රනිල්ගේ අගේ මිනි­සුන්ට තේරෙන්නේ දැනුයි | Page 3 | සිළුමිණ

රනිල්ගේ අගේ මිනි­සුන්ට තේරෙන්නේ දැනුයි

 ● නව නිල මඬුල්ලත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන කෙසේද?

ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පැරණිතම දේශපාලන පක්ෂය හැටියට මේ අවස්ථාවල මේ රටේ ආර්ථික, දේශපාලන, සමාජීය පරිවර්තන රැසක් සිදු කරන ලද පක්ෂයක්. මේ පක්ෂයට අද අවශ්‍ය කරලා තිබෙනවා නව ලෝකයත් සමඟ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට. ඒ නිසා එක පැත්තකින් ජනතාව මේ වන විට ප්‍රතික්ෂේප කරමින් සිටින රජයක් හා නිසි ශක්තියක් නොමැතිව ක්‍රියා කරන විපක්ෂයක් තිබෙන මොහොතක ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන ජනතා විශ්වාසය ඇති කර ගත හැකි පක්ෂයක් හැටියට ඉදිරියේදී ජනතාව දිනා ගැනීමට අප කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ ගමන් කරමින් සිටින පිරිසක් බිහි කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ඉදිරියේදී අප ක්‍රියාත්මක කරනවා.

 ●  ප්‍රාදේශීය, ග්‍රාමීය මට්ටමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ සාමාජිකයන් නැවත පක්ෂය සමඟ එක්කර ගැනීම සඳහා කුමන පියවරක් ගනු ලබනවාද?

මේ වන විට අපි ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමඟ වැඩ කළ හැකි වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ පිළිබඳව අපි නව නිලධාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා නගර මට්ටමින්, ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර අවසන්.

 ●  පක්ෂය හැර ගොස් සිටින ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් නැවත පක්ෂය වෙත ගෙන්වා ගැනීම අභියෝගයක් නේද?

එක්සත් ජාතික පක්ෂය තුළ ඉතිහාසයේ අපි හැමදාම දේශපාලනඥයන් එක් රැස් කළ පක්ෂයක්. මේ නිසා මෙය අභියෝගයක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයන්, සාමාජිකයන් මෙන්ම වාමාංශික කොටස් අපි සමඟ එක්ව දේශපාලන කටයුතු කර තිබෙනවා. සමහර අවස්ථාවල එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සමඟ කෙළින්ම සම්බන්ධ වෙලා තිබෙනවා. අප සමඟ ඒකරාශි නොවුණු අවස්ථාවල අපි සියලුදෙනා එක්ව එක්සත් ජාතික පෙරමුණ බිහි කරලා ජනාධිපතිවරණ මෙන්ම මහමැතිවරණවලට ඉදිරිපත් වෙලා අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ අනුව සියලු ජන කොටස්වලට ඒකරාශි වෙන්න පුළුවන් ආකාරයට පක්ෂයේ අවශ්‍ය පරිවර්තනය සිදු කරන්නට අපි කටයුතු කරමින් යනවා.

 ●  නගර සභා, ප්‍රාදේශීය සභා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමහරකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය කටයුතු කළා නේද? අද වෙන‍කොට මෙහි ප්‍රතිඵල තිබෙනවාද?

පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉන්නවා. යම් තැනක වැරදි ක්‍රියාවක් සිදු කරනවා නම් අපි පක්ෂයක් හැටියට වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඉකුත් කාලයේ ඇතිවූ සිද්ධි සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ සම්බන්ධව අපි දිගින් දිගටම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන සෑම අවස්ථාවකදීම සොයා බලා තිබෙනවා.

ඒ වගේම අපගෙන් ඉවත් වෙලා ගිය ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් අප සමඟ එක්ව කටයුතු කරන්න කැමති වෙලා තිබෙනවා. ඒ අනුවත් ඒ අයගේ විනය ක්‍රියාමාර්ග ඉවත් කරලා ඔවුන් නැවත පක්ෂය සමඟ සම්බන්ධ කර ගත්තා. අපගේ පක්ෂය හැර ගිය පිරිස් මුලදී තේරුම් ගත්තේ නැහැ තමන්ගේ අයිතීන් පිළිබඳව. එය තේරුම් ගැනීමෙන් පසුව තමයි ඔවුන් නැවත පක්ෂය සමඟ සම්බන්ධ වෙලා තිබෙන්නේ.

 ●  කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව වර්තමාන රජයට මෙන්ම ඔබ නියෝජනය කරන යහපාලන රජයට චෝදනා එල්ල වෙනවා නේද?

ඇත්තටම අපගේ රජය ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී වෘත්තීය සමිති පාරට එන්නේ නැතිව මෙය පාලනය කරන්නට අපට හැකි වුණා. මේ සම්බන්ධව අපි දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා කරමින් සිටියා.

මෙහිදී අපිට අනුගමනය කළ හැකි අසල්වැසි රටක් හැටියට ඉන්දියාව අභියෝග ජයගන්නා ආකාරය අපි හොඳින් නිරීක්ෂණය කළ යුතුයි.

අපගේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියානුවන්ට ආක්‍රමණය කරන්නට ඉඩ‍ නොතබා ස්වශක්තියෙන් නැගිටිමින් විදේශ ප්‍රතිපත්ති ජය ගන්නේ කෙසේද කියන අභියෝගය මේ රටේ සියලු දේශපාලනඥයන් සතුව තිබෙනවා. එතකොට අපි එසේ නැගිටින්නට යන ගමනේදී මහජනතාවත්, තරුණ පරම්පරාවත්, නිවැරැදි දේශපාලන අත්දැකීමක් නොලැබුවහොත් මේ රට ලෝකයේ කිසිම අභියෝගයක් ජය ගැනීමට නොහැකි රටක් වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපක්‍රම සම්බන්ධව විශේෂයෙන් නව පරම්පරාව දැනුම්වත් කළ යුතු තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

ඒ ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී විශේෂ යෝජනාවක් හැටියට අපගේ ප්‍රතිසංවිධාන සඳහා යෝජනා කරලා තිබෙනවා. ඒ අනුව රටේ ජනතාවත් දැනුම්වත් කරලා ඒ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාව සමඟත් ‍ලෝකයේ අනෙකුත් රාජ්‍ය සමඟත් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක පරිස්සමෙන් සලකා බැලිය යුතුව තිබෙනවා.

 ●  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වුණේ නැහැ. ඇයි ඒ?

ඇත්තටම රටට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් බව අද දේශපාලනඥයන් ක්‍රියා කරන ආකාරයෙන් පෙනී යනවා. රනිල් වික්‍රමසිංහයන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් සිටිය යුතුයි. අද පක්ෂයේ බොහෝ කටයුතු තරුණ පිරිස්වලට බාර දීලා තිබෙනවා.

 ●  පක්ෂයේ නව නිල මඬුල්ල පිළිබඳව ඔබට සතුටුයි ද?

ඇත්තටම ඔව්. අද ශක්තිමත් අත්දැකීම් ඇති, වැඩ කළ හැකි පිරිසක් නව නිලධාරීන් ලෙස පත්වෙලා තිබෙනවා. අපගේ විශාල වගකීමක් තිබෙනවා එක් පැත්තකින් මේ පාලන තන්ත්‍රය තුළ තිබෙන කඩා වැටීමත් සහිත රාජ්‍යයක් ගොඩ නැඟීමට ශක්තිය ඇති පිරිසක් බිහි කිරීම. අන්න ඒ ක්‍රියාවලිය සඳහා අපගේ නව නිලධාරී මණ්ඩලය ක්‍රියා කරමින් යනවා. මෙය අපිට සිදු කළ හැකියි කියන එක ජනතාව දන්නවා.

 ●  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තවමත් මන්ත්‍රීවරයෙක් නම් කර නැහැ. ඔබ හිතන විදියට ඒ සඳහා සුදුසුම පුද්ගලයා කවුද?

ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමයි හිටපු අගමැති අපගේ පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහයන්. රනිල් වික්‍රමසිංහයන් නම් කළ යුතු බවට අපගේ නව නිලධාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. අපිට තිබෙන අත්දැකීම් එක්ක අපිට තේරෙනවා මුළු මහත් රටම දැවැන්ත කඩා වැටීමකට ලක්වෙනවා. ඒක මහජනතාවට තේරුම් යනකොට මේ අවුරුද්දේ අග වෙනවා. ලබන අවුරුද්දේ මුල වෙනවා. නමුත් මේ තත්ත්වය අපිට පැහැදැලිව පෙනෙන්නට තිබෙනවා. මේ රජයෙන් ඒකට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරිපත් කරලා නැහැ. උදාහරණයකට ගතහොත් මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රජය ඊට ගැළපෙන කිසිදු තීන්දු තීරණයක් අරගෙන නැහැ. අපගේ ‍රටේ ව්‍යාපාර ලෝකයේ අයටත් පහරදීම සිදු නොකළ යුතුයි. දේශපාලන පක්ෂවලට කොටස්වලට ගොනු කරලා ව්‍යාපාරිකයන් වට්ටන්නේ නැතිව ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සියලුම දෙනාගේ වගකීමක්.

 ●  සමගි ජන බලවේගය සමඟ ඉදිරියේදි එකතුවීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?

එක්සත් ජාතික පක්ෂය දැවැන්ත බලවේගයක් හදන්න තමයි 2017 අපි කටයුතු කළේ. ඒ තමයි සමගි ජන බලවේගය. අපිට ඡන්දය ලබා නොදුන් ලක්ෂ 20 ක පිරිසක් සිටිනවා. ඒ වගේම ඡන්දය කුරුටු ගාපු ලක්ෂ 07 ක් ඉන්නවා. අපගේ පක්ෂය තුළ ඇති වූ අර්බුදය තුළ කේන්තියට ඡන්ද පත්‍රිකාව කුරුටු ගාලා තිබෙනවා. දැන් මෙවැනි පරිසරයක් තුළදී ඔවුනුත් එක කණ්ඩායමක් ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් අපිට එකට එකතුවෙලා කටයුතු කරන්න පුළුවන්. සෑම අවස්ථාවකම අපි සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අද සමගි ජන බලවේගය වෙනම දේශපාලන පක්ෂයක්. වෙනම දේශපාලන දර්ශනයක්. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සිදු කරගෙන යනවා. ද්‍රවිඩ එක්සත් පෙරමුණ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සිදු කරගෙන යනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ සියලු පක්ෂවලට නායකත්වය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ අනුව අපි අනාගතයේදී බලමු වැඩි බලවේග කාටද ඒකරාශී වෙන්නේ කියලා. අපිට විශ්වාසයි එක්සත් ජාතික පක්ෂයට ඔවුන් සියලු දෙනා අවසානයේදී ඒකරාශි වෙනවා කියන කාරණය.

 ●  බහුතර ඡන්ද පදනමකින් බලයට පැමිණෙන වර්තමාන රජයේ ගමන් මඟ කෙසේද?

ඇත්ත වශයෙන්ම රජයක් බලයට පත් වුණාම මහජනතාව එම රජයට අවස්ථාව ලබා දෙන්න ඕනෑ වසරක් දෙකක් යනකම්. තමන් ඡන්දය ලබා දුන් පළියට පත්වන රජයකට ජනතා සහන දෙන්න බැහැ. රජයක් ස්ථාවර වෙමින් තමයි ජනතා සහන ලබා දිය යුත්තේ.

වර්තමාන රජය දැනට සිදු කර ඇති ක්‍රියාමාර්ග දිහා බැලුවාම අපිට පෙනෙන්ට තිබෙන කාරණයක් තමයි ලෝක ආර්ථිකයත් සමඟ ගමන් කරන්නට මේ රජයට දර්ශනයක් නැහැ. මේ රජය තනිවම වෙළෙඳපොළකට ගමන් කරන ආණ්ඩුවක් හැටියට අපිට පෙනෙන්න තිබෙනවා. ඒ අනුව පැහැදිලිව කියන්න පුළුවන් කාරණයක් තමයි මේ ආණ්ඩුව අසාර්ථකයි කියන කාරණය. මෙහි ප්‍රතිඵලය විඳින්නට සිදු වන්නේ ජනතාවටයි. එය රට ආපස්සට යාමක්.

 ●  ලෝ‍කයම වෙළාගෙන සිටින කොවිඩ් වසංගතයට ලංකාව ද ගොදුරු වී තිබෙනවා. රජය ඒ වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

රජය මේ සඳහා ක්‍රියා කරපු ආකාරය හරිම පුදුමයි. කොවිඩ් මුල් අවස්ථාවේ රෝගීන් එක් අයෙකු හමුවන කොට දෙදෙනකු හමුවන කොට ශ්‍රී ලංකාව ලොක් ඩවුන් කළා. එහෙම කළේ මේ තිබෙන භයානකකම තේරුම් ගත් නිසා. එහෙත් දහස් ගණනින් රෝගීන් හමුවන විට රජය ලොක් ඩවුන් එක ඉවත් කරනවා. අපිට තේරුම් ගන්න බැහැ මේ රජය කුමන ක්‍රමවේදයන් අනුගමනය කරනවාද යන්න. මෙයින් පෙනී යන්නේ රජය මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අසාර්ථකයි කියන කාරණයයි.

Comments