
මේ වන විට අමෙරිකාවට ඉතිහාසයේ හමු වූ ප්රබලතම ප්‍රතිවාදියා හමුවී තිබේ. මෙතෙක් කල් මූල්‍ය බලයෙන්, තර්ජනයෙන් සහ අවි බලයෙන් ලොව බහුතරයක් රටවල් පාලනය කළ අමෙරිකාවට මේ වන විට තම සමානයා හමුවී ඇතැයි පැවසිය හැකිය. අමෙරිකාවේ තර්ජන හමුවේ ඇතැම් රටවල් පසුබැස ගියද පෙරළා අමෙරිකාවට තර්ජන එල්ල කිරීමට ඒ කිසිම රටකට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් චීනය අමෙරිකාවේ තර්ජන හමුවේ නොසැලී සිටිනවා පමණක් නොව තවත් බොහෝ අංශවලින් අමෙරිකාවට තර්ජන එල්ල කරමින් සිටින බවද මේ වන විට මුළු ලෝකයටම පැහැදිලිව පෙනෙනවා ඇත.
මේ වන විට අමෙරිකා - චීන වෙළෙඳ යුද්ධය එළිපිට ඇවිළෙමින් තිබේ. කොවිඩ් වසංගතය හමුවේ වුද අමෙරිකාව තම ආර්ථිකය බේරා ගැනීමට ප්‍රබල සටනක නිරව සිටින අතර චීනයට හැකි සෑම අවස්ථාවකම ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවක් පෙනේ. චීනය මේ දක්වා ලෝකයේ කිසිම රටක යුධ ගිනි ඇවිළවීමට දායකත්වය ලබා දී නොමැති බැවින් චීනයට පක්ෂපාත අදහස් වැඩිපුර දැකගත හැකි වුවද ලොව කිසිම රටක් තවත් රටක ස්වාධිපත්‍යයට කිනම් ආකාරයෙන් හෝ බලපෑම් කරන්නේ නම් එය යහපත් නොවන බව කිව යුතුය.
කෙසේ වුවද දැන් මේ ප්‍රබලයන් දෙදෙනා තනි සටන් පෙරමුණු තනමින් මුහුණට මුහුණ ගැටෙමින් සිටින්නේ ලෝකයේ ගමන් මාවත නව දිශාවන් වෙත යොමු කරවමිනි. අමෙරිකාව චීනය සමඟ වෙළෙඳ යුද්ධය ආරම්භ කර සිටි කාලයේ පටන් චීනයේ හුවාවෙයි ජංගම දුරකතන සමාගම සම්බන්ධ චෝදනා එල්ල කර තිබිණි.
ඔවුන් පවසා සිටියේ මේ සමාගම ඔත්තු බැලීමේ නිරත වන බවයි. මීළඟ සටන් බිම පවතින්නේ අන්තර්ජාලයේ බව හොඳින් හඳුනාගෙන සිටි චීනය කල් තබාම අමෙරිකාවේ මෘදුකාංග වෙනුවට චීන මෘදුකාංග නිෂ්පාදනයට සහ භාවිතයට පෙරමුණ ගත්තේ අදින් වසර පහකට පමණ පෙර සිටය. ඒ අනුව අමෙරිකාව එල්ල කරන තර්ජනවලට පිළිතුරු ලෙස දේශීය මෘදුකාංග භාවිතයෙන් තම කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට චීනය හැකිවීම චීනය ලබාගත් ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය.
දැන් මේ වෙළෙඳ යුද්ධය අතරට එක්වූ අලුත්ම අංගය ලෙස චීන මෘදුකාංග භාවිතය තහනම් කිරීමට අමෙරිකාව සහ අමෙරිකාවේ මිත්‍ර රටවල් කටයුතු කරමින් සිටී. මේ තර්ජනය ප්‍රථමයෙන්ම එල්ල කර සිටියේ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝය. මයික් පොම්පියෝ සම්බන්ධයෙන් යමක් සටහන් කළ යුතුය. මීට පෙර ජනාධිපතිවරුන් යටතේ රාජ්‍ය ලේකම්වරයා බලයෙන් දෙවැනි වූයේ ජනාධිපතිවරයාට පමණක් විය. ලෝකයේ ඕනෑම තැනක අමෙරිකානු බලාධිකාරය පැතිරවීමේ ප්‍රථම අඩහැරය ලොවට අසන්නට ලැබුණේ රාජ්‍ය ලේකම්වරයාගේ මුවෙනි. එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය ලේකම් ධූරය හොබවන මයික් පොම්පියෝට පසුගිය වසර පහක කාලය මුළුල්ලේ තම බලතල විදහා දක්වන්නට ලැබුණේ ඉතාම අවම කාලයකි. මෙහි සැලකිය යුතු දෙපැත්තක් තිබේ. ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කාලයේදී අමෙරිකාව ලෝකයේ සෙසු රටවලට මැදිහත් වීම් අවමයෙන් සිදු කළ බවටද අනුමාන කළ හැකිය.
කෙසේ වුවද රාජ්‍ය ලේකම් පොම්පියෝ පසුගිය ජූලි 6වැනිදා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ‘ටික් ටොක්‘ ප්‍රමුඛ චීන මෘදුකාංග භාවිතය තහනම් කළ යුතු බවයි. මේ මෘදුකාංග භාවිතය සමාජයට හානිකර මෙන්ම රටරටවල ජාතික ආරක්ෂාවටද හානිකර බව පොම්පියෝගේ අදහස වී තිබේ. එහෙත් මේ වන විට ‘ටික් ටොක්‘ භාවිතය ලොව පුරා උන්මාදයක් සේ පැතිර යමින් තිබේ. අප රටේද තරුණ තරුණියන් අතර ටික් ටොක් වීඩියෝ ඉතා ප්‍රචලිතය. මෙලෙසම චීන මෘදුකාංග ප්‍රචලිත වීම යනු එක් අතකට අමෙරිකානු මෘදුකාංග වෙළෙඳපොළට ප්‍රබල තර්ජනයකි. මෙතෙක් ලෝකයේ ප්‍රධාන මෘදුකාංග අලෙවිකරු වූයේ අමෙරිකාවයි. අමෙරිකාවේ එම වෙළෙඳපොළට තවත් තරගකරුවකුගෙන් තර්ජන එල්ල වීම යනු අමෙරිකාව තවත් ආර්ථික අර්බූදයට ලක් වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ වුවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මේ ප්‍රකාශයත් සමඟම ක්‍රියාත්මක වූ ඉන්දියාව ටික් ටොක් සමඟ තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට කටයුතු කර තිබේ. ඉන්දියාව පවසා ඇත්තේ මේ මෘදුකාංග භාවිත කිරීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.