සේතු සමුද්‍රම් යළි ඇරඹීමට මෝදිට යෝජනා | Page 2 | සිළුමිණ

සේතු සමුද්‍රම් යළි ඇරඹීමට මෝදිට යෝජනා

ලාපයේ ප්‍රබලයා වීමට චීනය සමඟ තියුණු සටනක නිරතවී සිටින ඉන්දියාව චීනයට එරෙහි නවතම වෙළෙඳ සටනක් දියත් කිරීමට පැරණි ව්‍යාපෘතියක් යළි කැඳවීමට සූදානම් වෙමින් සිටී. ඒ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා වැටී ඇති පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉදි කිරීමට යෝජිත සේතු සමුද්‍රම් ව්‍යපෘතියයි.

පසුගියදා තමිල්නාඩුවේ ද්‍රව්ඩ මුන්නේත්‍ර කළහම් පක්ෂයේ වත්මන් නායකයා වන බාලු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ වහාම සේතු සමුද්‍රම් නෞකා මාර්ගය ඉදි කිරීමට කටයුතු කළ යුතු බව බවයි. ඔහු මේ ව්‍යපෘතිය ආරම්භ කිරීමට හේතු ලෙස දක්වා තිබුණේ මේ වන විට චීනය ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීමයි. මේ නෞකා මාර්ගය විවර කර ගැනීමෙන් ඉන්දියාවට අති විශාල ආදායමක් උපයා ගත හැකි බව ඩීඑම්කේ පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ. මේ ව්‍යපෘතිය 2024ට පෙර, එනම් මෝදි අග්‍රාමාත්‍යවරයාගේ දෙවැනි ධූර කාලය අවසන් වීමට පෙර සම්පූර්ණ කළ යුතු බවද ඩීඑම්කේ පක්ෂ නායකයාගේ අදහස වී තිබේ.

ඔහු තවදුරටත් සිය ලිපියෙන් දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදි සිය ධූර කාල දෙක සඳහා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශවලදී සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පණගන්වන බව සඳහන් කර ඇති බවයි.

ඩීඑම්කේ නායක බාලුගේ මේ ලිපිය මෝදි අග්‍රාමාත්‍යවරයාට එක්වරම බැහැර කිරීමේ හැකියාවක් නැති වන්නේ තවත් වසරක කාලයක් තුළ තමිල්නාඩුවේ මහමැතිවරණය පැවැත්වීමට නියමිත බැවිනි. එහිදී ප්‍රාන්තයේ බලය ලබා ගැනීමට බාලු වැනි ප්‍රාන්ත දේශපාලන ප්‍රබලයන්ගේ සහය ලබා ගැනීමට අගමැතිවරයාට සිදුවනු නිසැකය. එමෙන්ම චීනය මේ වන විට බූවල්ලකු සේ කලාපය පුරා ස්වකීය අඬුපඬු දිගු කරමින් සිටීම ඉන්දියාවට කිසිසේත් හිතකර වන්නේ නැත. එබැවින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට වෙනුවෙන් ආයෝජනය කළ චීනයට එකටඑක කිරීමක් ලෙස සේතු සමුද්‍රම් ගොඩනැංවීම කෙරෙහි අග්‍රමාත්‍යවරයාගේ අවධානය යොමු වනු නිසැකය.

එහෙත් ගැටලුව වන්නේ දශක කිහිපයක් පුරා කිසිදු අග්‍රාමාත්‍යවරයකුට පණ ගැන්විය නොහැකි වූ, බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වූ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට පණ දීමට මෝදිට හැකියාව ලැබේද යන්නයි.

සේතු සමුද්‍රම් යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු නොගැඹුරු මුහුදු තීරයට ඉන්දියාව ලබා දී ඇති නමයි. මේ මුහුදු තීරය පාරිසරික සහ ජෛව විවිධත්වය අතින් මුළු ලොවටම ඉතා වැදගත් කලාපයකි. විශේෂයෙන්ම සාගර ජීව විවිධත්වය අතින් මේ ප්‍රදේශය ඉතා පොහොසත් වන අතර මේ කලාපයට ආවේණික මසුන්ද රාශියකි. ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළාසන්න ප්‍රදේශයේ සිට ගලා යන මන්නාරම් දිය වැල ආශ්‍රිතව නම් කර ඇති මන්නාරම් සාගර ජීව ජාතික උද්‍යනය පිහිටා ඇත්තේද මේ අති සංවේදී සමුද්‍ර කලාපයේය.

සේතු සමුද්‍රම් මුහුදු තීරය නෞකා නාවික මාර්ගයක් බවට පත් කිරීමේ අදහස ඉන්දියාවට පහළ වූයේ මෑතකදී නොවේ. යුරෝපා ජාතිකයන් ලෝකය ගවේශනය කිරීම ඇරඹී ටික කලකින් ඔවුන් ආසියාවට පැමිණි තැන් සිට සේතු සමුද්‍රම් තීරය හරහා නාවික මාර්ගයක් ඇති කිරීමේ වැදගත්කම සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී බොහෝ දෙනා අදහස් කර සිටියේ සුවස් ඇළ සහ පැනමා ඇළ පරිද්දෙන් යුරෝපයේ සහ අරාබියේ සිට පැමිණෙන නෞකාවලට ශ්‍රී ලංකාව වටා යාත්‍රා කිරීමෙන් තොරව ඉන්දියාව, බංග්ලාදේශය පසුකර නැගෙනහිර සහ ගිනිකොන ආසියාවට ප්‍රවිශ්ඨ වීමේ මාර්ගයක් තනා ගැනීමයි. මේ සම්බන්ධව ආරම්භක යෝජනවාක් ඉදිරිපත් වන්නේ 1861 තරම් ඈත අතීතයේදීය. ඒ ඉන්දියාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙනි. ඔවුන්ගේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නෞකාවලට අඩු කාලයකින් යුරෝපයේ සිට නැගෙනහිර ආසියාවට පිවිසීම සඳහා මේ මාර්ගය සකස් කළ යුතු බවට 1861දී ‘ටවුන්ෂෙන්ඩ් යෝජනාව‘ නම් යෝජනාවක් මගින් ඉදිරිපත් විය. එතැන් සිට නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා දක්වා සේතු සමුද්‍රම් නෞකා මාර්ගය ඉදි කිරීම සම්බන්ධව ඉදිරිපත් වී ඇති යෝජනා කොතෙක්දැයි කිව නොහැකිය. 2010 වසරේදී මේ යෝජනාව ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් වූ අතර එවකට අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂයේ මන්මෝහන් සිං සේතු සමුද්‍රම් ක්‍රියාවට නැංවීමේ ප්‍රභල අධිශ්ඨානයෙන් ක්‍රියා කළේය. එතැන් සිට ඉන්දියාවේ අගමැති ධූරය සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටි සෑම පුද්ගලයෙක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශයට සේතු සමුද්‍රම් පණ ගැන්වීමේ යෝජනාව එක් කර සිටි නමුදු එය මේ දක්වා යෝජනාවක් පමණක්ම වී තිබේ.

මෙතරම් වැදගත් යැයි පවසන ව්‍යපෘතියක් යෝජනාවකට පමණක් සීමා වීමේ හේතුව කුමක්දැයි විමසා සිටින විට පෙනී යන කරුණු කිහිපයකි. ඒ අතරින් පෙරමුණේ පවතින්නේ පාරිසරික සාධකයයි.

2010 වසරේදී අග්‍ර­ාමාත්‍ය මන්මෝහන් සිං විසින් සේතු සමුද්‍රම් නෞකා මාර්ගය ඉඳි කිරීම සඳහා වන පසුබිම පිරික්සා වාර්තාවක් ලබා දීම සඳහා කමිටුවක් පත් කරන ලද අතර එම කමිටු වාර්තාවේ නිර්දේශය වූයේ සේතු සමුද්‍රම් ඉඳි කිරීම ඉන්දියාවට පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද අහිතකර බවය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් අතීතයේ පැවති ගොඩබිම් තීරුව වෙනුවට මේ වන විට පවතින්නේ වැලි පර තීරයකි. නෞකා මාර්ගය ඉඳි කිරීමට නම් මේ වැලිපර ඉවත් කළ යුතු වේ. එවිට සිදුවන පාරිසරික හානිය ගැන එම කමිටුවේ විශේෂ සැලකිල්ල යොමු වී තිබිණි. එමෙන්ම අති සංවේදී සමුද්‍ර කලාපයක් හරහා නෞකා ගමනාගමනය සිදුවීමෙන් එහි සමුද්‍ර දූෂණය සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත. අනික් අතට මේ ප්‍රදේශයේ වැලි පර හාරා මාර්ගය සකස් කළද ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත්තේ ටොන් 30,000ට අඩු බරින් යුත් නෞකාවලට පමණක් වනු ඇත. ඊට වඩා වැඩි බරින් යුත් නෞකාවලට පුරුදු ලෙස ශ්‍රී ලංකාව වටා යාත්‍රා කිරීමට සිදුවනු ඇත. 2010 වන විටත් ලෝකයේ අලුතින් නිෂ්පාදනය කෙරුණු නවීන නෞකා සියල්ලම පාහේ ටොන් 30,000ට වඩා බරින් වැඩි නෞකා වූ අතර ඇතැම් නෞකා ටොන් 60,000ක් සහ තවත් නෞකා ටොන් 1,20,000 බරින් යුතු නෞකා විය. ඒ අනුව අධික වියදමක් දරා, විශාල පාරිසරික හානියක්ද සිදු කරමින් සේතු සමුද්‍රම් නෞකා මාර්ගය සැකසුවද එමගින් බලාපොරොත්තු වන තරමේ ආදායමක් ලබා ගත නොහැකි වනු ඇතැයි කමිටුව මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයාට නිර්දේශ කර සිටියේය. එහෙත් සේතු සමුද්‍රම් ඉඳි කිරීම සම්බන්ධව දැඩි තීරණයක සිටි මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා කමිටු නිර්දේශ ඉවතලමින් නෞකා මාර්ගය සෑදීම ආරම්භ කිරීමට කටයුතු කළේය. එහෙත් ඒ ආරම්භය එහි පළමු පියවරෙන් කිසිදා ඉදිරියට නොගිය අතර, ඉන්පසු බලයට පැමිණි සෑම අග්‍රාමාත්‍යවරයකුම සේතු සමුද්‍රම් අරඹන බව පවසා සිටියහ.

නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍යවරයා අයත් වන්නේද එකී දෙවැනි අග්‍රමාත්‍යවරුන් අතරටය.

දැන් මේ වන විට ඔහුටද සේතු සමුද්‍රම් යළි ඇරඹීමට යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ. එමෙන්ම එය කලින්ම යෝජනාවක් ලෙස ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් වී තිබේ. ඒ සමඟම ඔහු ඉදිරියේ පාරිසරික වාර්තා සමඟ අධි සංවේදී පරිසර පද්ධයක් විනාශ කිරීම කෙරෙහි ඉදිරිපත් වූ ප්‍රබල විරෝධතා රැසක්ද තිබේ. ඒ අතරින් ඔහු කුමක් අතට ගනීදැයි බලාසිටීම වටින්නේය.

Comments