පිපිරීම හේතුවෙන් ලෙබනනය කබලෙන් ලිපට | Page 2 | සිළුමිණ

පිපිරීම හේතුවෙන් ලෙබනනය කබලෙන් ලිපට

අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් පුපුරා යෑමන් පසුව මේ වන විට ලෙබනනය දේශපාලන සහ සමාජයීය ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී.

මේ වන විට එරට ජනතාව වීථි බසිමින් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ පවත්වමින් සිටින අතර පිපිරීමට සතියක් සම්පූර්ණ වන අවස්ථාවේදී ලෙබනන අගමැතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය. ඊට පෙර මැතිඇමතිවරුන් කිහිපදෙනෙක්ම ඉල්ලා අස්වූ අතර එලෙස ඉල්ලා අස්වූ ඇමතිවරුන් අතර ජනාමාධ්‍ය ඇමතිවරයා සහ පරිසර ඇමතිවරයාද සිටින බව අල්ජසීරා වෙබ් අඩිවිය සඳහන් කර තිබිණි.

පිපිරීමෙන් පසු ලෙබනන රජය දැඩි ජනතා දෝෂ දර්ශනයට ලක් වීම මෙලෙස ඉල්ලා අස්වීමට හේතුව ලෙස ප්‍රකාශ වී තිබේ. පසුගිය අගෝස්තු 4 වැනිදා බීරූට් වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750ක් හදිසියේ පුපුරා යෑමෙන් මුළු මහත් ලෙබනනයම දෙදරීමට ලක් විය. එම පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විටත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට ලෙබනන රජය අසමත්ව සිටින අතර, හමු වූ සිරුරු රාශියක් තවමත් හඳුනා ගැනීමට නොහැකිව පවතින බවද වාර්තා වේ. මේ සිදුවීම හේතුවෙන් එරට ජනතාව රජය කෙරෙහි දැඩි සේ විරෝධය පළ කිරීමට වූයේ රජය ප්‍රමාණවත් ආරක්ෂාවක් ජනතාවට සැපයීමට අපොහොසත් බවද පවසමිනි.

එම පිපිරීම කෙතරම් ප්‍රභල වීද යත් පිපිරීම සිදුවූ ස්ථානයේ මීටර් 43ක් ගැඹුරු වළක්ද ඇති වී තිබේ. එම ක්‍රේටරය වසා දමමින් මුහුදු ජලය රට ඇතුළට ගලා විත් තිබේ. මේ ඇමෝනියම් නයිට්රේට් රුසියානු ව්‍යාපාරිකයකුට අයත් බවත්, වරායේ ගුදමක් තුළ එම රසායන ද්‍රව්‍ය වසර හයක් ගබඩා කර තිබූ නමුත් එම ව්‍යාපාරිකයා ඒවා ඉවත් කර ගැනීමට කටයුතු නොකළ බවත් මේ වන විට වාර්තා වී තිබේ. වරාය බලධාරීන් විසින් එම රසායන ද්‍රව්‍ය එලෙස පැවතීමේ අනතුරුදායක බව වරින් වර ආණ්ඩුවට දැනුම් දුන්නද වගකිව යුත්තන් එම රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු නොකළ බවද මේ වන විට චෝදනා ලෙස ඉදිරිපත් වී තිබේ.

එමෙන්ම පිපිරීමේ සත්‍ය තොරතුරු වසන් කරන බවටද මහජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වුවද මහජනතාවගේ විරෝධය හමුවේ ඉල්ලා අස්වීමට ලෙබනන ආණ්ඩුවට හැකියාව ලැබීම පැසසිය යුතුය. ආසියානු රටක මේ සිදුවීම වූයේ නම් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය මෙයට වඩා හාත්පසින් වෙනස් වනු ඇත.

පිපිරීමෙන් දින තුනක සිට බීරූට් අගනුවරට රැස්වූ ලෙබනන ජනතාව ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ පවත්වන්නට වූ අතර, පොලීසිය සමඟ ගැටුම්ද ඇති කර ගත්හ. එහිදී එක් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වූ බවටද වාර්තා ලැබිණි. මහජනතාව ගල්මුල් ගසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වුවද මහජනතාව පවසන්නේ මෙතරම් විශාල විනාශයක් වන තුරු ආණ්ඩුව අකර්මන්‍යව සිටියේය යන්නයි.

මහා පිපිරීමෙන් පසු බීරූට් නගරයට විශාල හානි සිදුවී ඇති අතර ජන ජීවිතයද අඩාළ වී ඇති බව වාර්තා වේ. සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා තිබේ. පිපිරීම සිදුවූ ස්ථානයෙන් කිලෝමීටර් නවයකට ඈතින් පිහිටා තිබූ බීරූට් ගුවන් තොටුපොළටද හානි සිදුව තිබේ.

ලෙබනනයේ සිදුවූ මේ අනපේක්ෂිත, අපරීක්ෂාකරී සහ වළක්වාගැනීමට බොහෝ ඉඩකඩ තිබූ හදිසි පිපිරීම හේතුවෙන් එම රට කබලෙන් ලිපට වැටුණු බව පැවසිය හැකිය. පිපිරීම සිදු වන විට ලෙබනනය ආර්ථිකමය වශයෙන් පැවතියේ පණ අදින තත්ත්වයකය. ණය සහ පොලී ගෙවා ගත නොහැකිව දැඩි ආර්ථික අර්බුදයක් ඒ වන විටත් ලෙබනනය තුළ හටගෙන තිබිණි.

දැන් මේ පිපිරීම හේතුවෙන් ඩොලර් බිලියන ගණනක පාඩුවක් එරට ආර්ථිකයට සිදුවී ඇතැයි ගණනය කර තිබේ. පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ පිටරටින් ආනයනය කරන ධාන්‍ය ගබඩාව පිහිටා තිබූ අතර, එහි ලෙබනන ජනතාවට වසරක පමණ කාලයක් ආහාරයට ගත හැකි තරමේ ධාන්‍ය ගබඩා කර තිබූ බවද වාර්තා වේ. මේ වන විට එම ගබඩාව තිබූ ස්ථානයේ ඇත්තේ සුන්බුන් පමණි. ඒ අනුව ඉදිරියේදී ලෙබනන ජනතාවට දැඩි ආහාර හිඟයකටද මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

මේ අතර ලෙබනනයට සහය දැක්වීමක් ලෙස මානුෂීය ආධාර ලබා දීමට විදේශ රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී සිටිති. ප්‍රංශය මේ අතරින් මූලිකත්වය ගත් අතර, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසා සිටියේ ලෙබනනයට වහා ආධාර සැපයිය යුතු බවයි. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුද මැක්‍රෝන්ගේ අදහස වහා සනාථ කර තිබේ. ඔහු එසේ පවසන අතර වැඩිදුරටත් පවසා ඇත්තේ ලෙබනනය සහ ඊශ්‍රාෙයල් අතර ගැටුමක් ඇති කිරීමට හිස්බුල්ලා සංවිධානය සිතයි නම් එය හිතලුවක් පමණක් බවයි. මේ අතර යුරෝපා සංගමයද ලෙබනනයට ආධාර දිය යුතු බවට මත පළ කර තිබේ.

මේ සියල්ල අතර කොවිඩ් -19 වයිරසයද විශාල ලෙස ලෙබනනය තුළ පැතිරෙමින් තිබෙන බවද අමතක කළ යුතු නොවේ. මේ වන විට එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 300ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. එමෙන්ම කොවිඩ් වසංගතය ව්‍යප්තියට සහ පසුගියදා සිදුවූ පිපිරීමට පෙර සිටම ලෙබනනයේ රෝහල්වල ප්‍රභල ඖෂධ හිඟයක් දක්නට විය. එයට හේතුව වූයේ වසර කිහිපයක සිට ලෙබනනය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයයි.

වසංගතය සහ පිපිරීම හේතුවෙන් ඖෂධ හිඟය වඩාත් උග්‍ර වීමට නියමිත බව පැවසේ. ඒ හේතුවෙන් දැනට ලෙබනනයෙන් ලැබෙන වාර්තාවල ප්‍රකාශ වන්නේ පිපිරීම හේතුවෙන් මිය ගිය පිරිස තවම නිශ්චිතව පැවසිය නොහැකි වන්නේ ඉදිරියේදී රෝහල්ගතව සිටින තුවාළකරුවන්ගෙන් විශාල පිරිසක් ඖෂධ හිඟය හේතුවෙන් මිය යා හැකි බවයි.

දැනට පෙනෙනා ලක්ෂණ අනුව විදෙස් රටවල ආධාර මගින් ලෙබනනය අනාගතයේදී හිස ඔසවනු ඇත. එහෙත් බොහෝ දුරට ඒ සමඟ ලෙබනනයද යළි ගොඩඒමට නොහැකි ණය උගුලකද පැටලෙනු ඇත.

Comments