තහංචි වාරණ හා බාධක මැද එල්.පී.එල්. ක්‍රිකට් වසන්තය ඇරැඹෙයි | සිළුමිණ

තහංචි වාරණ හා බාධක මැද එල්.පී.එල්. ක්‍රිකට් වසන්තය ඇරැඹෙයි

දෙවරක් කල් දැමූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි ආරම්භ විය. තරග 23 කින් යුත් විස්සයි20 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මුලින් පැවැත්වීමට යෝජනාවී තිබුනේ අගෝස්තු මාසයේදීය. නමුත් කොවිඩ්19 වෛරස් වසංගතය හේතුවෙන් එය යළි කල් දැමිණි.

සෑම එල්පීඑල් කණ්ඩායම් පහකටම විදේශිය ක්‍රීඩකයන් හය දෙනෙකු ඇතුළත් කර ගැනිමේ ප්‍රතිපාදන යටතේ තරගාවලිය පැවැත්වෙයි. මෙය ලබන දෙසැම්බර් මස 16 වැනිදා දක්වා දියත් වීමට නියමිතය.

සෞඛ්‍ය නිර්දේශයන් අනුමතයි

ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාගැනිමෙන් අනතුරුව එල්.පී.එල්. පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කෙරුණේය. මේ අනුව තරගාවලිය වෙනුවෙන් හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැති විකට්ටු ඇතුළු යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කිරීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

මේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් දින හතක නිරෝධායනයකින් පසුව පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුණේය. ඒ අනුව සෑම දිනකම තරග දෙක බැගින් පැවැත්වීමට තරග සංවිධායකයන් සැලසුම් කර ඇති අතර උදේ කාලයේදී කණ්ඩායම්වලට පුහුණුවීම් කිරීමට සහ රාත්‍රි කාලයේදී පැති විකට්ටුවල පුහුණුවීම් කිරීම වෙනුවෙන් ක්‍රීඩාංගණයේ පහසුකම් සකසා තිබේ.

නිරෝධායන බුබුළ

දැඩි නිරෝධායන සීමා කිරීම් හේතුවෙන් කණ්ඩායම් පහ සඳහා සියලුම ක්‍රීඩකයින් බ්‍රහස්පතින්දා වන විට දිවයිනේ දකුණේ හෝටලයක ජෛව ආරක්ෂිත බුබුලකට සම්බන්ධ විය.එමගින් ක්‍රීඩකයන් හා එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධවන සියලු සාමාජිකයන් කිසිදු පරිබාහිරි පුද්ගලයකු සමඟ නොගැටෙන ආකාරයට තරු පංතියේ හෝටල් ආශ්‍රය කරමින් නේවාසික ගත කෙරුණේය. මෙම තරගාවලිය සංවිධානය වන්නේ එවැනි දැඩි සෞඛ්‍ය රැකවල් සහිතවය.

Comments