පාපන්දු සංචිතයත් සුදානම් ආමීර් ආලජික් කරලියට | Page 2 | සිළුමිණ

පාපන්දු සංචිතයත් සුදානම් ආමීර් ආලජික් කරලියට

ශ්‍රීලංකා පාපන්දු සංචිතය, ක්‍රීඩකයන් 18 දෙනෙකුට සීමා කරමින් අද (ජුනි 22 වැනිදා) සිට නැවැත ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් උමාර් ජස්වර් ක්‍රීඩා කළ විමසීමෙදී පැවැසීය. කොවිඩ්19 වසන්ගත තත්ත්වය හමුවේ රට තුළ උද්ගතවූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාපන්දු සම්මේලනය තීරණය කළේය.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් කෙරෙන කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථායේ නිරෝධායන පහසුකම් ද ඇති කරමින් ඒ සඳහා විශේෂයෙන්ම සූදානම් කෙරේ. එහිදී පී.සී.ආර්. පරික්ෂණ ද සිදු කරන අතර උපරිම සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කෙරේ.

පළමු පුහුණු කාලය දින 17 කි. දින 4 ක නිවාඩුවකට පසුව නැවතත් දින 17 ක පුහුණුවීම් ආරම්භ කෙරේ. ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික ආමීර් ආලජික් ගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණුවීම් පැවැත්වේ.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් නැවැත ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමනු ලැබූ එම සුදුසුකම් ලැබීමේ තරග උතුරු කොරියාවට, දකුණු කොරියාවට හා ලෙබනනයට එරෙහිව පැවැත්වේ. මෙම තරග කොළඹ , පියැන්ජියාන්ග් හා බීරූට් යන නගර වලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ඒ සඳහා සහභාගි වන ක්‍රිඩකයන්ට පී.සී.ආර්. පරීක්‍ෂණයද අනිවාර්ය කර තිබේ. ඒ හැරෙන්නට පුහුණු සංචිතයේ ක්‍රිඩකයන්ට විටින් විට එම පරීක්‍ෂණයට පෙනි සිටීමද අනිවාර්ය කර තිබේ.

ඉදිරියේදී ආමීර් ආලජික් ගේ උපදෙස් පරිදි ජාතික සංචිතයට නවක ක්‍රිඩකයන් තවදුරටත් බඳවා ගැනීම සිදු කෙරෙන, එහිදී යොවුන් ක්‍රිඩකයන්ට වැඩි අවස්ථාවක් සැලසේ.ජාතික සංචිතය සඳහා සෙසු ක්‍රිඩකයන් කැඳවීම ඉදිරියේදී අදියර කිපයක් යටතේ සිදු කිරීමට නියමිතය. ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩකයෝ 24 ක් ඇතුළත් වූහ. ආමීර් ආලජික් විසින් ක්‍රිඩකයන් 56 දෙනෙකුගෙන් මෙම 24 දෙනා තෝරා ගත්තේය.

 

 

Comments