ජැක් මා හැංගුවාද හැංගුණාද ? | Page 2 | සිළුමිණ

ජැක් මා හැංගුවාද හැංගුණාද ?

ලෝකය ජැක් මා හඳුනා ගත්තේ ඇමසෝන් අන්තර්ජාල වෙළෙඳපොළේ ආසියානු මුහුණුවර ලොවට හඳුන්වාදුන් පුද්ගලයා වශයෙනි. නැතහොත් චීනය කණපිට පෙරළු අති දක්ෂ ව්‍යාපාරිකයා වශයෙනි. කෙටි කාලයක් ඇතුළත මතුවී පැමිණි ජැක් මා බටහිර ව්‍යාපාරික ක්‍රමවේද චීනය මුල් කර ගනිමින් ආසියාව පුරා පැතිරවීමට සමත් වූයේය. එමඟින් ඔහු අති විශාල මුදලක්ද ඉපයීමට සමත් වූයේ චීනයේ දෙවැනියට පොහොසත් පුද්ගලයා බවට පත් වෙමිනි.

එහෙත් මේ වන විට මේ අතිදක්ෂ ව්‍යාපාරිකයා අතුරුදන්ව ගොස්ය. පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ඔහු කිසිවකු විසින් දුටු බවට සඳහනක් නැත.

ඔහු පමණක් නොව ඔහුගේ බිරියද පවුලේ සාමාජිකයන්ද කිසිවකු විසින් දුටු බවට සඳහනක් නැත. එසේ නම් මේ ව්‍යාපාරික බිලියනපතියාට සිදුවී ඇත්තේ කුමක්ද? සැබවින්ම ප්‍රථමයෙන්ම කිව යුතු වන්නේ කිසිවක් තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි. එසේ කියන අතරම විය හැකි අනුමානයන් දෙකක් සම්බන්ධවද අවධානය යොමු කළ හැකිය.

ඉන් ප්‍රථම අනුමානය ලෙස ජැක් මා සහ චීන රජය අතර ඇති වී ඇති කිසියම් මත ගැටුමක් මත ඔහු ආරක්ෂිත ස්ථානයක පසුවන බව හෝ එවැනි ආසන්න යමක් හෝ බහුතරයක් ඉන්දීය මාධ්‍ය ඇතුළු බටහිර මාධ්‍ය ඉඟි කරන අන්දමට ඔහුට කිසියම් අනතුරකට මුහුණ පාන්නට සිදුවී ඇති බවක් පැවසිය හැකිය.

දෙවැනි අනුමානය ලෙස ඔහු ලොව පුරා ජනතාවගේ කුතුහලය අවුස්සා නියම මොහොත උදා වූ පසු නව මුහුණුවරකින් ලොවම කලඹවමින් තවත් ව්‍යාපාරික අදහස් රැසක් සමඟ කලඑළි බැසීමට ඉඩ ඇති බවය.

ජැක් මා යනු චීනයටම ඔබින මිනිසෙකි. අප්‍රතිහත ධෛර්යට තවත් නමක් යෙදිය හැකි නම් ඒ ‘ජැක් මා’ ය. ඔහු කුණු කානුවේ සිට ලොව හිණි පෙත්තට නැගි මිනිසෙකි. එමෙන්ම තවමත් ඔහුගේ වයස අවුරුදු 55ක් පමණි. ඒ අනුව ඔහුට කලෙක ලොව ධනවත්ම මිනිසා බවට පත් වීමේ හැකියාවද පවතින බව සිතිය හැකිය.

ඔහු ව්‍යාපාරිකයකු බවට පත් වන්නේ රැකියා අවස්ථා රැසකදීම අසාර්ථක වීමෙන් පසුවය. ඔහුම වරක් පවසා තිබූ අන්දමට ඔහු අසමත් වූ සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව අති විශාලය. අවසන කිරීමට යමක් නොමැති තැන ඔහු තමන් මත විශ්වාසය තබමින් ව්‍යාපාර වෙත නැඹුරු වන්නේය.

එහෙත් දැවැන්ත උත්සාහය, නොපසුබස්නා වීර්යය සහ කැපවීම මත ඔහු ඉතා කෙටි කලකින් චීනයේ දෙවැනි ධනවතා බවට පත්වන්නේය.

චීනය තමන්ට අනන්‍ය වෙමින් ලොවම ආක්‍රමණය කරමින් සිටියද චීන ජනතාව අතරින් බහුතරය තවමත් බටහිර රටක ජීවත් වීමට සිහින දකින්නෝය.

චීන ජනතාව දැඩි ලෙස ශ්‍රමය කැප කරමින් දුකසේ උපයා ගන්නා අතිරික්ත මුදල්වල සමස්ත එකතුව චීනය සෙසු රටවලට ණය ලෙස ලබා දෙමින් ක්‍රමිකව තම පාලනයට නතු කර ගනිමින් සිටින්නේය. එහෙත් චීන ජනතාවගේ සිහින ඇත්තේ තවත් දුර ඈතක බව පැවසිය හැකිය.

ජැක් මා ද එලෙස සිහින දුටු චීන වැසියෙකි. ඔහු ‘ජැක්’ බවට පත් වන්නේද එම සිහිනයේම කොටසක් ලෙසිනි. ඔහුගෙ සැබෑ නම ‘මා යුන්’ ය. එහෙත් වරෙක ජැක් මා පවසා තිබුණේ ‘අන්තර්ජාතික වීමට තම චීන නම දැඩි බාධාවක් ලෙස හඳුනා ගත් බැවින් ‘ජැක්’ යන නම තම නමට එක් කර ‘ජැක් මා’ බවට පත් වූ බවයි.

මෙසේ තම නමට බටහිර නමක කොටසක් යොදා ගැනීම මේ වන විට චීන ජනතාව අතර සුලභ වී තිබේ. ජැක් මා ද තම ගමන පටන් ගන්නේ එලෙස ‘අන්තර්ජාතික’ නමක් යොදා ගනිමිනි.

කෙසේ වුවද ජැක් මා මීට ටික කලකට පෙර චීන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු ක්‍රමය විවේචනය කළ බව සඳහන්ය. මේ සම්බන්ධව සුපුරුදු පරිදි චීන රජයේ මුනිවත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවද ඔහුට වටෙන් ගොඩින් පහර එල්ල කිරීමට බොහෝ පිරිස් ඉදිරිපත් වූ බව පෙනේ.

2019 වසරේද සැප්තැම්බර් මාසයේදී ජැක් මා තමන් බිහිකළ ‘අලිබබා’ අන්තර්ජාල වෙළෙඳපොළේ ප්‍රධානී තනතුරෙන් සමු ගන්නේ තමන්ට වඩා වැඩි අවස්ථා කරා යා යුතු බව කියමිනි. එදින සේවකයන් දෙදහසක් පමණ ඉදිරියේ සමු ගැනීමේ දේශනයක් පවත්වමින් ජැක් මා පවසා තිබුණේ තමන්ට තවත් සිහින රාශියක් සපුරා ගැනීමට ඇති බවය.

එබැවින් තමන් නිර්මාණය කළ සමාගම තවත් අයට පවරා තම ඉදිරි ගමන යන බව පැවසූ ජැක් මා එතැන් සිට වසරක කාලයක් පුරා නොයෙක් ආකර්ෂණීය ක්‍රියාවන්හි නිරත වී තිබේ. ඔහුගේ අදහසක් මත නිපදවන ලද රූපවාහිනී ‘ටැලන්ට් ෂෝ’ හෙවත් දක්ෂයන්ගේ දක්ෂතා එළිදැක්වීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වේ.

කොවිඩ් වසංගතය චීනයේ පැතිර යමින් තිබියදී සොයා ගනු ලැබුවද අවම හානි ලබමින් ඉන් ගැලවීමට චීනය සමත් වූ බව රහසක් නොවේ. එම අවස්ථාවේදී ජැක් මා පවසා සිටියේ ඔබ ‘ ව්‍යපාරිකයකු නම් මේ අවස්ථාවේදී ඔබ නොමැරී සිටීම සම්බන්ධව සතුටු වන්න’ යනුවෙනි. ලොව පුරා පැතිර යමින් තිබෙන් මූල්‍ය අර්බුදය හමුවේ ව්‍යාපාරිකයන්ට ඔහු ලබා දුන් ධෛර්යය එබඳුය.

ජැක් මා යළිත් වරක් නව ව්‍යපාරික අදහස් රැසක් සමඟ කලඑළි බසිනු ඇතැයි අනුමාන කිරීමට මේ අනුව ඇති ඉඩකඩ බොහෝය.

එහෙත් මේ වන විට ඔහුට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතින චෝදනා කෙරෙහිද අවධානය යොමු කළ යුතු වන්නේ චීන රජය මේ දක්වා පෙන්වා ඇති නිදසුන් අනුව චීන රජයට ගැසීමට අවශ්‍ය කසය බොහෝ විට ගසන්නේ වෙනත් අය විසින් වන නිසාය.

ජැක් මා ට පසු අලිබබා සමාගම බාර ගත් ‘මා හියුටෙන්ග්’ පවසා ඇත්තේ ‘ජැක් මා ගේ යුගය යනුවෙන් කාලයක් චීනයේ නොපැවති බවයි.

එහිදී ඔහු ජැක් මා යන නම වෙනුනට මා යුන්ග් යන ජැක් මාගේ පැරණි නම භාවිත කිරීමද කැපී පෙනෙන වෙනසක් විය. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘මා යුන්ග් ගේ යුගය යනුවෙන් යුගයක් පැවතියේ නෑ. එය එම යුගය පමණයි.

එම යුගයේදී මා යුන්ග්, එලොන් මස්ක් වැනි සාමාන්‍ය පුද්ගලයන් පැවති අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තා. එපමණයි’ යනුවෙනි. ඔහු මේ අදහස් දක්වා ඇත්තේ පසුගිය දෙසැම්බර් 31වැනිදා වීමද අමතක නොකළ යුතුය.

මේ අතර අතුරුදන් වීමෙන්, එසේත් නැතහොත් අවසන්වරට පොදු සමාජයේ පෙනී සිටීමෙන් මාස තුනක් ගත වී යන අවස්ථාවේදී ජැක් මා ඉක්මවමින් ෂොන්ග් ෂන්ෂන් චීනයේ දෙවැනි ධනපතියා බවට පත් වූ බව ප්‍රකාශ වී තිබේ.

ෂන්ෂන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ පානීය ජල බෝතල් ව්‍යාපාරයයි. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මේ වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 63 ඉක්මවා තිබේ.

කෙසේවුවද ජැක් මා වරක් තම රූපවාහිනී දක්ෂයන් තේරීමේ තරගයේදී විනිශ්චය ලබා දෙමින් ප්‍රසිද්ධියේ චීනයේ මුල්‍ය වැඩපිළිවෙළ විවේචනය කිරීම මත ඔහුට තර්ජන එල්ල වූයේයැයි විශ්වාස කරන පිරිසෙන්ද අඩුවක් නැත.

මේ වන විට ජැක් මා අවසන් වරට පොදු සමාජයේ දක්නට ලැබී මාස තුනක පමණ කාලයක් ඉක්ම ගොස් තිබේ. ඔහු සම්බන්ධ හෝඩුවාවක් නැති නමුත් ඔහුගේ පාර්ශ්වයෙන් ඒ සම්බන්ධව චෝදනාවක්ද නැත.

ඒ අනුව ජැක් මා මේ සිදු කරමින් ඉන්නේ තවත් ව්‍යාපාරික ඇස්බැන්දුමක්ද? නැතහොත් සැබවින්ම චීන රජයෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වීද?

මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන තුරු බලා සිටීම හැර වෙනත් විකල්පයක් පෙනෙන්නට නැත. ඒ මන්ද යත් චීනය යනු රහස් අගාරයක් මත ඉඳිවූ අධිරාජ්‍යයක්ම වන බැවිනි.

 

Comments