රැප් ගායක වෙස්ට් අමෙරිකානු ජනාධිපතිවරණ සටනට | Page 2 | සිළුමිණ

රැප් ගායක වෙස්ට් අමෙරිකානු ජනාධිපතිවරණ සටනට

තවත් මාස හතරකින් එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය මෙවර වඩාත් උණුසුම් සහ තියුණු වනු ඇති බවට ලකුණු මේ වන විට පහල වෙමින් තිබේ. චීනය සමඟ ඇති කර ගත් ආරවුල් සහ කොවිඩ් වසංගතය පාලනයකින් තොරව පැතිරීම හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයන්ට මෙතෙක් තමන් ක්‍රියාත්මක කරමින් තිබූ න්‍යායපත්‍ර දැඩි ලෙස වෙනස්කම්වලට ලක් කිරීමට සිදුව තිබේ. මේ වෙනස්කම් හමුවේ ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න්ද අලුත් සටන්පාඨ සොයමින් සිටින බව රහසක් වන්නේ නැත. පසුගිය අවස්ථාවේ දී ජනාධිපති ට්‍රම්ප්ට බහුතර අමෙරිකානුවන්ගේ කැමැත්ත ලබා දීමට සහාය වූ ජාතිකවාදී සටන්පාඨ මේ වන විට තවදුරටත් වැඩගත නොහැකි මට්ටමට පිළුණු වී ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී ජනාධිපති ට්‍රම්ප් තමා කෙරෙහි හීන වෙමින් යන ජනතා කැමැත්ත යළි දිනා ගැනීමට කුමන ගැටයක් ගසනු ඇතිදැයි ඉදිරි දිනවලදී දැකගත හැකි වනු ඇත.

ජෝ බයිඩන්ද සාම්ප්‍රදායික විපක්ෂ අපේක්ෂකයාගේ භූමිකාව නිරූපනය කිරීමට සූදානම්ව සිටියේ නම් මෙවර ඔහුට ජයග්‍රහණය පහසු නොවනු ඇති බවට සැක නැත. මේ සියල්ල අතර අමෙරිකානු ජනාධිපතිවරණය කෙරෙහි ලෝකයේ අවධානය යොමු කරන පුවතක් පසුගියදා අසුරු සැණෙන් ලොව පුරා පැතිර ගියේය. ඒ අමෙරිකාවේ ජනප්‍රිය රැප් ගායක කන්යේ වෙස්ට් තමා මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.

එපමණක්ද නොව වෙස්ට් ගේ මේ ප්‍රකාශය තවත් මාස හතරකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව අමෙරිකානුවන්ට ද සිහිපත් කර දීමට සමත් වූවා යැයි පැවසීම නිවැරදිය. මේ ජනප්‍රිය ගායකයා සැබැවින්ම ජනාධිපතිවරණයට තරග කරනු ඇතිදැයි තවමත් සැක සහිතය. එහෙත් ඔහු තම ට්වීටර් ගිණුමට පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමා මේ වසරේ ජනාධිපතිවරණයට තරග කරන බවයි.

ඔහුගේ ට්වීටර් පණිවිඩය නිකුත් කළ අවස්ථාවේ සිට පැයක් ඇතුළත එය පණිවිඩයට ප්‍රතිචාර ලක්ෂය ඉක්මවා ලැබී තිබිණි. ඒ සමඟින් කන්යේ අමෙරිකාවේ ජනප්‍රියතම ට්වීටර් ගිණුම හිමි පුද්ගලයා බවට පත් විය.

එහෙත් තවමත් කන්යේ සැබැවින්ම අපේක්ෂකත්වය ලබා ගනු ඇතිදැයි තහවුරු වී නොමැති අතර ඔහු මෙවැනි පණිවිඩයක් නිකුත් කිරීමේ අරමුණ ජනප්‍රියත්වය වැඩි කර ගැනීම යැයිද ඇතැම් දෙනාගේ මතය වී තිබේ.

කන්යේ තම අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ සිට එයට අමෙරිකාවේ විවිධ ප්‍රසිද්ධ චරිත වෙතින් නොයෙක් ආකාරයේ ප්‍රතිචාර හිමිවෙමින් තිබේ. ප්‍රථමයෙන්ම ඔහුගේ අපේක්ෂකත්වයට සුභ පැතුම් එක්කර සිටියේ ඔහුගේ බිරිය වන ජනප්‍රිය නිළි කිම් කඩෑශියන්ය. ඇයද කන්යේ මෙන්ම අධික ධන සම්භාරයකට හිමිකම් කියන්නීය. එපමණක්ද නොව ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක්ද කන්යේට අනුග්‍රහය දක්වන බවට පණිවිඩයක් නිකුත් කර තිබේ. සැබවින්ම කන්යේ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන්නේ නම් එලෝන් මස්ක්ගේ අනුග්‍රහය ඔහුට අති විශාල ශක්තියක් වනු ඇත. ඒ මන්ද යත් එලෝන් මස්ක් යනු ලෝක මට්ටමේ ධන කුවේරයකු වන අතර දේශපාලනය යනු තවදුරටත් ජනතාවගේ කැමැත්ත නොව ව්‍යපාරිකයන්ගේ තීරණයක් වන බැවිනි. එලෝන් මස්ක් මේ දක්වා තම සහයෝගය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වැදුණු ඇන්ඩෘෘ යංග්ට ලබා දෙන බව පවසා තිබිණි. එහෙත් ඔහු අපේක්ෂකත්ව තරගයෙන් පරාජයට පත්වුණු පසු මස්ක් තම දේශපාලන මතය සම්බන්ධව අදහස් දක්වා තිබුණේ නැත.

කෙසේ වුවද කන්යේගේ මේ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වන විචාරකයන් පවසා සිටින්නේ කන්යේ සැබැවින්ම ජනාධිපතිවරණ සටනට එක්වනු ඇත්නම් ඔහුට ඒ වෙනුවෙන් වේගවත් ප්‍රචාරණ ක්‍රියාදාමයක නියැළීමට සිදුවනු ඇති බවයි. ඔහුට අමෙරිකාවේ ප්‍රාන්ත පනහම ආවරණය කිරීමට ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයකි. කෙසේ වුවද අමෙරිකානු දේශපාලනයේ අක්මුල් දන්නා බොහෝ දෙනා පෙන්වා දෙන්නේ කන්යේ වෙස්ට් යනු ජනාධිපති ට්‍රම්ප්ගේ සාක්කුවේ සිටින්නකු බවයි. මීට පෙර කන්යේ ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථා කිහිපයකදී සහාය දක්වා තිබිණි. ඔහු 2018 වසරේදී ජනාධිපති මැදුරේදී ජනාධිපතිවරයා හමුවූ අතර එහිදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණි. මීට අමතරව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකළ වැඩසටහන් කිහිපයකදීම කන්යේ වෙස්ට් සහ කිම් කඩෑශියන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් සහභාගී වී සිටිනු පසුගිය වසර කිහිපයේදීම දැකගත හැකි විය.

ඒ අනුව කන්යේ වෙස්ට් මේ ආරම්භ කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ වැඩසටහනකට චරිතයක් රඟදැක්වීම බවටද මත පළ වී තිබේ. ඔහුගේ ජනප්‍රියත්වය උපයෝගී කර ගනිමින් ජනාධිපති ට්‍රම්ප්ගේ නැතිවී ගිය ජනප්‍රියත්වය යළි ඇති කරලීමේ උත්සාහයක් ලෙසින්ද කන්යේගේ මේ දේශපාලන ආගමනය නිර්වචනය වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් යනු අති ශූර ව්‍යාපාරිකයෙකි. ඔහු ඉතා කෙටි කලකින් දේශපාලනයේ සාර්ථකවය අත්කර ගන්නේ මෙකී ව්‍යාපාරික දක්ෂතාවද උපයෝගී කර ගනිමිනි. එබැවින් ඔහු දෙවැනි ධූර කාලය ලබා ගැනීමේ අවස්ථාව ලේසියෙන් පැහැර හරිනු ඇතැයි සිතිය නොහැකිය.

මේ අතර සෑම විටම ජනාධිපති ට්‍රම්ප්ට පහර එල්ල කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ සීඑන්එන් සේවයද දක්වා තිබුණේ කන්යේ වෙස්ට් ජනාධිපතිවරණ සටනට එළඹෙන බව ප්‍රකාශ කළද මේ දක්වා කිසිඳු නිශ්චිත ක්‍රියාමාර්ගයක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කර නොමැති බවයි.

කෙසේ වුවද කන්යේ වෙස්ට්ගේ ට්විටර් ගිණුමේ පමණක් අනුගමනය කරන්නන් මිලියන 29.3ක් සිටින අතර මේ පිරිස නිසි පරිදි ආකර්ෂණය කර ගැනීමට හැකි වුවහොත් කන්යේ හෝ ඔහුගේ පහනෙන් එළිය බැලීමට සූදානම්ව සිටින ට්‍රම්ප් හෝ ජයග්‍රහණය දක්වා ගමන් කිරීම වැළැක්වීමට අපහසු වනු ඇත.

දේශපාලනය යනු එක් අතකින් සුන්දර දෙයකි. එහි ඍජු බලපෑමක් අත්විඳීමට සිදු නොවන ස්ථානයක සිටිමින් එහි සිදුවන අතිශය තියුණු සටන්කාමී නර්තන දෙස බලා සිටීම වින්දනීය ප්‍රබෝධයක් ගෙන දෙන්නේය. මේ මොහොතේ අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ කියමන අතිශයින් සාර්ථකය. එහෙත් එය අපට එසේ වුවද අමෙරිකානු ජනතාවට නම් කිසිසේත්ම එසේ නොවනු ඇත.

Comments