
පසුගියදා ලන්ඩන් නගරයේ කොයිඩොන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තිබේ. මෙහි අසතුටුදායක සිදුවීම වී ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ සැකකරු ලෙස ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට පත්ව තිබීමය.
මියගොස් ඇති පොලිස් නිලධාරියා මාටියු රටන නම් වූ නවසීලන්ත ජාතිකයෙකි. වයස අවුරුදු විස්සේදී පමණ ලන්ඩනයට සංක්‍රමණය වී ඇති ඔහු කාගේත් සිත් දිනා ගනිමින් ජීවත් වූ පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලා තිබේ. මියයන විට වයස අවුරුදු 54ක් වූ මේ පුද්ගලයා පොලිස් සේවයට අමතරව ක්‍රීඩා සමාජ පාපන්දු පුහුණුකරුවකු ලෙසින්ද කටයුතු කර තිබේ. කොයිඩොන් ප්‍රදේශවාසීන් දැඩි සේ කනගාටුවට පත්ව ඇත්තේ මෙවැනි පුද්ගලයකු මෙලෙස මරා දැමීම සම්බන්ධයෙනි.
මේ පොලිස් නිලධාරියා මරා දැමීම සම්බන්ධව චෝදනා ලබා ඇත්තේ ලුයිස් ද සොයිසා නම් වන 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට සංක්‍රමණය වූ පවුලක සාමාජිකයකු ලෙස හඳුනාගෙන තිබේ. මේ මරණය සම්බන්ධව දකුණු ලන්ඩනයේ ජනතාව දැඩි අප්‍රසාදය පළ කරන බැවින් මේ වන විට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් දෝශදර්ශනයට ලක්වෙමින් පවතින බවද වාර්තා වේ.
මේ සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය සිකුරාදා එරට වේලාවෙන් රාත්‍රී 2.50ට පමණය. ලුයිස් ද සිල්වා නම් වූ මේ ශ්‍රී ලාංකික තරුණයා සහ කණ්ඩායම පිස්තෝලයක් ද සොරාගෙන යමින් සිටින බව කොයිඩොන් පොලීසියට දැනගන්නට ලැබී තිබේ. එහිදී මේ තරුණයා සහ ඔහු සමඟ සිටි සෙසු කණ්ඩායම ලුහු බැඳ ගිය පොලීසිය මේ තරුණයා අල්ලාගෙන ඔහුට මාංචු යොදා තිබේ. මේ 23 හැවිරිදි තරුණයා තම දෑත්වල මාංචු යොදා තිබියදීම අතේ වූ පිස්තෝලයෙන් උණ්ඩ පහක් ඍජුවම පොලිස් නිලධාරී මාටියුගේ හරීරයට එල්ල කර තිබේ. එහිදී ලුයිස් ද සිල්වා තරුණයාටද තුවාල සිදුවී ඇති අතර ඔහු ද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වුවද හෘදය ආසන්නයේ ඇතිවූ තුවාල හේතුවෙන් පොලිස් නිලධාරියා මරණයට පත්වූ අතර මේ වන විට ලුයිස් ද සොයිසා මිනීමරුම් චෝදනා ලබා සිටී.
ලුයිස් ද සොයිසා නම් වන මේ තරුණයා ලන්ඩන් නරගයේ පාසලකින් අධ්‍යාපනය ලබා ඇති අතර එහිදී ඔහු ඉගෙනීමෙහි ඉතා විශිෂ්ට දක්ෂතා දක්වා ඇති බව වාර්තා වේ. ඔහු කුඩා කාලයේදී ගණිතයට සහ විද්‍යාවට විශිෂ්ට දස්කම් පෙන්වා ඇති බවත්, යම් දිනක ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීමට වරම් ලබා ගනු ඇති බවත් ඔහුගේ පාසල් මිතුරන් සඳහන් කර තිබේ. එහෙත් ඔහු ඒ වෙනුවට මත්ද්‍රව්‍ය සහ කල්ලි, කණ්ඩායම් ඇසුරට පෙලඹී තිබේ.
ඔහුගේ මව එලිසබත් නම් කාන්තාවක් වන අතර, පියා ‘චන්න‘ නම් වන ශ්‍රී ලාංකිකයෙකි. ඔහු යෝග අභ්‍යාස ගුරුවරයකු ලෙස කටයුතු කළ බව වාර්තා වී තිබේ. කෙසේ වුවද පොලිස් නිලධාරියකු මරා දැමීම සම්බන්ධව ඍජුව චෝදනා එල්ල වන බැවින් ඔහුගේ අනාගතය ඉතාම අවිනිශ්චිත වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. බීබීසී මාධ්‍ය මේ ඝාතනයට අදාළ පුවත වාර්තා කරමින් දක්වා තිබුණේ මෙලෙස මිය ගියේ පසුගිය මාස දොළහක කාලයේදී මෙවැනි සිදුවීම්වලින් මියගිය සය වැනි පොලිස් නිලධාරියා බවයි. කල්ලි, කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් තම ජීවිත අනතුරේ හෙළන බවත්, ඔවුන් සේවය වෙනුවෙන් කැපවන බවත් දකුණු ලන්ඩනයේ මෙට්රෝ පොලිස් නිලධාරීන් මේ සිදුවීම හුවා දක්වමින් පෙන්වා දී තිබේ.
මේ සිදුවීමට අදාළ සාක්ෂි සොයමින් පොලිස් කණ්ඩායම් මේ වන විටත් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති. එමෙන්ම ලුයිස් සමඟ සිටි බවට සැකපිට තවත් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය මාටියු රටන පොලිස් නිලධාරියා වෙනුවෙන් බොහෝ පිරිසක් ශෝක වූ අතර ඔහුගෙන් පුහුණුව ලැබූ ක්‍රීඩා කණ්ඩායම්ද විශේෂ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.