තෙල් නැවේ අනතුරෙන් මොරීෂස් දූපත් අවට පරිසරය විනාශයි | Page 2 | සිළුමිණ

තෙල් නැවේ අනතුරෙන් මොරීෂස් දූපත් අවට පරිසරය විනාශයි

සුගිය ජූලි මස අවසානයේදී මොරීෂස් දූපත් අසල, ඉන්දියන් සාගරයේදී අනතුරට ලක් වූ ජපාන නෞකාව මේ වන විට මහත් පරිසර විනාශයක් සිදුකරමින් තිබේ. ඒ එමගින් ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන සාගරය වෙත ගලා ඒමෙනි.

ජපානයට අයත් එම්වී වකාශියෝ නෞකාව ජූලි මස 25 වැනිදා සවස 4ට පමණ මොරිෂස් දූපත් අසල කොරල්පරයක ගැටු‍ණේ අති විශාල තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදීය. කොරල් පරයේ ගැටුණු සැණින් තෙල් මුහුදට ගලා යෑමක් සිදුවූයේ නැත. එබැවින් එය හුදෙක් නෞකා අනතුරක් පමණක් විය. නෞකාවට හානි සිදුවූ බැවින් එය කොරල්පරයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටියදී පසුගිය අගෝස්තු 6 වැනිදා නෞකාවෙන් තෙල් මුහුදට ගලා යෑම ඇරඹී ඇති බව සොයා ගැනීමට නෞකාවේ කාර්ය මණ්ඩලයට හැකිවිය.

එවිට වහාම ක්‍රියාත්මක වූ ඔවුන් නෞකාවේ පැවති බොරතෙල් සහ ඩීසල් ටොන් ගණනාවක් ඉන් ඉවතට ගැනීමට කටයුතු ආරම්භ කළහ. කනගාටුවට කරුණ වූයේ නෞකාව අනතුරට පත්වූ ස්ථානය ආසන්නයෙන් ඇරඹී මොරිෂස් දූපත් සතු තවත් වටිනාම පාරිසරික සම්පතක් වන බ්ලූ බේ මුහුදු උද්‍යානය විහිදී යන අතර එය සංචාරක කලාපයක් ලෙසින්ද ප්‍රචලිතය. මේ හේතුවෙන් නෞකාවෙන් මුහුදට වැටෙන තෙල් ඉවත් කර ගැනීමට මෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන්ද මොරීෂස් දූපත් හි බලධාරීහු ක්‍රියා කළහ. අමතරව ඉන්දියාවද අනතුර වූ ස්ථානයට ටොන් 28ක් පුරා තෙල් තට්ටු ඉවත් කිරීමේ උපකරණ සහ තෙල් සහිත මුහුදු වතුර ගලා ඒම වැළැක්වීමට යොදන බාධක ද එවීමට කටයුතු කළහ.

මෙලෙස අසල්වැසි රටවල සහයෙන් නෞකාවේ තිබූ තෙල් තොගයෙන් මෙට්‍රික් ටොන් 4000ක් පමණ ඉවත් කිරීමට නෞකාවේ කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණද ඒ වන විටත් තෙල් ටොන් 1000ක් පමණ මුහුදට ගලා ගොස් අවසන් බවද හෙළිවිය. විය යුතු පරිසර හානිය ඒ වන විටත් සිදුවී අවසන්ය. ඉතිහාසයේ විශාලතම පාරිසරික හානියට සහ ආර්ථිකමය අලාභයකට මුහුණ දීමට මොරීෂස් දූපත්වලට සිදුවූයේ එලෙසින්ය.

අධිකව රළු වූ මුහුද නෞකාවෙන් තෙල් ඉවත් කිරීමට දිගින් දිගටම බාධා පැමිණවූ අතර බොහෝ විට අඩි 16ක් උසට විහිදී ගිය රළ පහරවලට හසුවෙමින් කටයුතු කිරීමට කාර්ය මණ්ඩලවලට සිදුවිය.

එසේ වුවද ඒ අතරින් තෙල් ටොන් 841ක් මුහුදු ජලය තුළින් යළි එක්රැස් කර ගැනීමට කාර්ය මණ්ඩලවලට හැකියාව ලැබී තිබිණි. ඔවුන් රැස් කර ගත් ඝණ ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 400කට අධික විය.

පසුගිය අගෝස්තු 16 වැනිදා සිදුවීම තවතවත් බරපතළ කරමින් නෞකාව දෙකට කැඩී ගියේ තවත් ඝන මීටර් 150ක් නෞකාවේ ඉතිරිව තිබියදීය. නෞකාවේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ මේ තෙල් නෞකාවේ එන්ජින් කාමරය ආශ්‍රිතව පවතින බවයි. එමෙන්ම පරිසර හානිය අවම කර ගනු වස් නෞකාවේ කැබලි දෙකෙන් විශාලතම කොටස ටග් යාත්‍රා මගින් ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම ගිලී යන ලෙස ගැඹුරු මුහුදට දැමිමට කාර්ය මණ්ඩලය උත්සාහ කළද අයහපත් කාලගුණය හමුවේ එම උත්සාහය ද අසාර්ථක වෙමින් තිබේ.

සිදුවූ මේ තෙල් කාන්දුවෙන් බලවත්ම හානිය මොරීෂස් දූපත්වලට බව පැවසුවද සැබවින්ම එම හානිය මුළු මහත් පෘථිවියටම බව කිව යුතුය. මොරීෂස් බලධාරීන් පෙන්වා දෙන පරිදි අති සංවේදී කොරල්පර ආශ්‍රිත මුහුද තෙල්වලින් වැසී යෑම හේතුවෙන් එම කොරල්පරවලට දීර්ඝකාලීන හානි සිදුවීමට නියමිතය. එමෙන්ම ඔවුන් පවසන්නේ පරිසරයට සිදුවූ මේ හානිය යළි යථාවත් වීමට දශක ගණනාවක් සිදුවනු ඇති බවයි. ඇතැම් විට ඒ හානිය කිසිදා යථාවත් නොවනු ඇති බවද ඔවුන් අනුමාන කරයි.

Comments