හදේ දිරිය සන්නාමයක් කර රටට අලෙවි කරන මහඋස්වැව රතනපාල බාලිකාවෝ | සිළුමිණ

හදේ දිරිය සන්නාමයක් කර රටට අලෙවි කරන මහඋස්වැව රතනපාල බාලිකාවෝ

කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙණියෙන් දකුණට හැරි ආණමඩුව (ගල්ගමුව පාරේ) පසු කර කිලෝමිටර් 10ක් පමණ යනවිට මහඋස්වැව රතනපාල විද්‍යාලය හමුවෙයි. රතනපාල විද්‍යාලය දැන් නීල පැහැයෙන් බබළන මිණි කැටයක් බඳුය. ඒ රටම කතාකරන ප්‍රචලිත පාසලක් වශයෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වූ හෙයිනි.

නියඟයෙන් පීඩා විඳින, වන අලීන් හා නිරතුරු සටන් වදින, ජීවිතයේ සරතැස දරාගනිමින් ඉදිරියට ඇදෙන ක්‍රීඩිකාවෝ කණ්ඩායමක් මෑතකදී ජනප්‍රිය නමක් බවට පත්වූ මහඋස්වැව රතනපාල විදුහලේ සිටින බව 'ක්‍රීඩා' හඳුනාගත්තේ එම සංචාරයේදීය. මේ රතනපාල වොලිබෝල් බාලිකාවන්ගේ ජීවිත කතාවේ හරස්කඩකඩකි. ඊට මූලාශ්‍ර සපයන්නේ එම වොලිබෝල් කණ්ඩායමේ උදේශිකා ශ්‍රීමාලි සහ චතුනිකා චමාලිගේ මව වන පුෂ්පා මල්කාන්ති හා විදුහලේ වොලිබෝල් පුහුණුකරු අනිල් චන්ද්‍රකුමාර මහතාය.

ක්‍රීඩාව ගැන උපාධි, තාක්ෂණ පාඨමාලා හෝ අධ්‍යයනය කර නොමැති විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් ඊට අමතරව ගණිත විෂය උගන්වන්නට පාසලට පැමිණි ගුරුවරයකු මහඋස්වැව රතනපාල විද්‍යාලය සමස්තලංකා තලයේ ජයග්‍රහණ කීපයක් කරා තම පාසල මෙහෙයවීමත් සමඟය. එය ස්වේච්ඡා සේවය කි.

වන අලි සමඟ නිරතුරුව සිදුවන ගැටුමෙන් ආරක්ෂාවීමට මෙන්ම වගාවන් සාර්ථක කරගැනීමට අහස දෙස බලා යදිමින් සිටින හා වකුගඩු රෝගයෙන් තවදුරටත් අසරණවී ඇති මිනිස් කැළක් ජීවත්වන ප්‍රදේශයකට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු කාන්දු කරන්නට මෙම ගුරුවරයා සමත්ව තිබේ.

‘ගමට ක්‍රීඩා’ ව්‍යාපෘතිය යටතේ පත්තර මහගෙදර ක්‍රීඩා පුවත්පත අගනුවර සිට කිලෝමීටර් 150කට අධික දුරක් ගෙවා පුත්තලමේ මහඋස්වැව රතනපාල මහා විද්‍යාලයට ගියේ එම දිස්ත්‍රික්කයේ බොහෝ දුෂ්කර ගම්මාන වසා ඇති කළු වලාවේ රිදී රේඛාව දීප්තිමත්ව පෑයූ ආකාරය ගැන සොයා බැලීමට ය.

ඉස්සර මමත් වොලිබෝල් ගැහුවා

අන්තිමට මට අලියා ගැහුවා

අම්මාගේ කතාව

දගහාව ඉස්කෝලේ තමයි දුවලා දෙන්නම ඉගෙන ගත්තෙ. ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නකොට, කොට්ඨාශ වොලිබෝල් තරගවලට ආනමඩුවෙ ගියා. ඒ වෙලාවේ සර් තමයි මේ දෙන්නාගේ දක්ෂතා දැකලා රතනපාල විද්‍යාලයට එන්න කිව්වේ. සර් කිව්වා ඔක්කෝම බලාගන්නම් කියලා.’ ඒ රතනපාල විදුහල් වොලිබෝල් කණ්ඩායමේ උදේශිකා ශ්‍රීමාලි සහ චතුනිකා චමාලිගේ මව වන පුෂ්පා මල්කාන්තිගේ හඬය.

‘මට අලියා ගැහුවාට පස්සේ ළමයින්ව පාරට ගිහින් ඇරලවන්න යන්නවත් බෑ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් 11 දා මම දුවලා දෙන්නා ගෙදර එක්කගෙන එනකොට මට අලියා ගැහුවා. මම මාස දහයක් තිස්සේ එකතැන් වෙලා දැන් මම මැරි මැරී ජීවත් වෙනවා. ’ ඇය කියන්නීය.

‘දැන් තමයි ටිකක් හරි ඇවිදින්නේ. ඒත් තවම කකුල හරියට හදාගන්න බැරි වුණා. ඇස් පෙනීමත් දුර්වලයි. දොස්තර මහත්වරු කාච දාගන්න කිවුවට ඒවා දාගන්න අපට වත්කමක් නෑ මහත්තයො. අලියා ගැහුවට පස්සේ ඇති වෙච්චි අතුරු ආබාධයක් විදියට තමයි ඇස් පේන්නේ නැතිව ගියේ.’ උදේශිකා හා චතුනිකාගේ මව පවසන්නේ දෙනෙතෙන් මතුවන කඳුළු දිදුලද්දීය.

‘ අපේ ගෙදරටත් අලි එනවා මහත්තයො. අලි වන්දිත් දැම්මා. ඒත් තාම හම්බ වුණේ නම් නෑ. කකුල තැන් දෙකකින් කැඩිලා තියෙන්නේ. ඇටකටුවක් පිපිරිලා එළියට ඇවිත් තියෙන්නේ. ඇත්තම කියනවා නම් දැන් මට ඇවිදගෙන යන්නත් අමාරුයි. කොහොම වුණත් දුවලා දෙන්නම ක්‍රීඩාවට දක්ෂයි. හැබැයි වොලිබෝල් විතරයි ක්‍රීඩා කරන්නේ. මම හුගාක් දුක් විදලා තමයි මේ දෙන්නව මේ තත්වයට ගෙනාවෙ. ඒ දවස්වල මම කුළී වැඩ කරලා පුළුවන් විදියට දරුවෝ දෙන්නා ගැන බැලුවා. ඒත් මේ දෙන්නාගේ වියදම් පියව ගන්න බැරිව මම හැම වෙලාවෙම කල්පනා කර කර ඉන්නේ.’ ඈ කතාකරන්නේ යතාර්ථය ගැනය.

‘දරුවන්ගේ තාත්තා ගොවිතැන් කරන්නේ. පහුගිය කන්න තුනම හරියට කර ගන්න බැරි වුණා. අවුරුද්දක්ම ගමේ අය තමයි අපි ගැන හොයලා බැලුවේ. මගේ ජීවිතය මොනවා වුණත් දැන් දුවලා දෙන්නගේ ජීවිතය ගැන විතරයි මම හිතන්නේ. මේ දෙන්නාගේ ක්‍රීඩා ජීවිතයේ හැම දවසක් ගැනම සතුටුයි. මමත් ක්‍රීඩා කරලා තියෙනවා. මම දුකින් හිටියේ මේ දෙන්නා ක්‍රීඩාවට යොමු නොවෙයි කියලා. මම ඇවිදගෙන ගිය පාරෙම ඔවුන් දුවලා යන එක ගැන සතුටුයි. හැබැයි වියදම් දරා ගන්න විදියක් තමයි නැත්තේ.’ ඈ කියන්නේ අභිමානය හා කනගාටුව මිශ්‍රිත හැඟීමෙනි.

‘ඉස්සර මමත් වොලිබෝල් කාරියක් තමයි. ඒ කාලේ ක්‍රීඩා කරලා පළාත් දක්වා ගිහින් තියෙනවා. දැන් මගේ දුවලා දෙන්නා ජාතික තලයටම ළඟා වෙලා. අපේ ගෙදර ඉඳලා හංදියට කිලෝ මීටර හතරක් විතර පයින් යන්න ඕනෑ. මට අලියා ගහලා පහුගිය මාස 10 ළමයි දෙන්නා පයින්ම තමයි හංදියට ගියේ. මම රෝද පුටුවේ ඉඳගෙන දරුවෝ ගෙදර එනකම් මග බලාගෙන හූල්ලනවා.

මේ හරියට කියන්නෙ මැද්දාව කියලා. අනාථ පාර, අලිවැට පාර කියලත් කියනවා. දැන් නම් බලන්නේ ළමයි දෙන්නත් අරගෙන පාරක් අයිනකට හරි යන්න පු‍ළුවන්ද කියලයි.මම විඳින දුක ළමයින් දෙන්නා විඳිනවා නම් බලන්න කැමති නෑ.මහා පාරක් අයිනෙන් කවුරු හරි කාමරයක් හරි හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්. ළමයි දෙන්නගේ බෝඩිං ගාස්තු‌ව රුපියල් 12000 ක් වෙනවා. ඒකත් සර්ලා ඒකතු කරලා දෙන්නේ. අපිට මේ දෙන්නට ඉස්කෝලෙ දෙයක්වත් අරන් දෙන්න විදියක් නෑ.’ උදේශිකාගේ සහ චතුනිකාගේ මව වන පුෂ්පා මල්කාන්තිගේ හඬ මහඋස්වැව රතනපාල විද්‍යාලයේ ‌වොලිබෝල් කණ්ඩායමේ හරස් කඩක් ලෙස ගත්ත ද එහි වරදක් නැත.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ගේ තත්ත්වයද මීට නොවෙනස් බැවිණි.

 

මම වොලිබෝල් ගැන දන්න දෙයක් නෑ

මගේ ගුරුවරයා යූටියුබ් එක

අනිල් චන්ද්‍රකුමාර වොලිබෝල් පුහුණුකරු

මගේ ගම මැල්සිරිපුර. සියැනෑ විද්‍යාපීඨයේ ඉගෙන ගත්තේ. සීමාවාසී ආවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. පත්වීම හම්බවුණේ මේ ඉස්කෝලෙට. මම උගන්වන්නේ විදුලි සහ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය. ඊට අමතරව ගණිතය උගන්වනවා. ගණිතය විෂයෙනුත් ‌‌‌හොද ප්‍රතිඵල තියෙනවා.

ක්‍රීඩාවටත් මම හුගක් කැමතියි. ඒ නිසා තමයි වොලිබෝල් වලටත් යොමු වුණේ. මට සමස්ත ලංකා සහතික පවා තියෙනවා. මම මේ ඉස්කෝලෙට එනකොට පාසලේ ක්‍රීඩා තියෙනවා. හැබැයි දිනලා නැහැ. මලල ක්‍රීඩා වලින් සමස්ත ලංකා ගිහින් තියෙනවා. ඒ මම ඉන්නකොට නම් නෙමෙයි.මම මෙහෙට ඇවිත් අවුරුදු 12 ක් විතර මේ අයට සහයෝගය දුන්නා. මහා ලොකුවට ඒ වෙනුවෙන් කැපවුනේ නැහැ. ජයග්‍රහණ නම් නෑ.තරගවලට යනවා සහභාගි වෙලා එනවා.

 

සර් තමයි අපේ දෙවැනි තාත්තා

ප්‍රීතිකා ප්‍රමෝධිනි (නායිකාව)

“දුප්පත්ම අපිට බොහෝදේ නැති වෙලයි තියෙන්නේ. මගේ අම්මා මේ වෙනකොට විදේශ රටක සේවය කරන්නෙ. මගේ පියා ගොවියෙක්. මගේ කණ්ඩායමේ බොහෝ සාමාජිකාවන්ගෙ දෙමාපියන් පවා මේ වන විට ජීවතුන් අතර නැහැ. ඒත් අපේ සර් අපිට මාපියන් වගේ. අපිට ක්‍රීඩාව වගේම ජීවිතයත් ජයගන්න ධෛර්යය ලබාදෙන්නෙ සර්. අපි කිසිම වෙලාවක පහසුකම් නැහැ කියල පසුබැහැලත් නැහැ. පසුබසින්නෙත් නැහැ. අපේ එකම අරමුණ ජයග්‍රහණයමයි. අපේ කණ්ඩායමේ සමාජිකාවක් පුහුණුවීම් වලට සම්බන්ධ වෙලා ගෙදර යන කොට වල් අලි ප්‍රහාරයකින් අම්මට විශාල අනතුරක් පවා සිදුවුණා.

පාපන්දු

මම මෙහෙට ඇවිත් ඉස්සෙල්ලාම පාපන්දු කණ්ඩායමක් තමයි පටන් ගන්නේ. පාපන්දු පුහුණුවීම් කරන කොට මට දැනුණු දෙයක් තමයි ළමයින් කොයිතරම් දක්ෂ වුණත් ශක්තිය මදි කියන එක. ගිනි කාස්ටක අව්වේ තමයි පුහුණුවීම් කරන්න වෙන්නේ. මේක තේරුණාම පාපන්දු වැඩේ අතහැරලා දැම්මා.

ඊට පස්සේ තමයි වොලිබෝල් ගැන අදහස මගේ හිතට ආවේ. ඉස්කෝලේ වටපිටාව බලද්දිත් හොඳට හෙවන තියෙන තැනක් හම්බ වුණා. මැනලා බලනකොට වොලිබෝල් පිටියකට හරියන ඉඩක් තිබුණා.

ශ්‍රමදානයක් තිබුණු දවසක සහකාර විදුහල්පති ජයතිලක සර්ට කියලා එතන සුද්ද කරවා ගත්තා. එහෙම පටන්ගත්ත පළමුවැනි වොලිබෝල් කණ්ඩායම තමයි අද දක්වාම පවත්වාගෙන එන්නේ. මම 2007 අවසානයේ තමයි මෙහෙට ආවේ. 2008 -2009 දී මහදෙයක් කෙරුණෙත් නැහැ. 2011 දී තමයි මේ ළමයිටික අරගෙන පුහුණුවීම් පටන් ගත්තේ. ඒ කියන්නේ ඔවුන් ශිෂ්‍යත්වය ලියපු ගමන්මයි අපි පටන් ගත්තේ.’ අනිල් චන්ද්‍රකුමාර පැවසීය.

මම මේ මොන දේ කලත් වොලිබෝල් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මහ ලොකුවට වොලිබෝල් ගහලත් නැහැ. පොඩිකාලේ සෙල්ලම් කරලා තිබුණට වොලිබෝල් ක්‍රීඩාවක් විදියට කරලා තිබුණෙත් නැහැ. ඉබ්බාගමුව ඉස්කෝලේ යන කාලේ මම පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කළේ. ක්‍රිකට් වලින් නම් සමස්ත ලංකා ගිහින් තියෙනවා.

මම වොලිබෝල් වලට අදාලව හැම දෙයක්ම ඉගෙනගන්නේ යූ ටියුබ් වලින්. වීඩියෝ බලලා ඉගෙන ගන්න දේවල් ළමයිට ඉගන්නුවේ. 2011 දී මේ පොඩිඋන් ටික අරගෙන වයඹ පළත් තරගාවලියට ගියා. අපි අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආවා. වයඹ පළාතේ අටට ආපු ඒකත් ලොකු ජයග්‍රහණයක් වුණා.’ ඔහු පවසන්නේ නිහතමානීවය.

පාපැදියටත් අත

ඔය අතර මගේ තව ගෝලයෙක් පාපැදි ශූරියක්. ඒ දිනේෂා දිල්රුක්ෂි. මම සල්ලි දීලා සයිකලයත් හදලා දීලා පදින්න කිවුවා. ඒ ළමයගෙ අම්මා හුඟක් උදව් කළා. හැබැයි. 2012 දි තමයි අපි සමස්ත ලංකා පළමු ජයග්‍රහණය හිමි කර ගන්නේ. පහුගිය සාග් තරගාවලියේ දිනේෂා රිදී පදක්කමකුත් දිනා ගත්තා. එයා තමයි මගේ පළවෙනි ගෝලයා. දැන් ගුවන් හමුදාවට සම්බන්ධ වෙලා ඉන්නවා. 2011 සමස්ත ලංකා සිව්වැනියා වුණා. එයාගෙ නංගී පාපැදි තරගවලින් සමස්ත ලංකා දෙවෙනියා වෙලා තියෙනවා.

මේවන විට ආණමඬුව මහඋස්වැව රතනපාල විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායම අද ප්‍රදේශයම එක් කරනා කේන්ද්‍රීය ලක්ෂ්‍යක් වි අවසන්ය. පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි එම විද්‍යාලය, අද වොලිබෝලයේ බලාපොරාත්තු ඉහළ නැංවෙන ආකාරයේ තවාන් භූමියකි. හාත්පස වනයෙන් වට වූ වන අලි මිනිස් ගැටුමෙන් පීඩිත ආණමඩුවට හෙට දිනය පිළිබඳ නව්‍ය බලාපොරොත්තුවකි. වියළි වන ගහනය තුළ සැඟවී මැකී යා හැකිව තිබූ ප්‍රදේශයේ දරුදැරියන්ගේ ගිළිහෙන බලාපොරොත්තුවලට දිය බිඳු ඉසිමින් අනිල් චන්ද්‍රකුමාර දැනටමත් ගමනකට මුල පුරා අවසන්ය.

‘ගෘහස්ත තරග වලදී ලොකු දුර්වලතාවයක් දක්වනවා. අපට තාමත් හරියට ගෘහස්ත පූහුණුවීම් කරගන්න හැකියාවක් නෑ. ඒ නිසා අපේ දරුවන්ට නියමිත දක්‍ෂතා දැක්වීමේ දුෂ්කරතා තියෙනවා. අද ලංකාවේ හොඳටම එළිමහනේ ක්‍රීඩා කරන්නේ අපි. 2019 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ එළිමහනෙ තිබුණු අවසන් තරගයේදී ප්‍රබල කොස්වාඩියේ විජය පරාජය කරලා තමයි අවසන් මහා තරගයට ආවේ. ඉතිහාසයේ පළවෙනි වතාවට පාසල් කණ්ඩායමක් ජනාධිපති රන් කුසලාන කාන්තා අවසන් තරගයට ඇවිත් අනුශූරියන් වුණා. මේ සියලු ජයග්‍රහණ පිටුපස යෝධ සෙවනැල්ලක් මෙන් සිටින්නේ විදුහල්පති එස්. ඒ. තිලකසිරි මහතායි.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

 

Comments