
- සජිත්ගෙන් දිලිප්ට මාළු ඇමක්...
- අය වැය අස්සේ පාර්ලිමේන්තුවේ උපන්දින සමරයි...
- රනිල් රුවන්ට තැන දෙයි...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉදිරිපත් කෙරුණු 75 වැනි අය වැය ලේඛනය ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු ඉදිරිපත් කළ ප්‍රථම අය වැය ලේඛනයයි. 2021 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ රටේ සංවර්ධනයට සහ ආයෝජනයට අදාළ යෝජනා රාශියක් ඇතුළත් කර ඇත.
මීට පෙර අවස්ථා දෙකකදීම අතුරු සම්මත ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒවාට ඡන්දය ලබාදීම විපක්ෂය මග හැරියේ ය. 2020 සඳහා ද ඉදිරිපත් වූ අය වැය විධිමත්ව ඉදිරිපත් වූයේ නැත. මේ සඳහා වූ අය වැය ලේඛනය ඉකුත් සතියේදී අගමැති මහින්ද විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂයන් මෙන් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ඉකුත් සතිය ඉතා වැදගත් සතියක් බවට පත්වුණි.
ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේ අනුරාධපුර ඓතිහාසික පුජා භූමියේදීය. ඒ ඉකුත් වසරේ නොවැම්බර් 18 වැනිදාය. ගෝඨාභය ජනාධිපති වී මේ මස 18 වැනිදාට වසරක කාලයක් ගතවී හමාරය. මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය යෙදී තිබුණේ ද නොවැම්බර් 18 වැනිදා ය. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ ද නොවැම්බර් 18 වැනිදාය. එලෙසම එදිනට අගමැති මහින්ද 75 වැනි වියට පා තැබුවේය. තම ජනාධිපති සොහොයුරාගේ අය වැය ලේඛනය අගමැති සොහොයුරා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 75 වැනි අය වැය ලේඛනය ලෙසිනි. මේ අයුරින් වැදගත් සිදුවීම් රැසක්ම ඉකුත් සතියේ දේශපාලන කරලිය තුළ සිදු වන්නේ ඓතිහාසික සතියක් ලෙසින් ය. විධිමත් ලෙස සකස් කළ 2021 අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ මැති ඇමැතිවරු බොහෝ දෙනකු සභා ගර්භය වෙත පැමිණ සිටියහ.
සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්, රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු සභා ගැබට පැමිණ සිටියේ නැත. පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මේ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවට නොකැඳවූයේ සෙසු අයගේ ද කැමැත්ත අනුවය.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුවට ගැළපෙන අය වැය යෝජනාවලියක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂයන් කීවේය. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක ආනයන අපනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයකට අවශ්‍ය යෝජනා මෙවර අය වැයට ඇතුළත් වන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ අය වැය පිළිබඳව විවිධ අදහස් දැක්වූහ.
අය වැය ඉදිරිපත් කළ 18 වැනිදා අගමැති මහින්ද දහවල් 1.00 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුවේ ඉදිරිපස පිහිටි තම දොර අසලදී ජොන්ස්ටන් සහ දිනේෂ් විසින් මහින්ද පිළිගනු ලැබීය. පසුව මහින්ද පැමිණියේ අගමැති වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති ඔහුගේ කාර්යාලය වෙතය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ වනවිටත් ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි. අය වැය යෝජනා ඇතුළත් රහස් ලේඛන අගමැතිවරයා අත විය.
මෙහිදී ලේකම්වරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි. පසුව ඒ අසලට පැමිණි මැති ඇමැතිවරු අතර කතාබහක් ද සිදුවිය.
“සර් අද ඓතිහාසික දවසක් ගෝඨාභය මහතා ජනාධිපති වෙලා අදට අවුරුද්දයි” ජොන්ස්ටන් ඇමැතිවරයා කීවේය.
“ඇයි අද තවත් විශේෂ දිනයක්. අගමැතිවරයාගේ උපන් දිනය හෙට. අගමැතිවරයා උපන් දිනය සමරන්නේ ලංකාවේ නිදහසෙන් පස්සේ ඉදිරිපත් කෙරෙන 75 වැනි අය වැය ඉදිරිපත් කරමින්” ලොහාන් රත්වත්තේ කීවේය.
“හිටපු මුදල් ඇමැති රොනී ද මෙල් මහත්මයා අය වැය 11 ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් පසුව අද අගමැතිතුමා ඉදිරිපත් කරන්නේ 11 වැනි අය වැය. මුදල් ඇමැතිවරයකු වශයෙන් ඒ අනුව රොනී ද මෙල් මහතාගේ වාර්තාව අද අපේ අගමැතිතුමා සම කරනවා. එහි සිටි ලේකම්වරයකු සිනාසෙමින් කීවේය.
මේ අතර පාර්ලිමේන්තු කමිටු කාමර 01 හි විශේෂ සිද්ධියක් සිදුවෙමින් පැවතිණි. එහි වූ මේසයක් මත කේක් තුනක් තබා තිබුණි. අගමැතිවරයා අය වැය කතාවෙන් පසු කෙළින්ම පැමිණියේ මේ කාමරය වෙතය. එදින සිය ජන්ම දිනය සමරන සී. දොළවත්ත, වීරසුමන වීරසිංහ සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරු තිදෙනාගේම උපන් දින සැමරීමට ඇමැති ජොන්ස්ටන් මෙහි උපන්දින කේක් ලෑස්ති කර තිබුණි.
මන්ත්‍රීවරුන් තිදෙනාම කේක් කපන විට අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ඔවුන්ට සුබ පැතූහ. මීට පෙර උදෑසනම ජංගම දුරකතනවලට ඇමතූ මහින්ද මේ තිදෙනාටම සුබ පැතුම් එක්කර තිබුණි. කේක් බෙදීම ජොන්ස්ටන් විසින් සිදු කරනු ලැබීය.
20 වැනි සංශෝධනයට ආණ්ඩුවට සහය දක්වමින් එක්වූ අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාට අගමැති මහින්ද කේක් කෑල්ලක් කැව්වේය. එහිදී ඔහු මහින්ද දෙස බලමින් මෙසේ කීවේය.
“මං අවුරුදු 05ක් යූ.එන්.පී. ආණ්ඩුවේ හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒ අවුරුදු 05ටම කිසිම නායකයෙක් මට සුබ පැතුවේ නැහැ. සර් විතරයි මට උපන් දිනයට සුබ පැතුවේ. ඒ සමඟම ඉතා හැඟීම්බරව ඔහු දෙස බැලූ මහින්ද ඔහුගේ ඔළුව අත ගා පිටට තට්ටුවක් දැමුවේය.
“අගමැතිවරයා දොළවත්තට කේක් කවන විට මෙසේ කීවේය.
“ජොනී දැන් මනාප ප්‍රශ්නයක් නැහැ නේ. විමල්, දිනේෂ් ඇවිත් දැන් සුබ පතන්න යැයි සිනාසෙමින් කීවේය.
“අද බැසිල් ඇමැතිතුමාගේ උපන් දිනය” විමල් සිනාසෙමින් කීවේය.
“ආ ඒක තමයි මට කොහොමද අමතක වුණේ කියලා මම මේ කල්පනා කළේ. මහින්ද සිනාසෙමින් කීවේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත්ව වසරක් ගත වීම නිමිත්තෙන් රටට සහ ජාතියට සෙත් පතා රතන සූත්‍රය දින 24 ක් සජ්ඣායනය කිරීම ආරම්භ වූයේ ඉකුත් බදාදාය.
ජනාධිපති ගෝඨාභය සිය ජනාධිපති ධුරයේ වැඩ බාරගත් නොවැම්බර් 18 වැනිදා සිහිපත් කරමින් මෙය ආරම්භ කෙරුණි. කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ දී රතන සූත්‍ර පිරිත් දේශනය ආරම්භ කෙරුණේය. පොලිසිය සහ යුද හමුදාව එක්ව එය සංවිධානය කර තිබුණි. පිරිත් දෙසුමට අයෝමා රාජපක්ෂයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය 18 වැනිදාට යෙදී තිබුණේය. අගමැති මහින්ද පාර්ලිමේන්තු ඒමට පෙර ආගමික වතාවත්වල නියැළුණේය. ඉතා සුළු පිරිසක් ආගමික වතාවත්වලට එක් වූයේ රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
අනතුරුව මහින්ද පාර්ලිමේන්තුව වෙත යන විටත් පාර්ලිමේන්තුවේ චාම් උපන්දින සාදයක් සූදානම් කර තිබුණි. එහි විශේෂත්වයක් වූයේ උපන් දින කේක් එක නෙළුම් කුලුන ආකාරයට නිර්මාණය කර තිබීමය. කථානායක මහින්ද යාපා සහ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ඊට එක්වූ අතර එහිදී මහින්ද කිහිප දෙනෙකුටම කේක් කෑල්ලක් කැවීමට වගබලා ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන කිහිපයකටම අය වැය ලේඛන පරාජයට පත්වීම කැපී පෙනෙන සිද්ධියකි. ඊට හේතු වී තිබුණේ එම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර තිබෙන විරසකය නිසාවෙනි.
මන්ත්‍රීවරුන් එකම පක්ෂයේ වුව ද ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ගැටලු හේතුවෙන් නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුන් අතර ගැටුම් හටගෙන ඇති අතර, බොහෝ ගැටුම් මේ වනවිට පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට මෙන් ම මැති ඇමැතිවරුන්ට වාර්තා කර ඇති බව ද සඳහන් ය.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවෙත් අම්පාර නගර සභාවෙත් අය වැය ලේඛන පරාජයට පත්වී තිබේ. ජාඇල නගර සභාවේ සභාපතිවරයාට එරෙහිව එහි පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරයාට පැමිණිලි කර ඇත.
එහි ලේකම්වරයකු ස්ථාන මාරු කර යැවීමට විරුද්ධව මෙම පැමිණිල්ල කර තිබේ. මේ වනවිට ජාඇල නගර සභාවේ ලේකම්වරයා මාරු කර තිබේ. සභාවේ බොහෝ පිරිසකගේ විරෝධතා මැද මෙම ලේකම්වරයා මාරු කිරීම පිළිබඳව මේ වනවිට පක්ෂ මූලස්ථානයට ද තොරතුරු ලැබී තිබේ. මෙලෙස මේ පළාත් පාලන ආයතනවල අය වැය ලේඛන පරාජය කිරීමට සැලසුම් කර ඇති බවට පක්ෂ මූලස්ථානයට කල් තියා දැන ගන්නට ලැබුණේය. ඒ අනුව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පළාත් පාලන නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ අය වැය ලේඛන පරාජය කිරීමට කටයුතු නොකරන ලෙසය.
සාමාජිකත්වය අකමැති සභාපතිවරුන් හෝ නගරාධිපතිවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය දැනුම්වත් කරන්නැයි ද පක්ෂයේ මහ ලේකම්වරයා දන්වා තිබුණේය. ඒත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කළේ පක්ෂයේ පොදු මතයට එරෙහිව ක්‍රියාමාර්ග ගත් පළාත් පාලන නියෝජිතයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර ජාතික සමගි ජනබලවේගය ඉකුත් සතියේ තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබීය. එහිදී වඩාත්ම වැදගත් තීන්දුවක් වූයේ එම පක්ෂයේ ලේකම්වරියක් වූ ඩයනා ගමගේ ඉන් ඉවත් කිරීමයි.
20 වැනි සංශෝධනයට පක්ෂව රජයට සහය ලබාදෙමින් ක්‍රියා කිරීම නිසා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණ කළාය. ඊට අමතරව පක්ෂය තීන්දු කර ඇත්තේ ඇගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කිරීමටය.
ඇගේ මන්ත්‍රී ධුරය සම්බන්ධව ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට පක්ෂය සූදානම් වන බව ද කියයි.
මීට අමතරව 20 ට සහය ලබා දුන් විපක්ෂයේ සෙසු පක්ෂවල සාමාජිකයන් පිළිබඳව එම පක්ෂවල නායකයන් සමඟ සමගි ජනබලවේගය සාකච්ඡා ආරම්භ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ කොරෝනා සම්බන්ධයෙන් මහජන ගැටලු ලබාගැනීම සඳහා වන ඇමැතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුක්ගැනවිලිවලට සවන් දීමටය.
ඔහු විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙන විට විශේෂ අමුත්තකු සජිත් හමුවීමට පැමිණ සිටියේය. ඒ ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරියයි. සජිත් විසින් ඔහුට කළ විශේෂ ආරාධනාවකට අනුව එහි පැමිණි ක්‍රිෂ්මාල් සජිත් සමඟ පැයක පමණ කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත විය. සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩලය සමඟ එක්වන ලෙස මෙහිදී සජිත් විසින් ක්‍රිෂ්මාල්ට ආරාධනා කළේය. මෙම සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද එක් විය.
ඒ හමුවෙන් පසුව මොවුන් තිදෙනා දුරකතන ඇමැතුම් මධ්‍යස්ථානය වෙත පැමිණියේය. ඒ මොහොත වනවිටත් ඇමැතුම් මධ්‍යස්ථානය කාර්ය බහුල වූ අතර දස දෙසින් ඇමැතුම් සිය ගණනක් ලැබෙමින් පැවැතුණේය.
විපක්ෂ නායකවරයා සහ ජනතා නියෝජිතයන් ජනතා ගැටලුවලට සවන්දීමට සූදානමින් සිටින බවට ජනතාවට තොරතුරු ලැබීමත් සමඟ මෙලෙස ඇමතුම් ගලා ආවේය.
සජිත්, හරීන්, මරික්කාර්, මනුෂ, මුජිබර් ඇතුළු කණ්ඩායමක් මෙහිදී ජනතා ගැටලුවලට සවන් දෙමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කළේය. මෙම ගැටලු සියල්ල සටහන් කර ගැනීමට සජිත් මෙන් ම සෙසු මන්ත්‍රීවරු ද ක්‍රියා කරනු ලැබීය.
“මම මේ දාපු සටහන්වල ඔරිජිනල් එක කෝල් සෙන්ටර් එකේ තියන්න. පොටෝ කොපියක් ගහලා එකක් මගේ අතට දෙන්න. මම දැන් පාර්ලිමේන්තුවට යන අතරවාරයේදී ඔය ගැටලු පිළිබඳව කතා කරලා මට දෙන්න පුළුවන්. උපරිම විසඳුම ලබාදෙන්න කටයුතු කරනවා. සජිත් මෙහිදී කීවේය.
“පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තිබෙනවා. ඒකට මම යන්නම ඕන. නැතිනම් මම අද දවසේම මෙහි සිටිනවා. ජනතාවගේ ගැටලුවලට සවන් දෙනවා. කමක් නැහැ මම සෑම වෙලාවකම මෙතනට පැමිණිලා ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා.”
“මෙතැන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද” සජිත් හරීන්ගෙන් ඇසුවේය.
“හැම දිනකම අපි මෙතැන වැඩ දිනපතාම මන්ත්‍රීවරයෙක් ඇවිත් ජනතාවගේ ගැටලුවලට සවන් දෙනවා. ඒ වගේම අපි මෙතැන ප්‍රශ්න එකතු කරන ක්‍රම වේදයක් හදලා තියෙනවා. ඒවා අදාළ අංශ වෙත යොමු කරලා විසඳුම් ලබාදෙන්න කියලා බල කරනවා.”
“මේ ක්‍රියාවලිය ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකට වඩා විශේෂ වෙන්නේ විපක්ෂය දැන් ජනතාවගේ දුක්ගන්නාරාල බවට පත්වෙලා තියෙන එක. විපක්ෂය විදියට මේ වගේ නිර්මාණාත්මක වැඩ කරන්න ඕන” සජිත් සිය ගෝලයන්ට කීවේය.
“අපේ පක්ෂයේ හැකියාව දක්ෂතාව තිබෙන අයට ඕනෑ තරම් ඉඩ තිබෙනවා. විශේෂ වරප්‍රසාද තිබෙන ලබාදෙන කිසිම කෙනෙක් මේ පක්ෂය තුළ නැහැ” සජිත් තරුණ මන්ත්‍රී කණ්ඩායම දිරි ගන්වමින් කීවේය. හරින් ඇතුළු කණ්ඩායමට ඔහු මෙහිදී තම ස්තුතිය ද එක් කරමින් ඔවුන්ට ශක්තියක් ලබා දුන්නේය.
මේ අතර විපක්ෂ නායකවරයාගේ ලේකම් ධුරයට නීතිඥ රවි ජයවර්ධන පත් කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියකු වන ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය, වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති ධුරය ඇතුළු තවත් තනතුරු රැසක් හෙබවූ පුද්ගලයෙකි. සිවිල් සංවිධාන ක්‍රියාකාරියකු වන ඔහු මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සාධාරණ සමාජයක් බිහිකිරීමට මුල් වූ අයෙකි.
“අපගේ ලේකම්වරයා ඉතා හොඳ දක්ෂයෙක්. ඔහු අපිට අමුත්තෙක් නොවෙයි” රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
“සිරිකොතට ගල් ගැහුවා කියලා රවීව හිරෙත් දැම්මා. රවි එදා ඉඳලා ම සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින, ජනතා කැමැත්ත වෙනුවෙන් සටන් කරන සජිත් වෙනුවෙන් පෙනී සිටි අයෙක්” මෙහිදී රාජිත කීවේය.
“අපේ නායකතුමා සුදුස්සාට සුදුසු තැන දෙනවා. ඒ වගේම කළගුණ සලකනවා.” තුෂාර ඉඳුනිල් සජිත් දෙස බලමින් කීවේය.
කොරෝනා තත්ත්වය සමඟ ධීවරයන්ට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබුණේය. ධීවරයන් වෙනුවෙන් පෙනී සිටීමට මෙහිදී දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කටයුතු කළේය.
මාළුවලින් කොරෝනා බෝ වෙනවා කියලා සමහරු කිව්වට එහෙම වෙන්නේ නෑ. මම අමු මාළුවෙක් කාලා පෙන්වන්නම්” දිලිප් තමන් ගෙන ආ අමු මාළුවකුගෙන් කොටසක් කෑවේය.
මෙය සමාජ මාධ්‍යයට නිකුත් වූ විට ඇතැමුන් ඒ ගැන විවිධ විවේචන එල්ල කර තිබුණි. සමහරු පක්ෂ නායකයාගෙන් දිලිප්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව විමසිලිමත් විය.
“මේ වේලාවේ ධීවර ප්‍රජාව අසරණවෙලා. ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැහැ. ධීවර ජනතාව වෙනුවෙන් ඔබ ලොකු දෙයක් කළේ. ඔවුන් වෙනුවෙන් ඔබ අවංකව අව්‍යාජව පෙනී සිටියා.” දිලිප් අගයමින් සජිත් කීවේය.
කොරෝනා ව්‍යසනය හමුවේ බස්නාහිර පළාතේ පිටවීමේ තහනම ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු කණ්ඩායම යළිත් සිරිකොතට රැස්වූයේ ඉකුත් අඟහරුවාදාය. සති අන්තයේ මහනුවර සහ අනුරාධපුරයට ගොස් සංවිධායකයන් හමු විය යුතු බවට තීරණය වූ අතර පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ මූලිකත්වයෙන් එම කටයුතු පැවැත්වීමට ද සැලසුම් කෙරිණි.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැවැත්වීමට යොදා තිබූ සාකච්ඡා දහවල් දක්වා කල් තැබීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබුණේ. එදින ඔහුට විවාහ මංගල්‍යයකට සහභාගි වීමට තිබූ බැවිනි. ඒ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කළමනාකාර චරිත් ජයරත්නගේ විවාහ මංගල්‍ය උත්සවයටය. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදීය. මෙහි මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂය. එහිදී මුණ ගැසුණු මේ දෙදෙනා දීර්ඝ වේලාවක් සුහද කතාබහක ද නියැළුණේය. ඉන් නික්මුණු රනිල් පස්වන පටුමගේ පිහිටි නිවස වෙත පැමිණියේය.
ඒ වනවිටත් එහි රංගේ, සංදීත්, රුවන්, වජිර ඇතුළු පිරිසක් පැමිණ සිටි අතර රනිල් ඔවුන් සමඟ කෙළින්ම කතාබහට බැස්සේය.
“අය වැය නිකම්ම නිකම් සංඛ්‍යා ලේඛන විතරයි. ජනතාවට, රටට, ආර්ථිකයට දැනෙන කිසිම යෝජනාවක් මේකේ නැහැ” නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
“සංඛ්‍යා ලේඛන දාලා තිබුණාට ඒවා බොහොමයක් වැරදියි. ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගෙන තිබෙන බව මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබුණා. නමුත් අය වැය ලේඛනයේ ආර්ථික වර්ධනයක් තිබෙන බව සංඛ්‍යා ලේඛන සමඟ සඳහන් වෙනවා. මෙහෙම කළාම උද්ධමනය ඉහළ යනවා. බඩු මිල වැඩි වෙනවා. බදු සහන දුන්නට ඒවා ගන්න ජනතාවගේ අතේ මුදල් තියෙන්න ඕනෑ. ජනතාව අතට මුදල් එන වැඩපිළිවෙළක් මේ අය වැයෙන් ඉදිරිපත් කරලා නැහැ” නායක රනිල් දීර්ඝ වශයෙන් විස්තර කළේය.
“අය වැය ගැන පක්ෂයක් හැටියට අපගේ ස්ථාවරය කියන්න වෙනවා” සංදීත් සමරසිංහ ප්‍රශ්නයක් යොමු කරමින් කීවේය.
“මම හිතන්නේ නියෝජ්‍ය නායකයා හැටියට රුවන් පළමුව මේ ගැන කතා කළොත් හොඳයි. ඊට පස්සේ අපි සිකුරාදා, ඉරිදා වගේ යළි මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කතා කරමු” රනිල් කී පසු ඊට සූදානම් විය.
“ජනතාවට මෙතන බලාපොරොත්තුවක් දීලා නැහැ. රට කොතැනටද ගමන් කරන්නේ කියලා අපි තුනෙන් දෙක තියා බහුතරයක්වත් නැති ආණ්ඩුවක් තියාගෙන තමයි රුපියල් 10000 කින් පඩි වැඩි කරලා, ඉන්ධන මිල, බඩු මිල අඩු කළේ. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් වෙලත් මෙයාලට කිසි දෙයක් ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙලා තිබෙනවා. ජනතාව මේ ඇත්ත තේරුම් ගන්න ඕන. පවතින අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියා කිසිම සඳහනක් නැහැ” රුවන් එසේ කියාගෙන යද්දී සියල්ලන්ම එයට එකඟ වූහ.
“ආණ්ඩුව කියන අලුත්ම කාරණය 2015 කිසිම වසංගතයක් තිබුණේ නැති නිසා සහන දෙන්න පුළුවන් වුණා. එයාලට මතක නැහැ අපි ස්වාභාවික විපත් කොපමණ ප්‍රමාණයකට මුහුණ දුන්නාද කියන එක. ඒ සියල්ල තියාගෙන තමයි අපි ජනතාවට සහන ලබාදුන්නේ. ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කළේ” යැයි රංගේ බණ්ඩාර පැවසීමත් සමඟ මේ බැව් ජනතාවට දැනුම් දීමට එහි සිටි සියලු දෙනා එකඟ විය.