
ඔස්ට්‍රේලියාවේ සිටිමින් එරට නීත්‍යනුකූල පුරවැසිභාවය ලබා ගැනීමට සටන් වදින ශ්‍රී ලාංකික පවුල තවදුරටත් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගේ මුදල් අපතේ නොවයමින් යළි සියරට බලා යා යුතුව ඇතැයි එරට නිවාස අමාත්‍ය පීටර් ඩට්න් පසුගියදා පවසා සිටියේය. ඔහු මේ බව පවසා සිටියේ එරට සිඩිනි රේඩියෝ ගුවන්විදුලි සේවය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ ශ්‍රී ලාංකික පවුල ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ උත්සාහය අත්නොහරින බැවින් මේ දක්වා ඔවුන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වැය කිරීමට ඔස්ට්‍රේලියානු රජයට සිදුවී ඇති බවයි. මේ මුදල් එරට පුරවැසියන්ගෙ බදු සල්ලි බව සිහිපත් කරදුන් අමාත්‍යවරයා පවසා සිටියේ මේ මුදල් සැබවින්ම වැය විය යුත්තේ එරට බදු ගෙවන ජනතාවගේ සුභ සාධනයට බවය.
දැනට මේ ශ්‍රී ලාංකික පවුල වසර කිහිපයක සිට ඔස්ට්‍රේලියාව අසල පිහිටා ඇති ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති අතර ඔවුන්ගේ සියලු සුභ සාධනය වෙනුවෙන් එරට රජය මුදල් වැයකරමින් සිටී.
පසුගියදා උදරයේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ ප්‍රියා මුරුගප්පන් පර්ත් රෝහලෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ. එසේ කිරීමට හේතුව ලෙස එරට රජය පවසා ඇත්තේ මේ පවුල වෙනුවෙන් දිනකට අමෙරිකානු ඩොලර් 20,000ක මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු සරණාගත කවුන්සලයේ මාධ්‍ය ප්‍රකාශක අරුණ් මයිල්වාගනම් පවසා ඇත්තේ ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය CT ස්කෑන් යන්ත්‍ර ක්‍රිස්මස් දූපතේ නොමැති බැවින් ඇයව මෙසේ රෝහල් ගත කර ඇති බවයි. එහෙත් පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමණ ඇයව රෝහලෙන් ඉවත් කර ඇති බවයි.
නඩාස් සහ ප්‍රියා මුරුගප්පන් නම් වන මේ ද්‍රවිඩ ශ්‍රී ලාංකික යුවළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ අවස්ථා දෙකකදීය. ඒ සරණාගතයන් ලෙස බෝට්ටු මගිනි. පසුව ඔවුන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වන ක්වීන්ස්ලන්තයේ පදිංචි වන අතර ඔවුන් දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියෝද වෙති.
ඔවුන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම නීති විරෝධී බව පවසමින් එරට අධිකරණ මගින් ඔවුන් පෙරළා සියරට කරා යැවීමට තීන්දු ලැබුණද ඔවුන්ගේ දියණියන් ඔස්ට්‍රේලියාවේදී උපත ලද බැවින් ඔවුන්ගෙ අයිතිය ඉල්ලා මේ මුරුගප්පන් යුවළ නිති මගට පිවිසියහ. තවදුරටත් ඔවුන් ඔස්ට්‍රේලියානු බිමේ රැඳී සිටීම නීති විරෝධී බැවින් ඔවුන් ක්‍රිස්මස් දූපතේ රඳවා තැබීමට එරට රජය කටයතු කළේය.
දැන් එරට නිවාස අමාත්‍යවරයා පවසා සිටින්නේ මෙලෙස රඳවා සිටින මුරුගප්පන් පවුල වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය අති විශාල මුදලක් වැය කරමින් සිටින බවයි.
සැබවින්ම මේ වන විට ක්‍රිස්මස් දූපතේ වැසියන් ලෙස සිටින්නේ මෙම මුරුගප්පන් පවුල පමණක් වන අතර ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රාජ්‍ය නිලධාරීන්ද පිරිසක්ද, සේවා සපයන්නන්ද ක්‍රිස්මස් දූපතේ රැඳවිමට එරට රජයට සිදුවී තිබේ. ඒ අනුව වාර්ෂිකව විශාල මුදලක් මේ සිව් සාමාජික පවුල වෙනුවෙන් වැය කිරීමට ඔස්ට්‍රේලියානු රජයට සිදුවී තිබේ. මේ මුදල් වැය කිරීම අපරාධයක් සේ දකින අමාත්‍ය පීටර් ඩට්න් පවසන්නේ මේ පවුල තවදුරටත් පුරවැසිභාවය වෙනුවෙන් සටන් කිරීම නවතා යළි සියරට යා යුතු බවයි. එහෙත් වසර පහකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා එරට නීතියට අභියෝග කරමින් සිටින මුරුගප්පන් පවුල එළෙසින් තම සටන අතහැර දමනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.