ප්‍රංශ ජනාධිපති මුස්ලිම් අන්තවාදීන්ට බැට දෙයි | Page 2 | සිළුමිණ

ප්‍රංශ ජනාධිපති මුස්ලිම් අන්තවාදීන්ට බැට දෙයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එනම් දින 15ක කාලයක් ඇතුළත ඉස්ලාමය යනු ‘අදේශපාලනික ආගමක්’ බව ප්‍රකාශ කරන ලෙසයි.

ඔහු මේ ඉල්ලීම කර ඇත්තේ ඉස්ලාම් ආගම සම්බන්ධව දිගු විවේචනයක්ද සමඟිනි. ඔහුගේ විවේචනයට අනුව ප්‍රංශය තුළ ක්‍රියාත්මක ඉස්ලාම් ආගම යනු පැහැදිලිවම ‘බෙදීමක්’ බවයි. එම ආගම මගින් රටේ ජනතාව බෙදීමට ලක් කරන අතර ජනතාව අතර වෛරය වපුරන බව ද මැක්‍රෝන් පවසා තිබේ.

මේ ප්‍රකාශය කිරීමට පෙර මැක්‍රෝන් ප්‍රංශයේ ඉස්ලාමීය නායකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී දිගින් දිගටම පවසා ඇත්තේ ඉස්ලාමය යනු ආගමක් මිස දේශපාලන ව්‍යපාරයක් නොවිය යුතු බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මේ ක්‍රියා කලාපය යුරෝපයේ සෙසු නායකයන්ටද ආදර්ශයක් වනු ඇතැයි සිතිය හැකිය. මේ වන විට යුරෝපය අන්තවාදී ඉස්ලාමයේ යුද බිම බවට පත්ව ඇති බව පැහැදිලිය. ප්‍රංශය ආගමික නිදහස උතුම් කොට සලකන රටක් වුවද ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාර දිගින් දිගටම සිදුවන පරිසරයක් තුළ අන්තවාදී ඉස්ලාමය හෙළා දැකීම ඇරඹීය.

මීට දින කිහිපයකට පෙර ඔස්ට්‍රියාවට එරට අලුත්ම අන්තවාදී ඉස්ලාම් ප්‍රහාරයට මුහුණ දීමට සිදුවූ අතර එයට සති දෙකකට පමණ පෙර ප්‍රංශයේ නිදහස් අදහස් සම්බන්ධව තම සිසුන් දැනුම්වත් කළ ගුරුවරයකු මරණයට පත් කරනු ලැබුවේ ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ ඉස්ලාම් සිසුවෙකි.

මේ සිදුවීම් සමඟ එම්මානුවෙල් මැක්‍රෝන් තම ඉවසීම අවසන් කර ගත් බව පැවසිය හැකි වුවද සැබවින්ම ඔහු අන්තවාදී ඉස්ලාමට විරුද්ධ වූයේ මෙයට බොහෝ පෙර සිටය.

එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපති ලෙස පත්වූ දා සිට මේ දක්වා පමණක් ප්‍රංශය තුළ එල්ල වී ඇති අන්තවාදී ඉස්ලාම් ප්‍රහාර සංඛ්‍යාව 23ක් පමණය.

ඒ අතරින් මේ ලියන මොහොත වන විට එල්ල වී ඇති අවසාන ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 16වැනිදාය.

ඒ භාෂණයේ නිදහස සම්බන්ධව තම සිසුන්ට දැනුම ලබා දුන් ගුරුවරයා මරා දැමීමය. මැක්‍රෝන්ගේ පාලන කාලය තුළ එල්ල කෙරුණු ප්‍රබලතම ප්‍රහාරය 2019 මැයි මස 24 වැනි දින එල්ල වූ අතර එය පාර්සල් බෝම්බයක් විය. එය ප්‍රංශ ජාතිකයන්ගේ ජීවිත බිලි ගැනීම අරමුණු කර ගනිමින් සාප්පු සංකීර්ණයක අටවා තිබූ අතර අයිඑස් සංවිධානය එහි වගකීම බාර ගත් බව ප්‍රකාශ විය. මීට පෙර 2018 මාර්තු 23වැනි දින සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රංශ ජාතිකයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විස්සක පමණ සංඛ්‍යාවක් තුවාල ලැබීය. එයද අයිඑස් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුවූ සිදුවීමක් ලෙස ප්‍රකාශ විය.

කෙසේ වුවද මේ සියල්ල එක්ව සලකා බලමින් මැක්‍රෝන් ප්‍රකාශ කරන්නේ ඉස්ලාමය මුළු ලෝකය පුරා ගැටලු ඇති කරමින් සිටින බවයි.

ප්‍රංශය තුළ වෙසෙන ඉස්ලාම් භක්තිකයන් ‘බෙදුම්වාදීන්’ ලෙස ක්‍රියාකරන බවට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ චෝදනා කර සිටියේය. මේ වන විට ඉස්ලාමය ගැටලු මතුකරමින් සිටින්නේ ඉස්ලාම් භක්තිකයන් සුළුතරය ජීවත් වන රටවල පමණක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහුට අනුව මේ වන විට ඉස්ලාම් භක්තිකයන් බහුතරය වෙසෙන රටවලටද ඉස්ලාමය ගැටලු ඇතිකරමින් සිටී. ඒ අන්තවාදී මුහුණුවරිණි. එම රටවල දේශපාලනඥයන්ද මේ අන්තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙය දරුණු ‘රැඩිකල්වාදයක්’ කර ගෙන යන බවද පවසා සිටියේය.

ප්‍රංශ ජනාධිපතිවරයාට අනුව මේ වන විට ප්‍රංශයේ වෙසෙන මේ රැඩිකල් මුස්ලිම්වරුන් සමකාලීන සමාජයේ වටිනාකම් ඉවත දමමින් සිටින්නේය. එය බෙදුම්වාදය ලෙස පහසුවෙන් අර්ථගන්වා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම අවබෝධයෙන් කටයුතු කරමින් මේ අන්තවාදීන් ඇටවීමට යන උගුලෙන් ගැලවිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

ප්‍රංශයේ දැනට වෙසෙන ඉස්ලාම් නායකයන් කැඳවමින් ආගම දේශපාලනයෙන් බැහැර කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ඉන් පසුවය.

ප්‍රංශය පුරා එල්ල කෙරුණු අන්තවාදී ප්‍රහාර හිසරදයක් මෙන් ඉවසා සිටි ප්‍රංශ නායකයන් පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවුණු ගුරුවරයාගේ ඝාතනයත් සමඟ ඉවසීම අවසන් කරගත් බවක් පෙනෙන්නට තිබේ. එම අවස්ථාවේදී ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් පවසා සිටියේ එම ප්‍රහාරය ප්‍රංශයේ පිටකොන්දට එල්ල කරන ලද ප්‍රහාරයක් වශයෙනි.

කෙසේ වුවද ප්‍රංශ නායකයාගේ මේ ප්‍රකාශය සහ ඔහු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අන්තවාදී විරෝධී වැඩපිළිවෙළ යුරෝපයේ සෙසු රටවලටද ඉස්ලාම් අන්තවාදය පිටු දැකීමට ශක්තියක් සපයනු ඇති බව අනුමාන කළ හැකිය. සිරියාවේ යුද ගැටුම්වල කිසියම් අඩුවීමක් සමඟ යුරෝපා රටවලට සංක්‍රමණිකයන්ගේ පැමිණීමේද කිසියම් අඩුවක් දැක ගත හැකි වී තිබේ. එහෙත් වංසගත තත්ත්වයෙන් පසු එහි නව ප්‍රවණතාවන් හඳුනාගැනීමට සහ ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩිය.

වසංගතයේ අතුරු ප්‍රතිඵල ලෙස මුළු ලෝකයේම විරැකියාව දරුණු ලෙස හිස ඔසවමින් තිබෙන බැවින් යුරෝපයට යළිත් සංක්‍රමණික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීමට වුවද ඉඩ තිබේ.

එබැවින් අන්තවාදය කුමන අවස්ථාවක හෝ හිස එසවීමේ තර්ජනය කලින් දැන හඳුනාගෙන කටයුතු කිරීම මැක්‍රෝන්ට මෙන්ම සෑම යුරෝපා රටකම නායකයන්ට එකසේ වැදගත් වනු ඇත.

 

Comments