නව වසර උදාවේදී රෝම ගිනිකෙළි හේතුවෙන් මරුමුවට ගිය අහිංසකයෝ | Page 2 | සිළුමිණ

නව වසර උදාවේදී රෝම ගිනිකෙළි හේතුවෙන් මරුමුවට ගිය අහිංසකයෝ

නව වසර උදාවන විට රතිඤ්ඤා, ගිනිකෙළි දල්වා ප්‍රීතිය ප්‍රකාශ කිරීමටත්, නව වසර සාදරයෙන් පිළිගැනීමටත් ලොව පුරා ජනතාව සැදී පැහැදී සිටිති. මධ්‍යම රාත්‍රී දොළහේ කණිසම නාද වන විට බොහෝ රටවල නාගරික ප්‍රදේශ රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන්නේ ජනතාවගේ සතුටට උවම් දෙමිණි. අපේ රටේද තත්ත්වය මෙසේම වන්නේ කිසිඳු අඩුවක් නොමැතිවය.

මිනිසුන් එසේ නව වසර පිළිගනු ලැබූවද ඔවුන්ගෙ මේ ගිනිකෙළි දැල්වීම තවත් පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් කනගාටුදායක ක්‍රියාවක් වී ඇති බව දැන් හෙළිදරවු වී තිබේ. ඒ කුරුල්ලන්ය. රෝම නගරයේ කුරුල්ලන් දහස් ගණනක් නව වසර උදාවත් සමඟම මහා මාර්ගවල මැරී වැටී සිටිනු දුටු ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වූහ. එවිට ඔවුන්ට දැන ගන්නට ලැබුණේ හද කකියවන පිළිතුරකි. ඒ අන් කිසිවක් නොව මේ අහිංසක කුරුල්ලන් මෙලෙස වැටි මිය යෑමට හේතුව තමන්ගේ නව වසර උදාව සැමරුම් බවයි.

මෙවර 2021 නව වසර උදාවත් සමඟම රෝම නගරයට හිරු නැග එන විට නගරයේ තැන් තැන්වල කුරුලු මළසිරුරු රාශියක් වැටී තිබෙණු ජනතාවට දැක ගත හැකි විය. නගරයේ දුම්රිය පොළ ඇතුළු ස්ථාන රැසක මෙන්ම මහාමාර්ගවලද මෙලෙස කුරුල්ලන් මියගොස් සිටිනු දැකගත හැකි විය.

2021 වසර උදාවන විට රෝම නගරයේ සේවයේ යෙදී සිටි ටැක්සි රථ රියැදුරෙකු වූ දියේගෝ මේල් ඔන්ලයින් වෙබ් අඩවියට මෙසේ පවසා සිටියේය.

“ ඒ වන විට මධ්‍යම රාත්‍රී දොහළ පසුවී විනාඩි හතළිහක් පමණ ගත වෙලා තිබුණා. මම මගේ මෝටර් රථය පදවාගෙන යමින් සිටියා. නගරයේ බොහෝ තැන්වල කුරුල්ලන් බිම වැටී සිටියා. මුලින්ම මේ මොනවාදැයි මට වටහා ගැනීමට හැකිවූයේ නැහැ. ඒත් මඳකට පසුව මට තේරුණා මේ සිය ගණනින් බිම වැටී සිටින්නේ කුරුල්ලන් කියලා.

මම විද්‍යාඥයෙක් හෝ පශු වෛද්‍යවරයෙක් නොවෙයි. ඒත් මට පැහැදිලිව කියන්න පුළුවන් මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතුව ගිනි කෙළි බව. මේ මිනිස් වර්ගයාගේ අන්තිම පහත් ක්‍රියාවකට තවත් උදාහරණයක්. “

ටැක්සි රථ රියැදුරු දියෝගේ එසේ පවසන්නේ කනගාටුවෙනි. සැබවින්ම මේ මියගිය කුරුල්ලන් සම්බන්ධව සමස්ත මිනිස් වර්ගයා වග කිව යුතුය. පසුව මේ කුරුල්ලන් පරීක්ෂා කර බැලූ විශේෂඥයන් පවසා තිබුණේ ඒ අතරින් ඇතැම් කුරුල්ලන් හෘදයාබාධවලට ලක්වී තිබුණු අතර, ඇතැම් කුරුල්ලන් බියපත්ව ඒ මේ අත පියඹා යන විට ගොඩනැගිලිවල ගැටීමෙන් මරණයට පත්ව තිබූ බවයි.

මේ සම්බන්ධව මේ වන විටත් සත්ත්ව අවිහිංසා සංවිධානවලින් විරෝධතා එල්ල වෙමින් ති‌බේ. රෝම නගර වාසීන් ද තම කනගාටුව පළ කර ඇති අතර බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ සැබවින්ම රතිඤ්ඤා සහ ගිණිකෙළි දල්වමින් නව වසර පිළිගැනීම අනවශ්‍ය දෙයක් බවයි.

“මේ මියගිය කුරුල්ලන්ගෙන් ඇතැම් දෙනෙක් එකිනෙකා ගැටීමෙන් ඇද වැටී මියගොස් තිබුණා. ඇතැම් දෙනා බියපත්ව පියඹා යෑමේදී විදුලි රැහැන්වල පැටලී මියගොස් තිබුණා. මේ සම්බන්ධව නගර බලධාරීන් වගකිව යුතුයි. ඔවුන්ට ගිනිකෙළි තහනම් කළ හැකිව තිබූ නමුත් එසේ කළේ නැහැ” මෙවැනි අදහස් රැගත් මතවාද සමාජ ජාලා තුළ බෙහෙවින් සංසරණය වනු දැක ගත හැකි විය.

ඉතාලිය යනු බෙහෙවින් සුන්දර පරිසරයකට උරුමකම් කියන රටක් වන අතර රෝම නගරයටද ඒ අතරින් හිමි වන්නේ විශේෂ තැනකි. රෝම නගරය පුරා නිදහසේ සරණ, නාගරික පරිසරයේ වෙසෙන මේ කරුල්ලන් හේතුවෙන් නගරයට ලැබෙන සංචාරක ආකර්ෂණයද අති විශාලය. එවැනි කුරුල්ලන්ට මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රති

උපකාරය මෙතරම් ම්ලේච්ඡය. මීට මාස අටකට පමණ පෙර ඉතාලියේ දිනකට හයසියය ඉක්මවා මිනිසුන් කොවිඩ් හේතුවෙන් මිය යන විට එරට අගමැතිවරයා හඬා වැටුණේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිවය. එයින් ඉතා කෙටි කලකින්ම සියල්ල අමතක කළ ඔවුන් තවත් අහිසංකයන් රැසක් භීතියෙන් මරුමුවට පත්කරමින් නව වසර සැමරූහ. සැබවින්ම මිනිසා යනු ම්ලේච්ඡයකු බව තහවුරු කිරීමට තවත් උදාහරණ කුමකටද?

Comments