
කොවිඩ් වයිරසය ලොව පුරා ජන ජීවිත වෙනස් කරමින් සිටින්නේය. ඒ හේතුවෙන් රටරටවල මිනිසුන්ට තම එදිනෙදා ජීවන රටාවන් වෙනස් කිරීමට සිදුව ඇති අතර ඇඳුම් පැළඳුම්, ආහාර රටාවන් පවා වයිරසය හේතුවෙන් වෙනස් කිරීමට මිනිසුන්ට සිදුවිය. ඒ අතරින් බොහෝ දෙනාගේ කණගාටුවට හේතු වී ඇත්තේ ආගමික චාරිත්‍ර සහ වන්දනාමාන රටාවන් වයිරසය හේතුවෙන් වෙනස් කිරීමට සිදුවීමයි.
සෞදි අරාබියේ මක්කම යනු ඉස්ලාම් ජාතිකයන්ගේ අති පූජනීය ස්ථානයකි. තම ජීවිත කාලය තුළ එක්වරක් හෝ මක්කම වන්දනාමාන කිරීම සෑම ඉස්ලාම් භක්තිකයකුගේම එකම අභිලාශයයි. හජ් වන්දනාව යනුවෙන් හැඳින්වෙන මේ මක්කම වන්දාන සමය සෑම වසරකම එක්තරා නිශ්චිත කාලසීමාවකදී ආරම්භ කෙරේ. ඒ හැර බොහෝ ඉස්ලාම් භක්තිකයෝ මක්කම වන්දනාවේ යෙදෙති.
සාමාන්‍යයෙන් සෞදි අරාබියේ මක්කම ජූජනීය ස්ථානය බැතිමතුන්ගෙන් හිස්වන්නේ අතිශය කළාතුරකිනි. සෙසු අවස්ථාවන්හිදී එම පුජනීය ස්ථනය බැතිමතුන්ගෙන් තොරව දැකගත හැකි වන්නේ නැත. එහෙත් පසුගිය මාර්තු මාසයේදී කොවිඩ් වයිරසය පැතිර යෑමත් සමග මක්කම පූජනීය ස්ථානය බැතිමතුන් සඳහා වසා දැමීමට සෞදි රජය තීරණය කළේය. එවිට මක්කම ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර යන්නට වූයේ බැතිමතුන්ගෙන් තොර මක්කම ඡායාරූප අති දුර්ලභ වන බැවිනි.
සෑම වසරකම ජූලි සහ අගොස්තු මාසවල හජ් වන්දනා සමය ඇරඹෙන අතර, නව සඳ පායා ඒම අනුව නිශ්චය වන වන්දනා සමයේ අවසන් දින හය මක්කම වන්දනා කිරීමට පැමිණීම මුස්ලිම් බැතිමතුන්ගේ චාරිත්‍රයකි. එම දිනවල අල්ලාගේ ගෘහය යනුවෙන් හඳුන්වන මක්කම පිහිටි කබා යන පූජනීය ස්ථානයට පැමිණීම සෑම මුස්ලිම් බැතිමතකුගේම අපේක්ෂාවයි. ඒ අනුව තවත් දින කිහිපයකින් මේ වසරේ හජ් වන්දනා සමය ආරම්භ වීමට නියමිතය.
හජ් වන්දනාව සඳහා ලොව සෑම දෙසකින්ම මුස්ලිම් බැතිමතුන් සෞදි අරාබියට පැමිණෙන අතර පසුගිය වසරේදී හජ් වන්දනාවට පැමිණි සංඛ්‍යාව මිලියන 2.5ක් වේ. සෑම වසරකම මෙවන් අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් මක්කම වන්දනාවට පැමිණෙන අතර එහිදී ඇතිවන තෙරපීමෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව මියයති. පසුගිය වසරේදී එම මියගිය සංඛ්‍යාව 39ක් වූ අතර 2004 වසරේදී වාර්තාගත ලෙස 717 දෙනෙකු මියගියේ මිනා හි යක්ෂයාට ගල් ගැසීමේ චාරිත්‍රය ඉටු කිරීමේ දී තෙරපී පයට පෑගිමෙනි.
එහෙත් මෙවර මක්කම වන්දනා කිරීම බලා සිටි බැතිමතුන්ට කණගාටුදායක වසරක් වී ඇත්තේ කොවිඩ් වයිරසය හේතුවෙන් මක්කම වන්දනා කිරීමට බැතිමතුන් 1000කට වඩා ඇතුළත් කර නොගන්නා බව සෞදි අරාබි රජය විසින් දැනුම් දීමත් සමගය. එමෙන්ම මේ බැතිමතුන් වයස 65ට වඩා අඩු විය යුතු අතර කිසිඳු කොවිඩ් රෝග ලක්ෂණයකින් ද තොර විය යුතුය.
පූජනීය ස්ථානයට ඇතුළු වීමට පෙර ඔවුන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර ඔවුන් පෙරළා තම මව්රටවල් කරා පැමිණි පසු ඔවුන් අදාළ දින සංඛ්‍යාව නිරෝධායනය කරන ලෙසටද උපදෙස් දී තිබේ.
මේ වන විට සෞදි අරාබිය ඉතා දරුණු ලෙස කොවිඩ් වයිරසයේ ව්‍යප්තියට ගොදුරු වී තිබෙන අතර පසුගිය ජූනි 24වැනිදා වන විට එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,64,000ක් විය. මරණ සංඛ්‍යාව 1,364කි. මේ වන විටත් වයිරසයේ ව්‍යප්තිය පාලනය කර ගැනීමට සෞදි රජය දැඩි සටනක නිරතව සිටී. එබැවින් හජ් වන්දනාව සීමා කිරීමට ඔවුන් ගත් තීරණය ඉතාම කාලෝචිත බව කිව යුතුය.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබුණේ මේ වන විටත් ලක්ෂ දෙකක පමණ බැතිමතුන් පිරිසක් හජ් වන්දනාව සඳහා රටින් පිටවීමට අවසර ඉල්ලා ඇති බවයි.