවෙවී බැල­ස්ටික් මිස­යිල ලොවට පෙන්වයි

උතුරු කොරියාව පසුගියදා තවත් මාධ්‍ය සන්දර්ශනයකින් ලෝකයේම අවධානය ලබා ගත්තේය. මේ වසරේ ආරම්භයේ සිටම උතුරු කොරියානු රාජ්‍ය නායකයා ‘මහා පෙරළියකට සූදානම්‘ බවට ප්‍රකාශ කිහිපයක් නිකුත් කළ අතර ජනවාරි මාසයේදී එරට පාලක පක්ෂය මෙන්ම එකම දේශපාලන පක්ෂයද වන කම්කරු පක්ෂයේ් මහා සම්මේලනයක් පවත්වන බවට පවසා සිටියේය.

ඒ අනුව දින කිහිපයක් පුරා උතුරු කොරියානු රාජ්‍ය නායක කිම් ජොන්ග් අන් ගේ ප්‍රධානත්වයෙන් එරට කම්කරු පක්ෂයේ ප්‍රධානීන් රැස්වූ අතර එහිදී ප්‍රධාන නිලතලවල වෙනස්කම් කිහිපයක්ද සිදුවූ බවට වාර්තා විය.

පක්ෂ සම්මේලනය පැවති කාලයේදී කිම් ජොන්ග් අන්ගේ සොහොයුරිය කිම් ජෝ යොන්ග් දක්නට නොවූ බවද බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි. කිම් ජෝ යොන්ග් එක් අවස්ථාවකදී රටේ නායකත්වයට පත්වන බවට ඉඟි පහළ වූ අතර, කිම් ජොන්ග් අන් ගේ අනුප්‍රාප්තිකයා ඇය බවටද රාවයක් විය. පසුගිය වසරේ කිම් ජොන්ග් අන් දරුණු ‘කෝමා‘ තත්ත්වයේ පසුවන බවත්, එක් අවස්ථාවක ඔහු මියගිය බවටත් පුවත් පැතිර ගිය අතර, අවසානයේදී ඒ සියල්ල අසත්‍ය බව තහවුරු කරමින් උතුරු කොරියානු රාජ්‍ය නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

තමා ඉතා හොඳ ශාරීරික වාතාවරණයක සිටින බව ලෝකයට පෙන්නුම් කළ ඔහු ඉන්පසුව ලොවට පෙන්නුම් කර සිටියේ තම රට සතු යුද ශක්තියයි. ඒ මෙවර ඔහු පක්ෂ මහා සම්මේලනය සමඟ ‘ලෝකයේ ප්‍රබලතම අවිය‘ද ප්‍රදර්ශනය කරමිනි. ඒ පසුගිය ජනවාරි 15 වැනිදාය.

පසුගිය ජනවාරි 15වැනිදා පැවති හමුදා පෙළපාළිය සහ සංස්කෘතික දැක්ම අවස්ථාවේදී ඝන සම් කබායකින් සහ ලොම් හිස් වැස්මකින් සැරසී ඉතා සැහැල්ලු මානසිකත්වයක් පෙන්නුම් කරමින් සිටි උතුරු කොරියානු නායකයා මුව පුරා සිනාසෙමින් තම රටේ නිෂ්පාදිත මාරාන්තික අති ප්‍රබල ගිනි අවි දෙස බලා සිටියේය.

ඉතා ක්‍රමවත්ව පෙළ ගස්වා තිබූ මේ හමුදා ආචාර පෙළපාළියේ උතුරු කොරියානු යුද ශක්තිය මනාව පෙන්නුම් කළ අතර, මුළු ලෝකයේම අවධානය ලබා ගැනීමට සමත් වූයේ පෙළපාළිය අවසානයේ ඉදිරිපත් කළ අති විශේෂ බැලස්ටික් මිසයිල කිහිපයයි.

මේ මිසයිලවල විශේෂත්වය වන්නේ ඒවා සබ්මැරීන මගින්ද දියත් කළ හැකි වීමයි. එබැවින් කිසියම් ඉලක්කයකට යා හැකි දුර ප්‍රමාණය යන මිසයිලයේ සාර්ථකත්වය තීන්දු කරන ප්‍රධාන සාධකය ජය ගැනීමට උතුරු කොරියාවට හැකි වී ඇති බව පැහැදිලිය. මීට පෙර අවස්ථා කිහිපයකදීද තම රටේ නිෂ්පාදිත මිසයිල ලොවට ප්‍රදර්ශනය කිරීමට උතුරු කොරියාව කටයුතු කළ නමුත් මෙවැනි මහා ප්‍රදර්ශන පෙළපාළියක් මෑකකාලීනව පැවැත්වූ අවස්ථා නැති තරම්ය.

මේ පෙළපාළියට අදාළ ඡායාරූප එරට රාජ්‍ය මාධ්‍ය විසින් ලොව පුරා ප්‍රචාරය වන අන්දමින් මුදා හැර තිබීමම තම අවි බලය ලොවට පෙන්නුම් කිරීමේ උතුරු කොරියානු වෑයම මනාව පැහැදිලි විය. එහෙත් මේ ඡායාරූප ප්‍රචාරය කළ බටහිර මාධ්‍ය අවධානය යොමු කර තිබුණේ උතුරු කොරියාවේ කිසිවකු මුව ආවරණ හෝ සමාජ දුරස්ථතාවය පවත්වා නොගැනීම සම්බන්ධවය. එහෙත් මේ දක්වා උතුරු කොරියාවෙන් එක කෝවිඩ් ආසාදිතයකු හෝ වාර්තා වී නොමැති අතර, ඔවුන් දේශසීමා තරයේ වසා දැමීමමටද කටයුතු කර තිබේ.

බැලස්ටික් මිසයිලවලට අමතරව රොකට් සහ රොකට් ලෝන්චර්ද, යුද ටැංකි ඇතුළු තවත් ගිනි අවි රාශියක් මේ හමුදා පෙළපාළියේදී ලොවට ප්‍රදර්ශනය කිරීමට උතුරු කොරියාව කටයුතු කර තිබිණි. එමෙන්ම පෙළපාළිය නිරීක්ෂණය කළ නිරීක්ෂකයන් පවසා තිබුණේ අවසානයේදී විශේෂිත කෙටි දුර මිසයිල දෙකක්ද දක්නට ලැබුණු බවයි.

මේ වන විටත් උතුරු කොරියාවේ පියොන්ගියෑං අගනුවර සම්බාධක මත ක්‍රියාත්මක වන්නේ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙනි. එහෙත් සංවෘත ආර්ථිකයක් සහිත උතුරු කොරියාව එම සම්බාධක කිසිසේත් මායිම් කරන බවක් පෙනෙන්නට නැත.

එමෙන්ම උතුරු කොරියාව විශේෂයෙන් මේ හමුදා පෙළපාළිය සංවිධානය කර සිටියේ සහ එය ලෝකයේ සෙසු රටවලට දැක ගැනීමට සැලැස්වූයේ ඇමරිකාවට නව ජනාධිපතිවරයකු පත්වීමට ඉතාම ආසන්නේදී බව අමතක කළ යුතු නැත. උතුරු කොරියාව තමන් අවි බලය අතින් ඇමරිකාව මෙන්ම ලොව අන් සෑම රටක්ම ඉක්මවා සිටින බව පෙන්වා දීමට දැඩි උත්සාහයක් දරන බව පැහැදිලිය. පසුගිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලයේදී උතුරු කොරියාවට විශේෂ තැනක් ලබා දීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළ අතර, ඔහුත් සමඟ සාකච්ඡා වට දෙකක් පැවැත්වීමටද කටයුතු කළේය.

මේ හේතුවෙන් තමන් ප්‍රබල රටක් බව ලෝකයට පෙන්වා දීමට සමත් වූ බවට සිතුවිලි උතුරු කොරියානු පාලකයන් තුළ ඇතිවීම ස්වභාවිකය. සැබවින්ම උතුරු කොරියාව ප්‍රබල රටක් නොවූවද එරට සතු අවි බලය සුළු කොට තැකිය නොහැකිය. එමෙන්ම එරටේ වර්තමාන නායකයා පෙන්නුම් කර සිටින්නේ ක්ෂණික තීරණ මෙන්ම තනි තීරණවලටද එළඹීමේ හැකියාව සහිත පුද්ගලයකු බවයි.

එබැවින් එවැනි රටක් ‘යාප්පුවෙන්‘ තබා ගැනීමට කටයුතු කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බුද්ධිමත් තීරණයක් ලෙස දැක්විය හැකිය. කෙසේ වුවද ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් උතුරු කොරියාව සමඟ කිනම් අන්දමේ සම්බන්ධතාවක් පවත්වා ගනිවිද යන්න ඉදිරි කාලයේදී දැක ගත හැකි වනු ඇත.

 

ටිරෝනි වෑවලගේ

Comments