කැඩුණු රිටකින් ශ්‍රී ලංකා වාර්තාවක් ලියූ රිටි පනින මිටි කෙල්ල | සිළුමිණ

කැඩුණු රිටකින් ශ්‍රී ලංකා වාර්තාවක් ලියූ රිටි පනින මිටි කෙල්ල

SACHINI Perera

මගේ ඉස්කෝලෙ අක්කා කෙනෙක්ට රිටි පනින්න එන්න කිව්වා. එයාගෙ තනියට ගිය මම රිටට ආදරය කරන්න පටන් ගත්තා.

‘ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල ක්‍රීඩිකාවක් දවසක් මට බොරු වැඩ කරන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිවුවා. මට රිටි පැනලා අනාගතයක් නැහැයි ඇය කිව්වේ ක්‍රීඩකයෝ ඉස්සරහ පිටමයි. හැබැයි මම ඒ කිසි දේකට සැලුණේ නෑ. ඒ නිසා අද මට ශ්‍රී ලංකා වාර්තාවක් තබලා ජාතික රිටි පැනීමේ ශූරිය වෙන්න හැකිවුණා.’ යැයි මෙවර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා රිටි පැනීමේ ඉසව්ව නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් ජයගත් සචිනි පෙරේරා පැවසූවාය.

‘මම රිටි පනින්න ආවේ අහම්බෙන්. මේක ඇත්තටම මගේ තුන්හිතකවත් නොතිබුණු ක්‍රීඩාවක්. ඒ වෙද්දී මම අන්තර්ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. මොකක්දෝ හේතුවකට රිටි පනින්නියක් වුණා.’ සචිනි තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිදුවීමක් ගැන සඳහන් කළේ සැහැල්ලුවෙනි.

‘ජිම්නාස්ටික් වලින් මම ශ්‍රී ලංකාව නියෝජනය කළා. 2014 පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට ස්කොට්ලන්තයට ගියා. ඒ වගේම සිංගප්පූරුවේ තිබුණු ආරාධිත ජිම්නාස්ටික් තරගාවලියට සහභාගි වෙලා ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඒත් අන්තිමට මම රිටි පනින්න ඇදිලා ආවා. අදටත් මම ඒ තිරණය ගත්තේ ඇයි කියන්න දන්නෙ නෑ.’

‘ඒ ආකර්ශනය මට ලැබුණේ මගේ ඉස්කෝලෙ (පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල) හිටිය තවත් අක්කා කෙනකු නිසයි. එයාට රිටි පනින්න එන්න කිව්වා. එයාගෙ තනියට ගිය මම රිටට ආදරය කරන්න පටන් ගත්තා. අන්තිමට ඒ අක්කා ක්‍රීඩාව නැවැත්තුවා. මම දිගටම රිටි පැන්නා. මුලදී හැමදාම පරාදයි. මුල් අවුරුදු එකහමාර ම ජයග්‍රහණ නෑ. ඒත් මම ක්‍රීඩාව දිගටම කළා. ඔය අතරේ තමයි මට ගුණරත්න සර් ගාවට යන්න අවස්ථාව උදාවෙන්නේ. කියුබන් පුහුණුකරු ගාව ඉඳලා ගුණරත්න සර් ගාවට ගිහින් පනිද්දීත් මම පැරදුණා. ඒත් සර් කිව්වේ දිගටම පුහුණු වෙන්න කියලයි. ක්‍රීඩාවට අවංක වුණොත් මටත් ක්‍රීඩාව අවංක වෙනවා කියලා සර් කිව්වා. ඒක ඇත්ත. මේ වෙනකොට මට ලංකාවේ තියෙන ඔක්කොම තරග දිනන්න හැකිවුණා. වැඩි පහසුකම් තිබුණොත් මීටර් හතරේ සීමාවට එන්නත් අසීරු නෑ. ඒකට විදේශීය පුහුණුවක් අවශ්‍යයි. රජයෙන් යම් ක්‍රමවේදයක් හදලා දෙනවා නම් මම මගේ වැටුපෙන් හරි ගෙවලා ඒ පුහුණුව ලබාගන්න සූදානම්.’

‘මම පාවච්චි කරන්නේ තව කෙනෙක්ගෙ රිටක්. ඒ රිටේ අයිතිකාරයා අපේ සර් ගාව උස පනින ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩාව කරන දොස්තර මහත්තයෙක්. ඒ රිට මගේ අතින් කැඩුණා. දැන් ටිකක් කොටයි. නමුත් මම ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ ඒ රිටෙන්මයි. අලුත් රිටි දෙකක් මට යුද හමුදාවෙන් වගේම පළාත් සභාවෙන් ලැබුණා. ඒත් තවම මට හුරු පරණ රිටමයි. රිට කැඩුණා කියලා දොස්තර මහත්තයට කිව්වාම එයා හිනාවෙලා ඔළුව අතගෑවා විතරයි. මම බයේ හිටියේ බනියි කියලා’ ඇය පැවසූවා ය.

‘අපි පහුගිය කාලේ පුරුදු වුණේ අපේ සර ්ගෙ (ගුණරත්න) ගෙදර තැනක. සර්ට හමු වුණු මෙට්ට කෑලි තුනක් දාලා මහගත්ත පොඩි මෙට්ටයක් උඩට පැනලා තමයි පුහුණු වෙන්නේ. වැල්ලෙ දුවගෙන ඇවිත් රිටි පනින්න අපිට පුහුණුව දෙනවා. ඒ ප්‍රතිරෝධය එක්ක උඩ එන්න ගන්න වෙහෙස අපේ දක්ෂතා තවත් ඔප් නංවනවා. මේ ආපු ගමන ගැන මට තියෙන්නේ ආඩම්බරයක්, සතුටක් වගේම ආදරයක්.’

ඈ පවසන්නේ මීටර් තිහකට ආසන්න දුරක් බිඳුණු රිටක් දරා වේගයෙන් දිවගොස් ඉපිලී ගිය අඩි දහතුනක් පමණ ඉහළින් රඳවා ඇති හරස් දණ්ඩ දෙස බලා හිනැහෙමිනි. තම සුරතේ ඇති රිටට දේහ බර සීරු මාරු කර ඉහළට එසවෙද්දී තමන් උගත් ජිම්නාස්ටික් දැනුම ද උපයෝගී කරගනිමින් තම සිරුර දුන්නක් සේ නමා ඉහළ රඳවා ඇති හරස් දණ්ඩට උඩින් පැනිම ඇයට දැන් සෙල්ලමකි.

‘ඒ දේ කරන්න මම බය නෑ. ජීවිතය දිනන්න කොයිතරම් උසින් තිබුණත්, දඬු වැටවල් පනින්න ඕනෑ.’ ඈ කියන්නීය. එහි ඇත්තේ තම ජීවිතයේ ඉදිරියට එන ඕනෑම දඬුවැටක් පනින්න සූදානම් බව දක්වන තිර අධිෂ්ඨානයකි. එය සැබෑවකි. ජීවිතය යනු අභියෝග කන්දකි. එය තරණය කිරීම යනු ජීවත්වීම ය. සචිනි පෙරේරා ද දැන් ජීවත් වන්නී ය. ඇයට තවමත් අවුරුදු විසි දෙකක් පමණි. එහෙයින් ඇගේ ජීවිත්වීමේ සටන් අනාගතයේදී තවත් දකින්නට අපට හැකිවනු නිසැකය. ඒ ඈ රිට අතහරින්නට අකමැති වන හෙයිනි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments