
අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්වා සොබ්බනෙ ධනං
ජිණණකොඤ්චා ව ඣායන්ති
ඛිණමච්ඡෙච පල්ලලෙ
ධම්මපදයේ ජරා වග්ගයේ එන මේ ගාථාවේ තේරුම මෙසේය.
යොවුන් වියැ කළ යුතු දෑ නිසිසේ නොකළහු මහලු වයසට පැමිණ පසු තැවෙත්. බඹසර නොවැස (පැවිද්දට සුදුසු වියෙහි මහත්වැ බඹසර නොහැසිර) යොවුන් වියෙහි දනය නොලැබ (සියලු සම්පත් ඉපැදවීමට හැකි තරුණ වියෙහි උපන් දනය රැක ගැනීම සඳහා ද සී සෑම් වෙළඳාම් කොට දනය නොසපයා) මසුන් නැති (දිය සිඳුණු) විලෙකැ (මඩපිට හිඳ තැවෙන) මහලු කොස් ලිහිණියන් මෙන් තැවෙත්. (දුබල බැවින් දිය හා මසුන් ඇති අන් විලකට යා නොහැකි නාකි කොස් ලිහිණියන් මෙන් මඩ පිට හිඳ තැවෙත්)
වෘද්ධ භාවයට පත්වෙමින් පැවතුණු නමුදු වැඩි වයස් නොපෙනුණත් අවුරුදු 62ක් ආයු වලඳා මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක ජීවිතය හැරදා ගියේ එළැඹ සිටි සිහි නුවණිනි. මධ්‍යම වයසින් මහලු වියට පා තබමින් සිටියද අතීතය ගැන ශෝක වීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහු ඉපැදුණේ ගම්පහදීය. ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළු වී සිංහල විෂයෙන් ප්‍රථම පන්ති සාමර්ථ්‍යය ලබා 1982 දී සිංහල අධ්‍යයන අංශ සහකාර කථිකාචාර්යවරයකු විය. ඉතා වෙහෙස මහන්සි වී ජපානයේ සුකුබා සරසවියෙන් ජපන් බස හදාළේය.
ජපානයේ තෝකායි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේය. ජපානයේ සුපතළ යමදා යෝජි සිනමාකරුවාගේ සිනමා කලා ශිල්පය මනුෂ්‍ය සමාජ සංස්කෘතියේ දර්ශන චිත්තා විග්‍රහ කළ නිබන්ධයකි, ඔහු විසින් සම්පාදනය කරන ලද්දේ.
සිළුමිණ පුවත්පතේ ලේඛකයකු හා පටාචාර වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ විමලනාත් දිසානායකගේ වැඩිමල් පුතණුවන් වූ ධම්මික සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තන්ත්‍රය මුලින් විශ්වාස කොට ශිෂය දේශපාලනයේ ද නිරත විය. දිනකර වැනි පුවත්පත්වලට ලිපි සැපයුවේය.
ජපන් නිපොන්මාරු නෞකාවෙන් ලෝ වටා සංචාරය කරන තරුණ වැඩසටහනට ඔහු සහභාගි වූයේ සහකාර කථිකාචාර්යවරයකුව ක්‍රියා කරන සමයේය. අද්‍යතන සිංහල සිනමාව පිළිබඳ විචාරාත්මක ග්‍රන්ථයක් ඔහු සම්පාදනය කළේ තරුණ අවදියේය.
පසුකලෙක දක්ෂණාංශික ප්‍රජාතන්ත්‍ර වාදය පිළිගෙන නූතනත්වය නවීකරණය ඔස්සේ ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා සශ්‍රීකත්වය වෙත යොමු කැරවීමේ සංවර්ධන ක්‍රියාවලියට ඔහු දායක වූයේය. එකල විපක්ෂ නායක, අගමැති වූ රනිල් වික්‍රමසිංහගේ ජනමාධ්‍ය උපදේශකවරයකු වූ ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රැඟුම් පාලක මණ්ඩලය, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේ සභාපති බවට පත්ව විවිධාංගිකරණය ඔස්සේ ලාංකේය ජනසන්නිවේදන ක්ෂේත්‍රයට නොයෙක් සේවා සැපයුවේය.
වර්ණ, රේඛා, තාල, නාද රිද්මය, හිස් අවකාශය හා කාලය පිළිබඳ බොහෝ දෑ කලාත්මකව, සෞන්දර්යාත්මක, සන්නිවේදනමය දෘෂ්ටි කෝණයෙන් කතා කළ ඔහු ශ්‍රී.ජ.පු. විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න සංවිධානය කළ නල මුදු සුවඳ සන්දර්ශනයේ පූරක වශයෙන් නවමු ශෛලියක් කළේය. එහි සාර්ථකත්වය අතිමහත් විය. ඒ ගැන දන්නා එවක උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා සහ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සභාපතිත්වයෙන් මෙහෙයවූ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවේ කුසලතා එළිදක්වන කවිතා වැඩසටහනේ අවසන් මහා තරගයේ පූරක වශයෙන් ක්‍රියා කිරිමට තෝරා ගත්තේ මහාචාර්ය ධම්මිකවය. ඒ සඳහා ඇඳුම් ද සැකසිණි. එහෙත් අදිසි දේශපාලන හස්තයන් දම්මිකට එම අවස්ථාව ලබා දුන්නේ නැත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උත්සවයේ තීරු ලිපි පිළිබඳ විනිශ්චය සෑම වසරකම ලබා දුන්නේ ධම්මික විසිනි. ශ්‍රී ලංකාදීප පුවත්පතට ලියූ පැණි වළලු තීරු ලිපිය ඉමහත් ජනාදරයට ලක් වූයේ පොදු ජන බසින් නවතාවකින් රසවත්ව අර්ථවත්ව කළ සමාජ සංස්කෘතික විවරණය හේතු කොටගෙනය. ධර්මරාජ විද්‍යාලය, පූජියාම ගිනිකන්ද, සකුරා මල්, ඉකෙබහා, ඔරිගම, ජපන් තේ පැන් සංග්‍රහය, සෙන් බුද්ධාගම, ගම්පහ ගෙදර අත්තම්මා, පූසා ආ ගිය තොරතුරු, තාත්තා අම්මා පිළිබඳ මතකය නැවුම් ආකල්පයකින් කියවා බලන්නට අපට අවස්ථාව උදා වූයේ ධම්මිකගේ ඕජෝගුණ බහුල රචනා ශෛලිය නිසාවෙනි.
ජාතික තරුණ සේවා සභාවේ පාලක මණ්ඩලවල කටයුතු කළ, සරසවි ප්‍රජාව හොඳින් ඇසුරු කළ ඔහු යෞවනයන්ගේ ගැටලු, ප්‍රශ්න අවබෝධ කරගෙන ඊට පිළියම් ලබා දීමට නොයෙක් අතින් ක්‍රියාත්මක විය. ඔවුන් දැනුවත් කළේය. ආචාර්ය සී.ද. ඇස් කුලතිලක මහතාගේ ගුවන් විදුලිය ජනශ්‍රැති පර්යේෂණයක ද දම්මික නිරත වූයේ එහි ඇති සමාජ සංස්කෘතික වටිනාකම ද වටහා ගනිමිනි.
මුල් කාලයේ සිංහල සාහිත්‍යයේ නූතන කෙටිකතා, නවකතා විෂයයන් ඉගැන්වූ ඔහු පසු කළෙක සන්නිවේදනය, ජනසන්නිවේදනය, ජනමාධ්‍යය, නව මාධ්‍යය, සමාජීය මාධ්‍ය ගැන මැනවින් සිසුන්ට තේරුම් කර දුන්නේ නව පර්යාලෝකයකිනි.
රමණීයත්ව සංකල්පය සපුරා අගය කළ ඔහු නිතර සතුටින් කරුණාවෙන් මෙතින් කල් ගෙවූ අතර අප රට ජපානය මෙන් දියුණු රටක් කිරීමේ බරපතළ සිහින දුටුවේය. වංචාව, දූෂණය පිටුදකින සිංහල බෞද්ධයකු වූ නමුත් අන්‍ය වාර්ගික, අන්‍ය ආගමික ජනයා කෙරෙහි කිසිදු වෙනසක් නැති ජගත් පුරවැසියකුගේ සාධනීය ලක්ෂණ ඔහු වෙතින් විද්‍යමාන විය. හොඳ හදවතක් ඇති ආදරය කරුණාව සැම වෙත පතුරුවා හළ ඔහු රසානන්දනීය අනුභූතීන් විඳගන්නට ඉතාමත් කැමති වූවෙකි. මිනිසත්කම ඉහළින් සැලකූ ධම්මික ගංගානාත් දිසානායක පරම වාසනා ගුණයුත් මහාචාර්යවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකි. හිත හොඳ මිත්‍රයෙකි.