
- හදිසි අවස්ථා ආවරණයට සමාජ ආරක්ෂණයක්
- අර්ථසාධක නොමැති රැකියාවන්ට අර්ථසාධක ක්‍රමවේදයක්
- පළාත් සභා මැතිවරණයට පෙර මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි
‘කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අභියෝග මැද පෞද්ගලික අංශයේ සේවකයන්ට ඇති වූ ගැටලු නිරාකරණයට ගත් ක්‍රියාමාර්ග මෙන්ම වර්තමානයේ කම්කරුවන් මුහුණ පා සිටින අර්බුදයන් මෙන්ම දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව අද සිළුමිණ සමඟ කතා බහට එක් වන්නේ කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ය.‘
කොරෝනා වසංගතයක් සමඟ පෞද්ගලික අංශය විශාල කඩාවැටීමකට ලක් වුණා. රැකියා අහිමිවීමේ ගැටලු පවා මතුවුණා. කොහොමද හාම්පුතුන් හා සේවකයන් යන දෙපාර්ශ්වයම තුලනය කර ගත්තේ.
කම්කරු අමාත්‍යාංශය කියන්නේ හැම වෙලාවෙම අභියෝගවලට මුහුණ දෙන්න වෙන අමාත්‍යාංශයක්. නමුත් කොවිඩ් වසංගතයත් එක්ක ලොකු වෙනසක් ඇති වුණා.
කොහොමත් ඔබගේ ප්‍රශ්නයට විස්තරාත්මක පැහැදිලි පිළිතුරක් දිය යුතුයි. කොවිඩ් 19 වසංගතය නිසා පෞද්ගලික අංශයේ ලොකු ගැටලු ඇති වුණා. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන අඩුවුණා. සේවකයන්ට වැටුප් ගෙවීම අසීරු වුණා. ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ දියුණු රටවල මෙවැනි අවස්ථාවල වැටුප් ගෙවන්න අරමුදලක් තියෙනවා. ඒ රටවල පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිටියත් වැටුපෙන් 80%ක් ලැබෙනවා.
නමුත් අපේ එවැනි ක්‍රමවේදයක් නැති නිසා පෞද්ගලික අංශයේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. උදාහරණයක් හැටියට සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණා. එවැනි තත්ත්වයක් යටතේ එම හෝටල් නඩත්තුවට රජයට 4% සහන පොලී යටතේ ණය පවා දෙන්න වුණා. එම ණය මුදලෙන් වැටුප් ගෙවන්න බැහැ. බහුතර සේවාවන්ට මේ තත්ත්වය උදාවුණා. මේ නිසා ජාතික කම්කරු සභාවේදී හාම්පුතුන්, වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා සමඟ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරල සේවකයන්ට අඩ වැටුප් ලබා දෙන ක්‍රමයක් (රුපියල් 14,500.00ක අවමය යටතේ) ඇති කළා. ඒ වගේම ආයතන පවත්වා ගැනීමට නොහැකිම තත්ත්වයක් තිබුණානම් නියමිත වන්දි ගෙවා සේවය අවසන් කිරීමට අවසර දෙන්න සිදුවුණා. තවත් සමහර අයට ඉදිරියේදී තම ආයතන ස්ථාවර තත්ත්වයකට පත් කර ගැනීමට හැකියාවක් තිබෙන බව පෙනී යනවානම් සේවකයන් අඩ වැටුප් සහිතව නිවාඩු ලබා දී ආයතන යථා තත්ත්වයට පැමිණිමෙන් පසුව සේවයේ යෙදවිය හැකි ක්‍රමයක් ලබා දුන්නා. එහෙත් මෙහිදී සේවයට පැමිණෙන සේවකයන්ට අනිවාර්යෙන්ම සම්පූර්ණ වැටුප් ගෙවිය යුතුයි.
ඒ ක්‍රමයෙන් පෞද්ගලික අංශයේ රැකියාලාභීන්ට ගැටලුවක් නොවුණායැයි ඔබ සිතනවාද?
ගැටලු අනිවාර්යෙන්ම ඇතිවන්නට ඇති. කොවිඩ් අර්බුදය හමුවේ ඇති වූ ගැටලුවලට අප පුළුවන් උපරිම ලෙසින් මුහුණ දුන්නා. ඒ පළමු අවස්ථාවේදී මෙන්ම දෙවන අවස්ථාවේදීත්.
එහෙත් මේ අවස්ථාවෙන් සේවකයන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමට ඇතැම් ආයතන කටයුතු කර තිබෙනවා නේද?
ඒ තත්ත්වය වළක්වාලීම පිණිස අපි වන්දි සූත්‍රය සංශෝධනයට ලක් කර නව පනතක් ගෙන එනවා. ඒ අනුව සේවය අවසන් කරන සේවකයකුට රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට සිදුවන ආකාරයට වන්දි සූත්‍රය සංශෝධනය වෙනවා. මේ දක්වා එය තිබුණේ ලක්ෂ 12 ½ක් ලෙසින්.
එහෙත් ඇතැම් ආයතන අඩ වැටුප පවා ගෙවා නැති බවට වාර්තා වෙනවා..
එවැනි සේවකයන්ට කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කළ හැකියි. ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන්ම සොයා බලනවා.
සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් පවා තවම ගෙවා නැහැ නේද?
ඔව් එවන් ආයතන තිබෙනවා. මං කලින් කිව්වා වගේ මේ කොවිඩ් අර්බුදය හමුවේ සියලු අංශ ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ. එම නිසා අපි හැම විටම සහනශීලීත්වයෙන් මේ දෙස බැලිය යුතු වෙනවා. එවන් ආයතන සේවකයන් වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා නම් ක්‍රමයෙන් අර්ථසාධක මුදල් ලබා ගැනීමට පුළුවන්. එහි ගැටලුවක් නැහැ. එසේ නොමැතිව ඔවුන් සේවකයන් නොසලකා හරිනවානම් අපිට නීතිමය කටයුතු කරන්න සිදු වෙනවා.
මෑන් පවර් සේවකයන්, ඒ වගේම කොන්ත්‍රාත් සේවකයන්ට කිසිදු හව්හරණක් නැහැ..
එවැනි ආවරණය නොවූ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කරන්න අමාත්‍යාංශය මේ වන විට සොයමින් ඉන්නෙ. අර්ථසාධක අරමුදලින් ආවරණය නොවන පිරිස් සම්බන්ධව අප සොයා බලා කටයුතු කරනවා.
කොහොම වුණත් මේ වන විට ආයෝජන මණ්ඩල, ඇඟැලුම් ඇතුළු කර්මාන්තශාලාවලත් ස්වයං රැකියා කරපු දහස් ගණනකගේ රැකියා අහිමිව තිබෙනවා නේද?
ඔව් අපට වාර්තාවෙලා තියෙන විදිහට ආයෝජන මණ්ඩලය ඇතුළු අනෙකුත් ස්ථානවල රැකියාවන්හි නිරත වූ 20,000ක පමණ පිරිසකට එවන් තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. නමුත් රජයේ නව ක්‍රියා මාර්ග නිසා ඒ තත්ත්වය ක්‍රමයෙන් අඩුවී ගෙන යනවා. ඒ වගේම ඇතැම් කර්මාන්තශාලා යළි නව ක්‍රමයකින් තම නිෂ්පාදන ඉහළ නංවාගෙන තිබෙනවා. කොහොම වුණත් පෞද්ගලික අංශය ධනාත්මක තත්ත්වයට ගෙන ඒම තමයි අපේ ප්‍රධාන ආපේක්ෂාවක් වන්නේ.
කොවිඩ් -19 තවම ඉවර නැහැ. අනාගතයේ ආරක්ෂාවට ගෙන ඇති වැඩපිළිවෙළක් තියෙනවද?
කොවිඩ් 19 විතරක් නෙමෙයි. වෙනත් වසංගතයක් වුණත් එන්න පුළුවන්. ඒ වගේම වෙනත් ව්‍යසන, ස්වභාවික උවදුරු සුනාමි වැනි හානි සිදුවන්නට පුළුවන්. එම නිසා දියුණු රටවල වගේ මේ අනපේක්ෂිත අර්බුදවලට මුහුණ දීම සඳහා ඉදිරි වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ වන විට අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ සඳහා අපි අන්තර්ජාතික කම්කරු සංවිධානය සමඟත් සාකච්ඡා කරමින් ඉන්නෙ. ඒ වගේම හාම්පුතුන් හා වෘත්තීය සමිති හා සාකච්ඡා පවත්වා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නැත්නම් රක්ෂණ වන්දි ක්‍රමයක් සකස් කරනවා. අර්ථසාධක අරමුදල මෙන් එහිදී හාම්පුතුන් වගේම සේවකයනුත් යම් දායකත්වයක් දැරිය යුතු වනවා.
සියල්ල පෞද්ගලික අංශයට පවරා නිහඬවීමද කරන්නේ. රජයෙන් යම් දායකත්වයක් කරන්නෙ නැත්ද?
රජයෙනුත් යම් හෝ දායකත්වයක් දරනවානම් හොඳයි නැත්නම් අන්තිමට සේරම බර දරන්න වෙන්නෙ රජයටයි.
මේ වන විට කම්කරු නඩු දහස් ගණනක් ගොඩගැසී තිබෙනවා. විසඳුමක් ලබා දීමේ වැඩපිළිවෙළක් නැත්ද?
ඇත්තෙන්ම මෙයින් බහුතරයක් සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ නඩු. එවන් නඩු 16,000ක් පමණ ගොඩගැසී තිබෙනවා. අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු බවට කම්කරු කොමසාරිස්වරයා විසින් නියම කිරීමෙන් පසුව එය බලාත්මක කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට යා යුතුයි. නමුත් ඇතැම් විට නඩුව විභාගයට ගෙන ඊළඟ නඩු වාරය කැඳවන්නේ මාස 6ක් පමණ ගිහින්. මේ නිසයි මේ ගොඩගැසීම සිදුව තිබෙන්නේ.
නමුත් මීට පෙර කම්කරු අධිකරණ හරහා සහනයක් ලබා දුන්නා නේද?
ඔව්, කම්කරු කොමසාරිස්තුමාගේ තීන්දු ක්‍රියාත්මක කිරීමේ බලය කම්කරු උසාවියටත් තිබුණා. කම්කරු උසාවිවල සීමිත නඩු සංඛ්‍යාවක් තිබෙන නිසා ඉක්මනින් විසඳුම් ලබා දෙන්නට හැකියාව තිබුණා. නමුත් අවාසනාවට රාජ්‍ය සේවා කොමිසම විසින් කම්කරු උසාවියට තිබූ ඒ බලය ඉවත් කර යළිත් මහේස්ත්‍රාත් අධිකරණයටම ඒ බලය ලබා දුන් නිසා මේ ගැටලුව පැන නැඟී තිබෙනවා. මම අධිකරණ ඇමැති වශයෙන් කටයුතු කළ අවදියේ රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර සිටියා සේවකයන්ගේ එම ගැටලු කඩිනමින් විසඳීම පිණිස පෙර පරිදි කම්කරු උසාවියට බලය ලබා දෙන ලෙස නමුත් ඔවුන් එය ඉටු කෙළේ නැහැ .
කම්කරු ඇමැතිවරයා ලෙස ඔබ මේ දේ දැනගෙනත් නිහඬව සිටීම සුදුසුද?
අධිකරණයත් සමඟ ගැටීමට ඇමැතිවරයෙක් ලෙස මට හැකියාවක් නැහැ. මට කළ හැක්කේ එම බලය යළි කම්කරු අධිකරණයන්ට ලබා දීමට පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එය කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසුව මේ වන විට නීති සම්පාදනයට යොමු කර තිබෙනවා. නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසුව එය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේවි.
බේරුම්කරුවන් හරහා විසඳාගත යුතු ගැටලුත් වසර ගණනාවක් ඇදී යන බව පේනවා. ඇයි මෙවන් අර්බුද පවතින්නේ.
අනිවාර්ය බේරුම්කරණයේදී මාස 3ක් ඇතුළත බේරුම්කර අවසන් කළ යුතු වෙනවා. එහෙත් ඇතැම් ගැටලු අවුරුදු 2ක් 3ක් පවා ඇදී යනවා. ඒ ප්‍රමාදය වළක්වාලීම පිණිස බේරුම්කරණ නිලධාරීන් වැඩි පිරිසක් බඳවා ගන්නට කටයුතු කර බේරුම්කරණ ගැටලු මාස 3කින් අවසන් කිරීමට කටයුතු කරනවා.
රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 55 දක්වා වැඩිකිරීමේ පනත දැන් කෙටුම්පත් කරගෙන යනවද?
ඒ සම්න්ධව හාම්පුතුන් අතරත් වෘත්තීය සමිති අතරත් විවිධ අදහස් තියෙනවා. ඒ සියල්ල අධීක්ෂණය කර ඒ සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස කම්කරු කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා. ඒ සඳහා කමිටුවක් පත් කළා. එම කමිටුව දැන් එහි විමර්ශන කටයුතු සිදු කරනවා.
මෙහිදී ඇතැම් හාම්පුතුන්, විශේෂයෙන්ම ඇඟලුම් සේවා, මෙන්ම විවිධ බරවැඩ සම්බන්ධ වෘත්තීන්ට සම්බන්ධ අය පෙන්වා දී තිබෙනවා එම සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අවුරුදු 55න් පසුව නිසි පරිදි පවත්වා ගත නොහැකි බවට.
එහිත් සත්‍යයක් තිබෙනවා. එවිට අදාළ ආයතනවල ඵලදායිතාවට එය බලපානවා. කොහොම වුණත් වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඒ සම්බන්ධව අදාළ ආයතනවලට කටයුතු කළ හැකි වේවි.
කුමන තත්ත්වයක් යටතේ වුණත් මේ ප්‍රතිපත්තිය අපි ක්‍රියාවට නංවනවා. එයින් අර්ධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ සේවක සේවිකාවන් 35,21,695කට සෙත සැලසෙනවා.
විවිධ පනත් යටතේ තිබෙන රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, කාර්යාංශයන්හි විශ්‍රාම ගැන්වීමේ වයස් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
රාජ්‍ය ආයතනවලට එය ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 60 විශ්‍රාම වයස ක්‍රියාත්මක කළ විට එය ඍජුවම ක්‍රියාත්මක වේවි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 60 සීමාව තිබූ අවදියේ විශ්‍රාම වයස අවුරුදු 55 ලෙසින් නියම කෙරේ. දැන් ආයු කාලය අවුරුදු 76ක් ලෙසින් දැක්වෙන්නේ. එම නිසා අවුරුදු 60 විශ්‍රාම ගැන්වීම ඉතාම කාලෝචිතයි.
අවදානම් රැකියාවන්හි නිරතව සිටින සේවක සේවිකාවන් වෙනුවෙන් පවත්නා නීති රීති ප්‍රමාණවත් නොවන බවට වෘත්තීය සමිති චෝදනා කරනවා.
අවදානම් රැකියාවන්හි, විශේෂයෙන් උස ගොඩනැගිලි, විදුලිය, ගිනි නිවීම් වැනි කාර්යයන්හි සේවය කරන සේවකයන්ගේ මරණයකදී මේ දක්වා ගෙවීම් කෙළේ රුපියල් ලක්ෂ 5 ½ක් පමණයි. එය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම එම සේවකයන්ගේ ආරක්ෂාවට ගත යුතු විශේෂ නව ආරක්ෂණ ක්‍රමවේද අප හඳුන්වා දී තිබෙනවා.
ඇතැම් ආයතනවල තවමත් කොවිඩ් ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා නැහැ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර පවා ඇතිවුණේ එමනිසා බවත් පැවසෙනවා.
දෙවන රැල්ලෙන් පසුව කර්මාන්තශාලා ඇතුළු පෞද්ගලික අංශය සම්බන්ධව වෙනම කොවිඩ් කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන්ම සොයා බලනවා. ආයෝජන කලාපවල කර්මාන්තශාලා සම්බන්ධව සොයා බැලීමට ආයෝජන මණ්ඩලය කටයුතු කරනවා. ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සොයා බලනවා. එමෙන්ම යම් ආයතනයක සෞඛ්‍යාරක්ෂිත කටයුතු නිසි ලෙසින් සිදුවන්නේ නැත්නම් වෘත්තීය සමිතිවලට ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබෙනවා
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය කුමක්ද? 
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර අපි තීරණයක් ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසින් අපි ජනමතයට නිතරම ගරු කරන ජනතාවගේ හදගැස්ම හඳුනන පක්ෂයක්.
පළමුවෙන් අප බලාපොරොත්තු වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමටයි. විශේෂයෙන්ම මනාප පොරයෙන් තොරව සීමිත නිශ්චිත භූමි බල ප්‍රදේශයකට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය හෝ නගරසභා මන්ත්‍රීවරයෙක් බිහි කරන මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් තමයි අප පෙනී සිටින්නේ.
නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයක් තිබෙනවා නේද?
පළාත් සභා සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මැතිවරණ ක්‍රමයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කාලය සුදුසුද කියන එක ගැනත් අවධානය යොමු කළා. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේ විද්වතුන් ඇතුළු සමාජයේ අදහස් සැලකිල්ලට ගෙන ඒ සඳහා කථිකාවක් ඇති කළ යුතුයි. ගැටීමකින් තොරව යන මැතිවරණයකටයි අප මුහුණ දිය යුත්තේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර ගැටුම් තිබෙන බවට කසුකුසුවක් තියෙනවා.
සන්ධානයක් තුළ කටයුතු කිරීමේදී මතගැටුම් අදහස් විවේචනයන් තියෙනවා. ඒ වගේම අඩුපාඩුත් තියෙන්න පුළුවන්. පක්ෂ කිහිපයක් කටයුතු කිරීමේදී බලාපොරොත්තු අභිලාෂයන් වෙනස්. ප්‍රතිපත්ති අතර යම් යම් වෙනස්කම් තියෙනවා. එයින් අදහස් කරන්නෙ නැහැ සන්ධාන කඩාගෙන දුවන්න යනවා කියලා.
අපි තනි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කරන අවස්ථාවලදී පවා මතවාද මතගැටුම් ඇතිව තිබෙනවා.
ඒත් ඇතැම් අයගේ කතාබහ දෙස බැලූවිට පෙනෙන්නේ වෙනත් දෙයක් නේද?
දේශපාලනයේදී අපි හැම විටම පොදු සතුරා කවුද යන්න පැහැදිලිව හඳුනාගත යුතුයි. අඩුපාඩු තියෙනවනම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමයි කළ යුත්තේ සන්ධානය දුර්වල වෙලා සතුරාට ශක්තිමත් වෙන්න ඉඩ නොතැබිය යුතුයි. අපි සංයමයෙන් දේශපාලනය කළ යුතුයි. මගේ දේශපාලනය නම් ඒකයි. චිනය රුසියාව වගේ කොමියුනිස්ට් පාලනයක් තියෙන රටවලත් මත ගැටුම් අර්බුද විවේචන තියෙනවා. ආණ්ඩුවේත් එහෙම යම් යම් මතවාද තියෙනවා. ඒක වෙනම දෙයක්. මත ගැටුම් නැති පක්ෂ සන්ධාන ලෝකෙ කොහේවත් නැහැ.
වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුප් වැඩිකිරීමක් දෙනවා කියලා ආණ්ඩුව කිව්වා. කොවිඩ් අර්බුද අස්සේ වතු සමාගම්වලට එවන් හැකියාවක් තියෙනවද? ඔවුන් එකඟ වෙයිද?
රජය පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට එම වැටුප් වැඩිකිරීම ලබා දෙනවා. එය ලබාදිය යුත්තේ වතු සමාගම් විසින් තමයි. එම සමාගම් ආදායම් වැඩිකර ඵලදායිතාව පෙන්වා වැටුප් වැඩිකිරීම සිදුකරයි.
පඩිපාලක සභාව හරහා මේ වැඩිකිරීම කරනවද නැත්නම් සාමූහික ගිවිසුම් හරහා වැඩි කරනවද කියන තීරණයට තවම එළැඹ නැහැ. වෘත්තීය සමිති වැඩි කැමැත්තක් දක්වන්නේ සාමූහික ගිවිසුමකට. සමාගම්වලට ප්‍රශ්න තියෙන බව අපි දන්නවා. නමුත් වතු කම්කරු ප්‍රශ්නයත් අප විසඳිය යුතුයි.
පෞද්ගලික බස් රථ රියැදුරන්ට බොහෝ විට කම්කරු නීති ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. ඇතැම් රියැදුරන් කතරගම සිට යාපනය දක්වාම බස්රථය ධාවනය කරනවා. ඔබ නියෝජනය කරන බදුල්ලේ සිට කොළඹට පැමිණ පැය 2ක් විවේක ගෙන යළිත් බදුල්ලට යනවා. පසුදිනත් එනවා. නීති පමණක් නෙමෙයි මෙය මඟී ආරක්ෂාවටත් තර්නයක් නේද?
මම ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීත් ඒ ගැන දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධව නීති රීති යථාවත් කරන්න ජාතික ගමනාගමන කොමිසම කටයුතු කළ යුතුවෙනවා. ඔබ පැවසූ පරිදි මෙය කම්කරු නීතිවලටත් වඩා මඟී ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්
පෞද්ගලික බස් රථ රියැදුරන් කොන්දොස්තරවරුන්ට අර්ථසාධක ලබා දීමේ ක්‍රමයක් නැත්ද?
එවැනි ඉල්ලීමක් ආවොත් ඒ සම්බන්ධව අප සොයා බලනවා. ඔවුන්ට වැටුපට අමතරව වෙනම මුදලක් අතට එන නිසා ඒ සම්බන්ධව එතරම් උනන්දුවක් නැහැ.
ඔවුන් පමණක් නෙමෙයි අර්ථසාධක නොලැබෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවා අප මේ වන විට අර්ථසාධක ලබා දීමේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමට කටයුතු යොදමින් ඉන්නෙ.
සේයාරූ - කැලුම් ලියනගේ










