ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කරයි | Page 2 | සිළුමිණ

ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කරයි

කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ බුවනොස් අයර්ස්හි වීථි කොළ පැහැයෙන් පිරී ගියේ ගබ්සාවේ අයිතිය හැඟවෙන පැහැය කොළ ලෙස ගනිමින් එම පැහැයෙන් සැරසුණු කාන්තාවෝ දහස් ගණනින් වීථිවලට පැමිණ සතුට පළ කිරීමට වූ බැවිනි.

ආර්ජන්ටිනාව පසුගිය සතියේ ඓතිහාසික නීතියක් ස්ථාපිත කර ගත්තේය. ඒ එරට කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද 38ක් ලබා ගනිමිනි. මේ නිතිය ස්ථාපිත කිරීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියේ කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් 29 දෙනෙකු පමණි. ඒ අනුව මේ වන විට තමන් තුළ පිළිසිඳ ගන්නා කලලයක් දරුවකු ලෙස තමන්ට අවශ්‍ය නොවේ යැයි යම් ආර්ජන්ටිනා කාන්තාවක් සිතයි නම් ඇයට එම කලලය ගබ්සා කිරීමට අවස්ථාව හිමි වන්නේය. එමෙන්ම එම කලලය සති 14ට අඩු විය යුතු බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ බුවනොස් අයර්ස්හි වීථි කොළ පැහැයෙන් පිරී ගියේ ගබ්සාවේ අයිතිය හැඟවෙන පැහැය කොළ ලෙස ගනිමින් එම පැහැයෙන් සැරසුණු කාන්තාවෝ දහස් ගණනින් වීථිවලට පැමිණ සතුට පළ කිරීමට වූ බැවිනි.

ඔවුන් පවසා සිටියේ තම සිරුර පිළිබඳ අයිතිය තමන්ට බවත්, ඒ සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය තමන්ට ලැබීම සම්බන්ධව ඉතා ප්‍රීතියට පත් වන බවත්ය. මේ අතරට ගබ්සාව නීති ගත කිරීමට සහය පළ කිරීම සඳහා එක්වූ සංවිධාන කිහිපයක්ද විය.

ආර්ජන්ටිනාව දකුණු ඇමරිකාවේ වැඩිම ජනගහණයක් සහිත රටවල් අතරට එක්වන තවත් රටක් වන අතර ඒ අතරින් බහුතරය කතෝලිකයන් වීමද මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ.

පාප් වහන්සේ ප්‍රමුඛ කතෝලික ජනතාව ගබ්සාව ප්‍රතික්ෂේප කරන්නේ කලලය යනු හැඟීම් දැනීම් සහිත සංවේදී ජීවියකු බව පෙන්වා දෙමිනි. එය ඉතා සංවේදී තර්කයක් වන අතර ගබ්සාව යනු මිනී මැරීමක් බව තහවුරු කිරීමට සමත් තර්කයක් යැයි පැවසිය හැකිය. එහෙත් බහුතර කතෝලිකයන් වෙසෙන ආර්ජන්ටිනාවේ කාන්තාවන් ආගමට ගෞරව කිරීමට සහ පාපයට බිය වීමට වඩා තම සිරුර සම්බන්ධයෙන් තමන් ලබන නිදහසට කැමැත්ත දක්වා ඇති බව පෙනෙන්නට තිබේ.

සති 14ක කලලයක් යනු මාස තුනහමාරක් වැඩුණු කලලයක් වන බැවින් ඒ තරම් වූ කාල පරාසයක් දක්වා ගබ්සා අයිතිය තහවුරු කිරීම යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරවන බවද හැඟේ. කෙසේ වුවද කාන්තාවන් නීති විරෝධී ගබ්සාවන්ට යොමු වීම සහ එමගින් ජීවිත හානි දක්වා ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ දීම වළක්වාලීම වෙනුවෙන් එරට රජය ගෙන ඇති මෙම තීරණය වැදගත් බවද පැවසිය යුතුය.

දකුණු ඇමරිකා කලාපයේ රටවල් බොහොමයක් මේ දක්වා ගබ්සාව නීති ගත කර නොමැති වුවද කියබාව පමණක් 1963 තරම් ඈත අතීතයේදී විශේෂ අවස්ථා ගබ්සාව නීති ගත කළ බව පැවසිය යුතුමය.

දුෂණය වැනි විශේෂ අවස්ථාවලදී ගබ්සා කිරීමේ අයිතිය තවත් රටවල් කිහිපයක ප්‍රකාශයට පත් කර ඇති අතර, හොන්ඩියුරාස්, ප්‍රංශ ගයනාවද ඒ රටවල් අතරට එක් වේ.

එහෙත් ඉතා අසංවර්ධිත ආර්ථීකයන් සහ සමාජ රටාවන් සහිත හයිටි, ඩොමිනිකන් රිබප්ලික්, එල් සැල්වදෝර්, නිකරගුවා වැනි රටවල් කිනම් තත්ත්වයක් යටතේ වුවද ගබ්සාව තහනම් කර තිබේ. මේ රටවල් බොහොමයක ජනතාව ඉතා පීඩිත ජීවිත ගතකරන අතර ගණිකා වෘත්තියද බොහෝ රටවල නීතිගත කර තිබේ.

එබැවින් ගබ්සාව දැඩි නීති යොදමින් තහනම් කර තැබීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස ගෙන ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ සෑම රටකම නීති විරෝධී ගබ්සා සිදුවන බව වාර්තා වී තිබේ.

ගටර්මැචර් ඉන්ස්ටිටියුට් නම් ආයතනය විසින් සිදු කර ඇති සමීක්ෂණයකට අනුව 2015 – 2019 දක්වා කාලයේදී දකුණු ඇමරිකා මහාද්වීපයේ සියලුම රටවල සිදු කර ඇති ගබ්සා ප්‍රමාණය මිලියන 5.4කි.

මේ දත්ත අනුව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ ආරක්ෂික ගබ්සාවකට යෑමට කාන්තාවන්ට අයිතියක් තිබිය යුතුය.

මේ තත්ත්වයන් යටතේ කතෝලික ආගමට අනුව නීති විරෝධී දෙයක් සහ පාපායක් ලෙස හුවා දක්වන ගබ්සාව කාන්තාවන් සතු අයිතියක් ලෙස දක්වමින් නීති ගත කිරීමට ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩේස් සතු වූ ධෛර්යය සම්බන්ධව ජනතාව තුළ අති විශාල ප්‍රසාදයක් ඇති වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගබ්සාවට විරුද්ධ ආර්ජන්ටිනා ජනතාවද පණත පිළිබඳ තීරණය දැනුම් දෙන තුරු එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්ව සිටි පිරිස අතර වූ බව සඳහන් කළ යුතුම වේ. පනතට විරුද්ධව ඡන්ද 29ක් ලැබීමද සුළු කොට තැකිය නොහැකිය.

කෙසේ වුවද ගබ්සාව යනු අතිශය සංවේදී කරුණක් බව සඳහන් කළ යුතුමය. එක් අතකින් කාන්තාවන්ට තමන්ගේ සිරුරේ අයිතිය හිමි විය යුතු අතර, අනෙක් පසින් ජීවියකු උපත ලැබීමට පෙරම මරා දැමීම අමානුෂික බව බැවසිය යුතුය.

මේ දෙක අතරේ සාධාරණය පැවතීමට නම් පුරුෂයන් සහ කාන්තාවන් අතර සමබරව ලිංගික අධ්‍යාපනය ලබා දීම, කාන්තාවන්ට සමාජයේ නිදහසේ හැසිරීමේ අයිතිය තහවුරු කිරිම යනාදීය කෙරෙහි වඩා වැඩි අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළ යුතුමය.

Comments