
කොවිඩ් -19 ලෝකයේ බොහෝ දේ වෙනස් කළේය. ඒ අතරින් මැතිවරණවලට අයත් වන්නේ ප්‍රධාන ස්ථානයකි. වර්තමාන ලෝකයේ රටවල් බහුතරයක් ප්රජාතන්ත්රවාදී පාලන රාමුවක පවතින අතර ඒ හේතුවෙන්ම වසරේ සෑම මසකදීම ලොව කිනම් හෝ රටක ඡන්ද විමසීම් පැවැත්වෙනු දැක ගත හැකිය. සියවසකට වඩා වැඩි කාලයක් පුරා සාමාන්‍ය ලෙස පැවති මේ ලෝක මැතිවරණ සිතියම ප්‍රබල ලෙස වෙනස් කිරීමට කොවිඩ් වයිරසයට හැකියාව ලැබිණි.
පසුගිය මාර්තු මාසයේදී වයිරසයේ ව්‍යප්තිය ඇරඹීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් තම රටවල පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් දැමීමට කටයුතු කළහ. තවත් රටවල් කොවිඩ් තර්ජන අස්සේම මැතිවරණ පැවැත්වූ අතර තවත් රටවල් මේ වන විට මැතිවරණ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටිති.
Global Overview of Covid - 19 වෙබ් අඩවියට අනුව පසුගිය පෙබරවාරි 21 සිට ජූලි 26 දක්වා ලෝකයේ රටවල් රැසක් පැවැත්වීමට නියමිතව තිබූ ජාතික සහ ප්රදේශික මැතිවරණ රාශියක් සම්බන්ධව විවිධ තීරණ ගෙන තිබේ. ඒ අතරින් රටවල් 46ක් පැවැත්වීමට දින නියම කර තිබූ ජාතික සහ ප්‍රාන්ත මැතිවරණ කල්දැමීමට කටයුතු කළ අතර රටවල් 14ක් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කර තිබේ. ඒ අනුව කොවිඩ් ව්‍යප්තිය අතරතුර මැතිවරණ පැවැත්වූ රටවල් අතරින් රටවල් 10ක්ම ජාතික මැතිවරණ පැවැත්වීමට සමත් වී තිබේ. ඇතැම් ඒවා ජනමතවිචාරණ වේ.
පසුගිය පෙබරවාරි මාසය වන විට කොවිඩ් ලෝක ව්‍යප්තියක් දක්නට නොලැබුණු අතර චීනයේ පමණක් කොවිඩ් දරුණු ලෙස පැතිර යමින් තිබිණි. ඉරානය පෙබරවාරි 21වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වූ අතර තායිවානයේ අතුරු මැතිවණයද, ටෝගෝ හි ජනාධිපතිවරණයද, ස්ලෝවැකියාවේ මහමැතිවරණයද පැවැත්විය.
පසුගිය මාර්තු මාසය වන විට කොවිඩ් වයිරසය චීනයෙන් පිටතට පැමිණ ලොව පුරා ව්‍යප්තිය අරඹා තිබූ අතර ඉතාලිය ඉන් දරුණු ලෙස පහරකමින් ලෝකයටම අනතුරු අඟවමින් තිබිණි. එහෙත් ඒ අතරතුර වුවද ලෝකයේ රටවල් රැසක්ම තම රටවල මැතිවරණ ක්‍රියාදාමයන් කල් දැමීමට කටයුතු නොකරමින් ප්රජාතන්ත්රවාදයට ඉඩ ලබා දෙනු දැකගත හැකි විය. මාර්තු 29වැනිදා ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්තයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්විය. බංග්ලාදේශය මාර්තු 21වැනිදා ප්‍රාන්ත අතුරු මැතිවරණයක් පැවැත්වීය. මාර්තු 22 වැනිදා කැමරුන් හි මහමැතිවරණය පැවැත්වුණු අතර ඒ ආසන්නයේම කැනඩාවේ කවුන්සිල මැතිවරණයද පැවැත්විය.
ඉතාලියේ දරුණු ලෙස කොවිඩ් වසංගතය පැතිර යමින් තිබියදී අසල්වැසි ප්‍රංශය පළාත්බද මැතිවරණයේ පළමුවටය සාර්ථකව පැවැත්වීය. ජර්මනියද බවාරියාහි පළාත්බද මැතිවරණය සාර්ථකව පැවැත්වූ අතර එහි ප්රථමවටය මාර්තු 16 වැනිදාද, දෙවැනි වටය මාර්තු 29වැනිදාද පැවැත්වීමට ජර්මානු රජය සමත් විය. අප්‍රිකානු රටක් වන ගයනාව මහමැතිවරණය පැවැත්වීමට සමත් වූ අතර, මේ දක්වා කොවිඩ් වසංගතයේ දරුණු ප්‍රහාරයකට ලක් නොවූ ඊශ්රායෙලයද එරට ව්‍යවස්ථාදායක මැතිවරණය මාර්තු 2වැනිදා පැවැත්වීමට සමත් විය.
ජපානය යනු චීනය සමඟම වයිරස ප්‍රහාරයට මුහුණ දුන් රටකි. චීනයෙන් පිටත රෝගීන් වාර්තාවූ මුල් රටවල් අතරට ජපානයද අයත් වේ. එසේ වුවද ජපානය අප්‍රේල් මස පළාත්බද අතුරු මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදීය. එමෙන්ම ජපානය වයිරසය ඉතා සාර්ථකව පාලනය කිරීමටද සමත් විය. වරින්වර ජපානය තුළ වයිරසය හිස එසවූවද ඒ සෑම අවස්ථාවකදීම රෝග ව්‍යප්තිය මනාව පාලනය කර ගැනීමට ජපානයට හැකියාව ලැබිණි.
කොවිඩ් ව්‍යප්තිය අතරතුර ලෝකය පුරා පැවැත්වූ මැතිවරණ අතරින් වැඩිම කතාබහට ලක්වූයේ දකුණු කොරියාව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයයි. මේ මැතිවරණය වඩාත් කතාබහට ලක්වීමට තවත් එක් හේතුවක් වූයේ චීනයෙන් බැහැර වයිරසයේ ප්‍රථම දරුණු ප්‍රහාරයට ලක් වූ රටවල් තුන අතර දකුණු කොරියාවද සිටීමයි. එසේ වුවද මාර්තු අවසන් විමට ප්‍රථම වයිරසයේ ව්‍යප්තිය පාලනය කිරීමට දකුණු කොරියාවට හැකියාව ලැබුණු අතර ඒ ආසන්නයේම මැතිවරණය පැවැත්වීමටද දකුණු කොරියා රජය සමත් විය. වසංගතයක් අතරතුර මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන්නට ඉතාම නිවැරදි නිදර්ශනය දකුණු කොරියාව විසින් ලෝකයට සැපයූ බව පැවසිය යුතුය. ඔවුන් ඉතා සංයමයෙන් යුතුව මැතිවරණ කටයුතු කළ අතර ඡන්දය භාවිත කිරීමේදී ජනතාවගේ ආරක්ෂාවට අදාළ සෞඛ්‍ය නීති අකුරටම ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම පැවසිය යුතු වන්නේ දකුණු කොරියානු ජනතාවද මැතිවරණය පැවැත්වීමේදී අදාළ සෞඛ්‍ය නීතිරීති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමෙන් රජයට සහයෝගය දැක්වූ බවයි. මැතිවරණයෙන් පසු දකුණු කොරියාවේ වයිරසය ව්‍යප්තියේ කිසියම් වර්ධනයක් දැක ගත හැකි වුවද එයට මැතිවරණය පැවැත්වීමෙන් ඍජු බලපෑමක් නොවූ බව පැවසිය හැකි වන්නේ කොවිඩ් වයිරසය යනු වරින්වර ඉස්මතුවීම වළක්වාලිය නොහැකි තර්ජනාත්මක බවින් වැඩි වයිරසයක් වීම හේතුවෙනි. ඒ සඳහා චීනය හොඳම උදාහරණය වේ. කොතෙක් පාලනය කළද චීනයේ බීජිංහි වයිරසය දෙවැනි වරටද පැතිර ගිය බව අමතක කළ යුතු නැත.
මැයි මාසයෙන් පසුව ලෝකයේ රටවල් රැසක්ම ලොක්ඩවුන් ලිහිල් කළ අතර ඒ සමඟ මැතිවරණ පැවැත්වීමටද බොහෝ රටවල් කටයුතු යොදනු දැකගත හැකි විය. පසුගිය ජූනි 28වැනිදා ප්‍රංශය ස්වකීය පළාත්බද මැතිවරණයේ දෙවැනි වටය පැවැත්වූ අතර, අසල්වැසි පෝලන්තය එදිනම ජනාධිපතිවරණය පැවැත්වීය. ජූලි මාසය ආරම්භවීමත් සමඟ රුසියාව ජනමතවිචාරණයක් පැවැත්වීමට කටයුතු යෙදුවේ එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනතා කැමැත්ත දැනගැනීමේ අභිලාෂයෙනි.
ජූලි මස 5වැනි දින ක්රොඒශියාවද එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීය. පසුගිය ජූලි මස 10වැනි දින සිංගප්පූරුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයද විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිංගප්පූරුව මේ මැතිවරණය පවත්වන විට එරටේ කොවිඩ් ආසාදිතයන් 40,000 ඉක්මවා වාර්තා කර තිබිණි. එහෙත් මැතිවරණය කල් දැමීමට එරට රජය කටයතු නොකළ අතර මැතිවරණයෙන් පසුව මේ වන විට සිංගප්පූරුවෙන් ආසාදියතන් 50,000 ඉක්මවා වාර්තා වී තිබේ. පසුගිය ජූලි 12වැනිදා පෝලන්තය එරට ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වීමට කටයුතු යෙදීය.
මේ අතර ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සහ වැඩිම කොවිඩ් මරණ වාර්තා කරන අමෙරිකාවද ප්‍රාන්ත මට්ටමින් ජනාධිපතිවරණයේ මූලික වටයේ ඡන්ද විමසීම් පවත්වන බව අමතක කළ යුතු නොවේ. මේ වන විට වයිරසය සම්පූර්ණයෙන් මෙලොවින් තුරන් කළ නොහැකි බවත්, වයිරසය සමඟ සාමාන්‍ය ජීවිතයේ කටයුතු පවත්වා ගැනීමට හුරු විය යුතු බවත් මිනිස් වර්ගයා වටහාගෙන අවසන්ය. එබැවින් එදිනෙදා ජීවිතයේ කටයුතු අතර මූලික වන ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමට බොහෝ රටවල් නිර්භයව කටයුතු කර ඇති බව පැහැදිලිය.