නියෝමාල් රංගජීව සමාව ඉල්ලයි - Update | සිළුමිණ

නියෝමාල් රංගජීව සමාව ඉල්ලයි - Update

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා සිටියේය.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඊයේ (10) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බව මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි.

එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් ලිඛිතව අදාල ඉල්ලීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

Comments