කවරයේ කතාව | Page 2 | සිළුමිණ

කවරයේ කතාව

සියලු පළාත් පරදවා යාපනය දිනවන තිසර

මෙවර කවරය හැඩකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 'පැන්ඩා' යනුවෙන් සුරතලයට හඳුන්වන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය. මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ඔහු නායකයෙක්, ක්‍රීඩකයෙක් වශයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිටී. පසුගිය තරග අතරින් තරගාවලියේ පස්වැනි තරගයේදී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකින් නායක දසුන් ශානකට එලොව පොල් මෙලොවදී පෙන්වීමට තිසරට හැකිවිණි.

එම තරගයේදී ශානක නායකයකු වශයෙන් ලබාගත් තීරණය යාපනයේ ස්ටැලියන්ස් ඉනිමේ පළමු භාගය වන තුරුම නිවැරදි එකක් බව ඔප්පු විය. ඔහුගේ කණ්ඩායම අනිවාර්යය පන්දුවාර 6 තුළදි ලකුණු 40-4 ක් ලෙස ඉදිරියට ගෙන ගිය නමුත් ඉන් පසුව සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමකි. ඒ යාපනයේ ස්ටැලියන්ස් නායක තිසර පෙරේරාගේ අසාමාන්‍ය ගිනිකෙළි සංදර්ශනය ආරම්භ වීමයි. එය යාපනය පිලට ජයග්‍රහණයේ දොරටු විවර කරදීමක් විණි. 'මම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් අද නායකයෙකු ලෙසත් ආඩම්බර වෙනවා. මම පන්දුවට පහර දෙන විට ප්‍රතිවාදින් ගැන මම කිසි විටෙකත් හිතන්න යන්නේ නෑ. එහෙම වුණොත් ඒක ඹළුවට බරක් වෙනවා. මේ වගේ අවසානයකට සැබවින්ම සතුටු වෙනවා. මම හිතන්නේ මම දැන් තරමක් පරිණත නිසා පෙරට වඩා වෙනස්ව මට පන්දුවට පහර දීමට පුළුවන් කියලා. මම සාර්ථකයි කියලා හිතෙන කොට සතුටුයි.'තරගය පසුව තිසර පෙරේරා පවසා තිබිණි.

මෙවර 'ක්‍රීඩා' කවරය සරසන්නට තිසර ගේ ඡායාරූපයක් යොදාගන්නට තවත් හේතුවක් තිබුණේය. ඒ විස්සයි විස්ස පිටියේ අංක හත හෝ් ඊට පහළ පිතිකරුවකු රැස්කරගත් දෙවැනි විශාලතම පෞද්ගලික ලකුණු ප්‍රමාණයේ වාර්තාව ඔහු හිමිකරගෙන තිබෙන නිසාය. ඔහු එම තරගයේදී නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තේ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී ඕනෑම ක්‍රීඩකයෙකු වෙනුවෙන් අංක 7 හෝ පහළ ස්ථානයේ පන්දුවට පහර දෙමින් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙනි. එම ස්ථානයේ පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2018 සී.පී.එල්.හිදි, එරෙහිව අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ ජැමෙයිකා තලාවා කණ්ඩායමේ ඇන්ඩ්‍රේ රසල් නොදැවි රැස් කළ ලකුණු 121 යි.

ඇන්ඩ්‍රේ රසල් සහ තිසර පෙරේරා හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් මෙම ස්ථානයේ ක්‍රීඩා කරමින් විස්සයි 20 ඉනිමකදී ලකුණු 90 ක් ලබා ගෙන නැත. මේ වසර මුලදී ටැමිල්යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව සරසන්ස් ක්‍රීඩා සමාජයේ අංක 5 පිතිකරුවාවු අෂෙන් බණ්ඩාර නොදැවි 101 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවේදි තිසර පෙරේරාගේ (නොදැවි 97 )ඉනිමට වඩා වැඩිම විස්සයි 20 ලකුණු සංඛ්‍යාව වන්නේ අංක 5 හෝ පහළ ස්ථානයේ පන්දුවට පහර දෙමින් සිටියදීය.

තිසර නොදැවී රැස් කළ ලකුණු 97 ඕනෑම විස්සයි20 තරගයක ඔහු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඊට පෙර ඔහුගේ හොඳම ඉනිමවූ ලකුණු 84 (පන්දු 30 කදී) මේ ලකුණු සංඛ්‍යාවත් සමඟ ඉක්මවා ගියේය. සිකුරාදා (27) යාපනය ස්ටැලියන්ස් වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු නොදැවි ලබාගත් 92 එතෙක් හම්බන්තොට සුරියවැව පිටියේහි හොඳම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව විය.

මේ තරගාවලියේ තිසරගේ පිත්ත ක්‍රියාත්මක වු තරග දෙකේදි ,දඹුල්ල වයිකින්ට එරෙහිව පන්දු 44දි, නොදැවි ලකුණු 97ක් සහ මහනුවර ටස්කර්ස්ට එරෙහිව පන්දු 28කදි ලකුණු 68ක් වශයෙන් ලකුණු 165ක් රැස්කර ඇත්තේ පන්දු 72කදිය.ලකුණු ලබා ගැනිමේ සාමාන්‍යය 165.00කි.

 

Comments