ඉතිහාසය වෙනස් කළ මහා යුද ජයග්‍රහණය | සිළුමිණ

ඉතිහාසය වෙනස් කළ මහා යුද ජයග්‍රහණය

ෆැසිස්ට්ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය දියත් කළ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ 75 වන සංවත්සරය හෙවත් ‘ජයග්‍රහණයේ දිනය’ පසුගිය මැයි 09 වන දිනට යෙදී තිබුණි. 1939 දී ජර්මනිය විසින් ආරම්භ කරන ලද මෙම නිහීන යුද්ධය රටවල් 60කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිර ගිය අතර, මෙමගින් සිදුවූ ජීවිත හානිය මිලියන 70ක් ලෙස ගණන් බලා තිබේ. මෙයින් මිලියන 27ක ජීවිත වීරෝදාර සෝවියට් ජනතාවගේ ය.

එම දරුණු යුද කාලය දෙස ආපසු හැරී බැලීමේ දී එදා සිට මේ දක්වා අප උගත් පාඩම්වල ඇති වැදගත්කම අපට වඩාත් හොඳින් වටහාගත හැකි ය. ලෝක ජනගහණයෙන් 80% ක් වෙසෙන රාජ්‍යයන් සම්බන්ධ වූ එම දෙවන ලෝක යුද්ධය එම රටවල ජනතාවට පමණක් නොව, සමස්ත මිනිස් සංහතියට ම බලපෑ දරුණු ව්‍යසනයක් වී ය. ලොව දරුණු ගෝලීය ආර්ථික අවපාතයක් පැවති 1929 සිට 1933 අතර කාලපරිච්ඡේදයේ මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය වැනි බොහෝ යුරෝපීය රටවල් යටත්විජිතවල අයිතිකරුවන් බවට පත්ව සිටියෝ ය. එහෙත්, ජර්මනියට එකදු යටත්විජිතයක් හෝ අයත්ව නොතිබුණි.

මේ සියලු රටවල් අතරින් සමාජවාදී රාජ්‍යයක් බවට පත්ව තිබුණු එක ම රට සෝවියට් රුසියාව යි. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නමින් හැඳින්වෙන 1917 දී රුසියාවේ ඇති වූ සමාජවාදී විප්ලවය ලොව පුරා වැඩකරන ජනතාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. එසේ ම, එය යටත්විජිතවාදීන්ගෙන් නිදහස්වීමට සටන් වදිමින් සිටි ජාතික විමුක්ති ව්‍යාපාරවලට ද ඉමහත් ආස්වාදයක් වී ය. රුසියානු විප්ලවය ආරම්භ වූ දා පටන් ම ඊට එරෙහිව බොහෝ සතුරෝ සිටිය හ. සියලු ධනවාදී රටවලට අවශ්‍ය වූයේ, සමාජවාදී මතවාද පතුරවමින් සිටි රුසියාවේ බලපෑම නතර කිරීම සඳහා රුසියානු විප්ලවය විනාශ කර දමන්නට ය. එහෙත්, එය ලෙහෙසි පහසු කාර්යයක් නොවූ අතර, එම සියලු ප්‍රතිවිරෝධතා පරාජය කර ඔක්තෝබර් විප්ලවය ජයගෙන සමාජවාදය පිහිටුවන්නට රුසියානු ජනතාව සමත් වූ හ.

ජර්මනියේ යටත්විජිත පිපාසය වඩාත් තීව්‍ර වූයේ, 1933 දී ජර්මානු චාන්සලර්වරයා ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තේරී පත්වීමත් සමඟ ය. ඔහුගේ මෙම යටත්විජිත සිහිනය සැබෑකර ගැනීම සඳහා එරට ධනවතුන් විසින් ඔහුට ඇති තරම් අරමුදල් සපයන ලද අතර, එහි පළමු පියවර ලෙස දරුණු පහරදීමකින් පසුව රුසියාව අල්ලා ගැනීමට හිට්ලර් සැලසුම් කළේ ය. ‘බාබරෝසා’ නමින් හැඳින්වුණු හිට්ලර්ගේ මෙම සැලසුම රුසියානු බුද්ධි අංශවලට රහසක් නොවී ය. එනිසා, ෆැසිස්ට් ජර්මනියට මුහුණදීම සඳහා ඒකාබද්ධ සන්ධානයක් ඇතිකර ගැනීමේ වැදගත්කම මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ රටවලට ඒත්තු ගැන්වීමට රුසියාවට අවශ්‍ය වී ය.

නමුත්, යුරෝපීයයන්ට ඊට වඩා හාත්පසින් ම වෙනස් සැලසුමක් තිබුණි. ඔවුන් බලා සිටියේ ජර්මනිය, සෝවියට් සංගමය හා යුද්ධය ආරම්භ කළ පසු දරුණු ලේ හැලීමකින් රටවල් දෙක ම එකවර අල්ලා ගැනීමට ය. 1939 සැප්තැම්බර් 01 වැනි දින පෝලන්තයට පහර දී පසුව කුප්‍රකට ‘මියුනිච් ගිවිසුම’ හරහා චෙකොස්ලොවැකියාව ජර්මනියට ඈඳාගත් හිට්ලර්, අනතුරුව 1940 දී ජපානය හා ඉතාලිය සමඟ නව ලෝක වැඩපිළිවෙලක් සඳහා වූ ගිවිසුමක් අත්සන් කළේ ය. 1941 ජූනි 22 වැනි දින ෆැසිස්ට් ජර්මනියේ නාසි හමුදාවන් සෝවියට් සංගමයට පහර දුන්නේ ‘ආක්‍රමණ සිදු නොකරන’ බවට වූ පෙර පැවති ගිවිසුම් සියල්ල ම උල්ලංඝණය කරමිනි. ජර්මානු හමුදා නවීන අවි ආයුධ, ගුවන් යානා, කාලතුවක්කු සහ බලගතු යුද ටැංකි යොදාගනිමින් සෝවියට් සමූහාණ්ඩුවට අයත් නගර 1,710ක් හා ගම්මාන 70,000ක් පුළුස්සා විනාශකර දැමූ අතර, කර්මාන්තශාලාවලට සහ කෘෂිකර්මාන්තයට සිදුකරන ලද හානිය ගණනය නොකළ හැකි තරම් ය.

හිට්ලර්ගේ සැලසුම වූයේ දින 14කින් සෝවියට් සංගමය අත්පත් කරගැනීම ය. ඔහුගේ එම සංහාරයේ පළමු මාස හය තුළ දී පමණක් සෝවියට් සංගමයට සිය භූමියෙන් 40%ක ප්‍රමාණයක් අහිමි කරන්නට ජර්මානුවන්ට හැකි වී ය. සිරකරුවන් ලෙස ගෙන ගිය සමහර සිවිල් වැසියන් මරා දමන ලද අතර, අනෙක් අය වහලුන් ලෙස වැඩට ගන්නා ලදි. එහෙයින්, තම මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා සමස්ත ජනගහනය ම එක්රැස් කර සතුරාට එරෙහිව සටන් කරන්නට සෝවියට් සංගමයට සිදුවූ අතර, ඔවුන් එය හැඳින්වූයේ ‘මහජන යුද්ධයක්’ ලෙස ය. මෙම ‘මහජන යුද්ධයේ’ සාර්ථකත්වය හේතුවෙන් 1941 අග බාගය වනවිට එනම්, යුද්ධයේ පළමු මාස හය තුළ ජර්මානුවන්ට තම සොල්දාදුවන් 500,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී ය. තම හමුදාවේ චිත්ත ශක්තිය වැඩිකිරීම සඳහා කිසියම් උත්තේජනයක් ලබාදීමට අදහස් කළ හිට්ලර්, මොස්කව් නගරය අල්ලා ගැනීමට උත්සාහ කළේ ය. ඒ වනවිට ජර්මානු හමුදා රැඳී සිටියේ, රුසියානු අගනුවරට කිලෝ මීටර 25ක්, 30ක් තරම් ආසන්න දුරකිනි.

එහෙත්, රතු හමුදාව විසින් අනුගමනය කරන ලද දැඩි ප්‍රතිරෝධය සහ උපාය මාර්ග ජර්මානුවන් කිලෝ මීටර 200කින්, 300කින් පමණ පසුපසට තල්ලු කළේ ය. මෙය දෙවන ලෝක යුද්ධයේ ගමන් මග වෙනස් කළ සුවිශේෂ සන්ධිස්ථානයකි. සෝවියට් රතු හමුදාව ජර්මානුවන් තවදුරටත් බර්ලිනයට තල්ලුකර හිට්ලර්ගේ ලෝක ආධිපත්‍ය පිළිබඳ සිහිනය අවසන් කළේ මෙම වොල්ගොග්‍රාඩ් (ස්ටාලින්ග්‍රාඩ්) සටන හේතුවෙනි. මෙම වොල්ගොග්‍රාඩ් (ස්ටාලින්ග්‍රාඩ්), කර්ස්ක් හා පීටර්ස්බර්ග් (ලෙනින්ග්‍රාඩ්) යන සටන් ත්‍රිත්වය ලොව පුරා සිටින හමුදා මූලෝපාය විශේෂඥයන්ගේ අධ්‍යයනයන්ට ලක් වූ සටන් ලෙස ඉතිහාසගතවී තිබේ.

සෝවියට් සංගමය සතුරු ආක්‍රමණයේ බරපතළකම සියතට ගත්තේ ය. ඔවුන්ගේ නැගෙනහිර පෙරමුණ නාසි හමුදා සංකේන්ද්‍රණයව සිටි ජර්මානු බලකායන්ට වසර 04කට ආසන්න කාලයක් පහර දුන්නේ ය. සෝවියට් සංගමය හා ගැටීමෙන් නාසි හමුදාවන්ට 85%ක පමණ යුදමය පාඩුවක් සිදුවූ අතර, යුද්ධය ජයග්‍රාහී අවසානයකට රැගෙන එන ලද්දේ සෝවියට් රතු හමුදාව විසිනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ, බර්ලිනයට පහර දී චෙක් ජනරජයේ අගනුවර වන ප්‍රාග් නගරය නිදහස් කරගැනීම යි.

මෙම ඓතිහාසික යුද ජයග්‍රහණය සඳහා සෝවියට් සංගමයට අධික මිලක් ගෙවන්නට සිදු වී ය. මෙහි දී සෝවියට් සංගමයට සිදු වූ මිනිස් අලාභය පමණක් මිලියන 26.6 කි. සටනේ දී තුවාල ලබා මියගිය සොල්දාදුවන් සහ ආධාරකරුවන්, කුසගින්නේ මියගිය සෝවියට් සිවිල් වැසියන්, බෝම්බ හා ෂෙල්වෙඩිවලට ගොදුරුවූවන්, යුද සිරකරුවන්, ඝාතක කල්ලි විසින් වධහිංසා පමුණුවා වෙඩිතබා මරා දමන ලද කොමියුනිස්ට්වාදීන් සහ කොම්සොමෝල් ක්‍රියාකාරීන් රැසක් ඒ අතර වූ හ. මේ අනුව, 1920 සිට 1924 දක්වා වූ කාලය තුළ උපත ලද අයගෙන් යුද පෙරමුණට ගොස් ආපසු නිවෙස් කරා එන්නට වාසනාව ලද්දේ 04% ක තරම් සුළු පිරිසකට පමණි.

සෝවියට් රුසියාවේ සෑම නිවසකට ම මෙම කුරිරු යුද්ධය නිරුපද්‍රිතව පැමිණියේ ය. එහෙයින්, රුසියාවේ සෑම පවුලකට ම තමන්ගේම වූ යුද වීරයෙකු හෝ යුද වීරයන් කිහිපදෙනෙකු සිටිති. රුසියාව සිය ජයග්‍රහණයේ අභිමානය පරම්පරා ගණනාවක් පුරා මෙසේ බෙදා ගනිමින් සිටින්නේ මෙම පාඩු විඳීමේ සහ අහිමිවීමේ වේදනාව ද සමඟ ය. එසේ වුව ද, දෙවන ලෝක සංග්‍රාමයේ එම ඓතිහාසික ජයග්‍රහණය ඔවුන් අත්කර ගත්තේ, හිට්ලර් විරෝධී සන්ධානයේ සියලු රටවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් බව ඔවුහු කිසිවිටෙකත් අමතක නොකරති. තම බටහිර සහචරයන් වන මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය මෙන් ම විවිධ රටවල ෆැසිස්ට් විරෝධී ව්‍යාපාර ද මෙම ජයග්‍රහණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ඔවුහු දැඩිව විශ්වාස කරති.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය යන ප්‍රධාන ලෝක බලවතුන් තිදෙනා පශ්චාත් යුද ලෝක වැඩපිළිවෙළ කෙසේ වියයුතු ද යන්න තීරණය කළේ 1945 පෙබරවාරි මස පැවති යාල්ටා සමුළුවේ දී ය. එම සමුළුවත්, 1943 පැවති ටෙහෙරාන් සමුළුවත්, 1945 අගෝස්තු මස පැවති පොස්ට්ඩෑම් සමුළුවත් යන යුද සමයේ පැවති සමුළු තුන වර්තමාන එක්සත් ජාතින්ගේ සංවිධානය නිර්මාණය වීමට ද මග පෑදී ය.

දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟ යටත්විජිත ලෙස පැවති බොහෝ ජනපදවලට ‘නිදහසේ රසය’ නිදහසේ භුක්ති විඳින්නට අවස්ථාව ලැබුණු අතර, බොහෝ සුපිරි බලවතුන්ට තම යටත්විජිත නිදහස් අරගලයේ සටන්කාමීන්ට බාරදීමට සිදුවී ය. නිදහස ලැබූ මෙම රටවලට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයක් තෝරාගෙන, තමන්ගේ ම වූ ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා සෝවියට් සංගමය දිගින් දිගට ම තම පූර්ණ සහයෝගය ලබාදුන්නේ ය. සෝවියට් සංගමය ලබාගත් මෙම අද්විතීය ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස සඳහා වූ අරගලය ද වඩ වඩාත් තීව්‍ර විය. ලංකා ජාතික කොන්ග්‍රසයේ නිදහස් සටන්කරුවන් සියලුදෙනා ම සෝවියට් සංගමයේ ජයග්‍රහණයට සිය පූර්ණ සහයෝගය දක්වමින් ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටිය හ.

ඒ වකවානුව වනවිට ලංකාවේ අනාගතය සැලසුම් කරමින් සිටියේ බ්‍රිතාන්‍යයේ උගත් ස්වදේශිකයන් පිරිසකි. අයිවර් ජෙනිංස් යනු ඔවුන් අතර සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. පූර්ණ නිදහස ලබාගැනීමට කැමැත්තක් දැක්වූ ඉන්දියානුවන් මෙන් නොව, අර්ධ නිදහස පිළිගන්නා ලෙස ස්වදේශිකයන් කිහිපදෙනෙකුට ම බලපෑම් කළේ ඔහු ය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා අයිවර් ජෙනිංස්ගෙන් උපදෙස් ලබාගන්නා මෙන් පණ්ඩිත් ජවහර්ලාල් නේරු, මහත්මා ගාන්ධිට යෝජනා කළ විට ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළේ ය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වූ කමිටුව මෙහෙයවීමට පත්කළේ පසු කලෙක ඉන්දියාවේ ප්‍රථම නීති හා අධිකරණ අමාත්‍ය ධූරයට පත් හිම්රාඕ අම්බෙඩ්කාර් ය.

අයිවර් ජෙනිංස් ලංකාවේ ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ වාමාංශිකයන්ට කෙදිනකවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමට නොහැකි වන අයුරිනි. මෙරට වතුකර ජනතාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරන විට ඊට එරෙහි වීමට තරම් බලයක් පාර්ලිමේන්තුවේ සිටි කිසිදු වාමාංශික දේශපාලඥයෙකුට නොවී ය. මෙරට ජනතාව වාමාංශික දේශපාලනයෙන් සහ සෝවියට් රුසියාවෙන් එදා සිට ඈත්කර තැබීමේ අනිටු ඵලවිපාක මේ වනවිට ද අපි භුක්ති විඳිමින් සිටිමු.

සෝවියට් සංගමය සමඟ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යන සියලු ම රටවල් එම රටවල ඇතිවන අයහපත් ආර්ථික හා සමාජ බලපෑම්වලට මුහුණදීම සඳහා වඩාත් හොඳින් සංවිධානය වී සිටිති. ඉන්දියාව, චීනය, වියට්නාමය, කියුබාව, උතුරු හා දකුණු කොරියාව වැනි රටවල් සෝවියට් සමූහාණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන රටවලට විශිෂ්ට උදාහරණ වේ.

කෝවිඩ්-19 වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ වුව ද, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් දෙවන ලෝක සංග්‍රාමයේ දී මියගිය අයට ගෞරවය පිරිනැමීම සඳහා මෙම ඓතිහාසික ජයග්‍රහණ දිනයේ 75 වන සංවත්සරය සනිටුහන් කළේ ය. නාසි පරාජයෙන් වසර 75ක් ගතවූ මොහොතේ ක්‍රෙම්ලිනය බලාපොරොත්තු වූයේ, සමස්ත ලෝක ජනතාවට සත්කාරකත්වය පිරිනැමීමේ වේදිකාවක් බවට රුසියාව පත්කිරීමට ය. එහෙත්, කෝවිඩ්-19 වසංගතය විසින් අන් බොහෝ රටවල මෙන් ම, රුසියාවේ ද දේශපාලන ජීවිතයත්, සාමාන්‍ය ජන ජීවිතයත් අගුලු දමා තිබීම නිසා පුටින්ට සිය කැබිනට් සාමාජිකයන් සහ ආණ්ඩුකාරවරුන් සමඟ පවා ගනුදෙනු කිරීම දුරකතන සංවාදවලට පමණක් සීමාකර තිබේ.

මාසයකට ආසන්න කාලයකට පසු විද්‍යුත් මාධ්‍යයෙන් ජනතාව ඇමතූ මොහොතේ මහා දේශප්‍රේමී යුද්ධයෙන් මියගිය මිලියන ගණනක් සෝවියට් පුරවැසියන්ගේ මතකය කෙරෙහි පමණක් අවධානය යොමුකරමින් කතා කළ පුටින් රුසියාව තුළ වයිරසය පැතිරීම ගැන පවා සඳහන් නොකළේ ය. දේශප්‍රේමී යුද ජයග්‍රහණ සැමරුම සෑම වසරකම රුසියාවේ ප්‍රධාන සිදුවීමක් වන අතර, වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යටතේ එය ඊටත් වඩා විශාල චාරිත්‍රානුකූල වැදගත්කමක් ලබාගෙන ඇත.

මේ වනවිට ලෝකයේ සීතල යුද්ධය අවසන් වී තිබේ. ලෝකය තවමත් කිසිදු ගෝලීය යුද්ධයක් දැක නැත. සියලු ජාතික රාජ්‍යයන් මේ වනවිට ලබාගෙන තිබෙන ජයග්‍රහණ මෙන් ම, එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරීත්වය ද, ඊට හේතු වී තිබේ.

යුද බියෙන් තොර ලෝකයක් නිර්මාණය කළ දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ 75 වන සංවත්සරයට අපට ද ආඩම්බරයෙන් සුබ පැතිය හැක්කේ රුසියානු ජනතාව මනුෂ්‍යත්වයට දක්වන ගෞරවයට එය කදිම උපහාරයක් වන හෙයිනි. රුසියාව සමඟ වඩා හොඳ ආර්ථික සමාජීය හා සංස්කෘතික සහයෝගීතාවක් ඇතිකර ගැනීම මගින් ඉදිරියේ දී අප රටට වඩා හොඳ සේවයක් ලබාදීමට අපට හැකිවනු ඇත.

Comments