විවිධ රටවල් කොවිඩ් නීති ලිහිල් කරන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

විවිධ රටවල් කොවිඩ් නීති ලිහිල් කරන්නේ මෙහෙමයි

කොවිඩ් වසංගතයට මුහුණ දුන් විවිධ රටවල් මේ වන විට ක්‍රමයෙන් තම රටවල් විවෘත කරමින් සිටිනු දක්නට හැකිය. එහෙත් ඒ ඉතා ආරක්ෂක විධිවිධාන භාවිත කරමිනි. බොහෝ රටවල් තම ගුවන් තොටුපොළ පමණක් නොව දේශසීමාද තවමත් වසා දමා තිබේ. රටවල් අතර ගමනාගමනය සමස්ත ලෝකයේම බිඳ වැටී ඇති නමුදු රටවල් රාශියක් තම රටවල අභ්‍යන්තර ජනජීවිතය යථාතත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිනු දැකගත හැකිය. මේ එවැනි රටවල් කිහිපයකි.

චීනය

වයිරසයේ පැතිරයෑම ආරම්භ වූ රට ලෙස සැලකෙන චීනය තම අභ්‍යන්තර ජනජීවිතය සාමාන්‍ය කිරීම ආරම්භ කර සිටියේ ලෝකයේ සෙසු රටවල් එයට මුහුණ දීම ඇරඹූ අවදියේදීය. සැබවින්ම චීනය වයිරසයේ දරුණු පැතිරයෑම හමුවේ වසා දැමුවේ වූහාන් ප්‍රාන්තය පමණක් වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. වයිරසයට ගොදුරු වූ චීන ජනතාව සැලකීමේදී ඉන් අතිබහුතරය වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර රටේ සෙසු ප්‍රදේශවල වයිරසයේ ව්‍යප්තිය සැබවින්ම සුළු අගයක් විය. පසුගිය අප්‍රේල් මාසයේදී චීනය වූහාන් ප්‍රාන්තයද විවෘත කළ අතර මේ වන විට සමස්ත චීනයේම ජනතාව සාමාන්‍ය ලෙස එදිනෙදා කටයුතුවල නිරතවෙමින් සිටිති.

එහෙත් ඒ අතරතුර වයිරසයෙන් ආරක්ෂාවීමේ විධිවිධාන කෙරෙහිද චීන ජනතාව ඉතා විශාල සැලකිල්ලක් දැක්වීමද කැපී පෙනෙන කරුණකි. චීන ජනතාව සඳහා රජය විසින් ජංගම දුරකතන සඳහා භාවිත කරන ඇප්ලිකේෂන් (ඇප්) හෙවත් වැඩසටහනක් නියම කර තිබේ. මේ වැඩසටහන අනුව අදාළ ජංගම දුරකතනය භාවිත කරන පුද්ගලයාට වයිරසය ආසාදනය වී තිබේද යන්න නිශ්චය කර ගැනීමේ හැකියාව ලැබේ. ඒ අනුව රැකියා ස්ථානවලට ඇතුළු වීමේදී මෙන්ම කඩසාප්පුවලට ඇතුළු වීමේදීද තම ජංගම දුරකතනය මගින් වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු කිරීමට චීන ජාතිකයන්ට අවස්ථාව සැලසී තිබේ.

චීනයේ පාසල්ද ආරම්භ කර ඇති අතර පාසලට ඇතුළුවීමේදී සිසුන්ට ආරක්ෂක විධිවිධානවලට මුහුණ දීමට සිදුවේ. ප්‍රථමයෙන්ම පාවහන්වල අඩියට විෂබීජ නාශක යොදන අතර, ඉන්පසු දරුවන් අත් සේදීමට යොමු කෙරේ. සියලුම දෙනා මුඛ ආවරණ පැළදීම අනිවාර්ය අතර පාසලට ඇතුළුවන අවස්ථාවේදී පැළඳගෙන එනු ලබන මුඛ ආවරණ ඉවත් කර අලුත් ඒවා ලබා දේ. පාසලට ඇතුළුවීමට පෙර අවසන් වශයෙන් සිසුන්ගේ මුලු සිරුරටම විෂබීජ නාශක දූමායනය කෙරේ. චීනය පාසල් පවත්වාගෙන යන්නේ මෙවැනි දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. එමෙන්ම මේ දක්වා චීනය කිසිලෙසකින් තම දේශසීමා විවෘත කර නැති අතර ගුවන් මගින් රටතුළට පැමිණෙන ජනතාව සම්බන්ධයෙන්ද ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන පැනවීම මගින් වයිරසය රටතුළට පැමිණීම වළක්වාලීමට උත්සාහ දරමින් සිටී.

ප්‍රංශය

ප්‍රංශයේ ආරක්ෂිත ක්‍රියාමාර්ග කිසියම් ලිහිල් කිරීමක් සඳහා එරට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් මැයි මස මැද වන තෙක් කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට සහ වසංගතය වැළැක්වීමට පියවර ගැනීම සඳහා වැඩි අවදානයක් ලබා දෙන බව ප්‍රංශය පවසා තිබේ. මැයි මස අවසානයේ සිට ප්‍රංශය යළිත් සාමාන්‍ය ජනජීවිතයට එළඹෙනු ඇත.

බ්‍රිතාන්‍යය

මේ වන විටත් විශාල ලෙස මරණ වාර්තා කරමින් සිටින බ්‍රිතාන්‍යයෙන් ලැබෙන තොරතුරු අනුව සාමාන්‍ය ජන ජීවිතය කරා පැමිණීමට එරට ජනතාවට තව ටික කලක් ඉවසා සිටීමට සිදු වන බව පෙනේ. එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් පවසා ඇත්තේ ‘සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට පෙර රටේ ජනතාවට තවත් කැපකිරීම් කිරීමට සිදුවනු’ ඇති බවයි.

චිලී

දකුණු ඇමරිකාවේ රටක් වන චිලී වයිරසයෙන් එතරම් පීඩාවට පත් නොවූවද තවමත් ආරක්ෂක විධිවිධාන භාවිත කරමින් සිටී. රැකියා සඳහා වාර්තා කරන ජනතාව සඳහා ආසාදිතයකු නොවන බව සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය වී තිබේ. කඩසාප්පුද විවෘත කර තිබේ. එහෙත් ජනතාවට ආරක්ෂක විධිවිධාන අනුව පැවතීමට එරට රජය විසින් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත.

දකුණු කොරියාව

ඉතාම දියුණු තාක්ෂණය භාවිත කරමින් වයිරසයෙන් ගැලවීමට කටයුතු කරන එමෙන්ම සාර්ථකත්වය අත්පත් කරගත් රටක් වන දකුණු කොරියාව මේ වන විට චීනය මෙන්ම ජංගම දුරකතන වැඩසහනක් මගින් වයිරසය‍ ආසාදිතයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. අමතරව සියලුම රටවැසියන්ගේ අත්වල පැළඳීමට යෝජනා කර ඇති ඉලෙක්ට්‍රොනික පටියක් මගින්ද වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ. ඒ ඔස්සේ ස්වයං නිරෝධායනය විය යුතු පුද්ගලයන් තීරණය කරන අතර ඔවුන්ට නිවසේ ගත කිරීමට උපදෙස් ලැබේ. ඒ හැර රට සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යෑමට දකුණු කොරියානුවන්ට හැකියාව ලැබී තිබේ.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය

වයිරසය ඉතා හොඳින් පාලනය කළ රටවල් දෙකක් ලෙස ඉදිරියේදී තම රටවල ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන බව මේ දෙරට ප්‍රකාශ කර තිබේ. පාසල්ද විවෘත කිරීමට නියමිත අතර එක් දිනකදී පාසලට ඒමට අවසර තිබෙන්නේ පන්තියේ සිසුන්ගෙන් පහෙන් එකකට පමණි. ඉදිරියේදී මේ දෙරට අතර ආරක්ෂිත කොරිඩෝවක් වැනි ක්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර පමණක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර සාකච්ඡා පැවැත්වේ.

ඕස්ට්‍රියාව

ඔස්ට්‍රියාවද යුරෝපාකරයේ පිහිටා ඇති, එහෙත් වයිරසයේ දරුණු ව්‍යප්තියක් සිදු නොවුනු රටකි. මේ වන විට ඔවුන් ආරක්ෂක විධිවිධාන ලිහිල් කරමින් පවතින අතර සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගැනීමට අවසර ලැබී තිබේ. කෙසේ වුවද ආගමික කටයුතු සඳහා ඒකරාශී වීම මැයි මස මධ්‍යයෙන් පසු සලකා බැලීමට එරට රජය තීරණය කර තිබේ. මේ වන විටත් එරටේ සෙසු කටයුතු සාමාන්‍ය වෙමින් පැවතියද නව ආසාදිතයන් වාර්තා වේදැයි රජය ඉතාම සැලකිල්ලෙන් පසුවන බව කියැවේ.

ඩෙන්මාර්කය

යුරෝපා රටවල් රාශියක් මේ වන විට තම ආරක්ෂක විධිවිධාන ලිහිල් කරමින් සිටින අතර ඩෙන්මාර්කය මේ වන විට පාසල් විවෘත කිරීම දක්වා ලිහිල් වැඩපිළිවෙළකට පැමිණ තිබේ. ඩෙන්මාර්කයට වයිරසයෙන් දරුණු පීඩා විඳීමට සිදු වූයේ නැත. මධ්‍යම යුරෝපය දරුණු ලෙස වයිරසයෙන් බැටකන අවස්ථාවේදී ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආරක්ෂා වූ රටක් ලෙස ඩෙන්මාර්කය හැඳින්විය හැකිය. කෙසේවුවද පසුගියදා ඩෙන්මාර්කය පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කළ අතර රැකියාවන්හි නිරතවන බොහෝ දෙමවුපියන් තම දරුවන් මේ ස්ථාන වෙත යොමු කළ බව පැවසේ. එහෙත් ඇතැම් දෙමවුපියන් තම දරුවන් නිවෙස්වලින් පිටතට යැවීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ‘තම දරුවන් කොවිඩ් - 19 වසංගතයේ පර්යේෂණ මීයන් ලෙස භාවිත කිරීමට ඉඩ නොදෙන‘ බව පවසමිනි.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය යනු කොවිඩ් වයිරසයෙන් ඉතා දරුණු ලෙස බැට කෑ රටකි. ආසාදිතයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සහ මරණ තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා විය. තවමත් එරටින් දිනකට මරණ දෙසීය ඉක්මවා වාර්තා වුවද ස්පාඤ්ඤය පසුගියදා ජනතාවට තම නිවෙස්වලින් ඉවතට පැමිණීමට අවසර ලබා දුන්නේය. මේ වන විට ඉතා සෙමින් ජනජීවිතය යථා පැවැත්මට ගෙන ඒමට ස්පාඤ්ඤ බලධාරීන් කටයුතු කරමින් සිටින අතර තවත් දින කිහිපයකින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කරන බවට වාර්තා ලැබී තිබේ.

ජර්මනිය

වයිරසයට ඉතාමත් සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ඉදිරියෙන්ම ජර්මනිය සිටින බව පැවසිය හැකිය. ඊට හේතුව ආසාදිතයන් ලක්ෂ ගණනින් වාර්තා වුවද මරණ සංඛ්‍යාව ඉතාම අවම මට්ටමකට පවත්වා ගැනීමට එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකියාව ලැබීමයි. තවදුරටත් ආසාදිතයන් වාර්තා වෙමින් පැවතියද ජර්මනිය පනවා තිබූ නීති ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව සුපරි වෙළෙඳසැල්වල සිට කුඩා මට්ටමේ කඩසාප්පු දක්වා විවෘත කිරීමට අවසරය හිමිවී තිබේ. ජර්මනියේ ප්‍රධාන අපනයන භාණ්ඩය වන මෝටර් රථ අලෙවිය සහ නිෂ්පාදනය යලි ආරම්භ කිරීමේ කටයුතුද ආරම්භ කර ඇත. පසුගිය මැයි 4වැනිදා රූපලාවන්‍යාගාර විවෘත කෙරුණු අතර අවන්හල් විවෘත කිරීමට තව ටික කලක් ගත වනු ඇති බවට ප්‍රකාශ වී තිබේ. පාසල් සිසුන් විභාග පැවැත්වෙන අනුපිළිවෙලින් පාසල් කරා ගෙන්වීම ඇරඹී ඇති නමුත් ආගමික කටයුතු සඳහා ඒකරාශී වීම අගෝස්තු අවසානය දක්වා තහනම් බව ජර්මන් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඉතාලිය

කොවිඩ් වසංගතයේ ඛේදවාචකය වූ ඉතාලිය මේ වන විට යළි හිස එසවීමට වෑයම් කරමින් සිටී. පසුගියදා ඉතාලි අගමැති ගියුසෙප් කොන්ටේ පවසා සිටියේ ඉදිරියේදී යළිත් රටතුළ කර්මාන්ත ආරම්භ කිරීමට කටයුතු කaරන බවයි. මැයි මාසය අවසන් වීමට පෙර රට යළි පෙර පැවති තත්ත්වයට පත් කර ගැනීමට උපරිම උත්සාහ දරන බවටද අගැමතිවරයා පවසා තිබේ.

සිංගප්පූරුව සහ ජපානය

කොයි මොහොතක හෝ වයිරසයේ පැතිරීම පාලනයෙන් ගිලිහිය හැකි ලක්ෂණ පෙන්වූවද මේ දෙරටම නීති ලිහිල් කිරීමේ සහ වයිරසය පාලනය කිරීමේ උත්සාහයන් අත්හැර දමා නැත. ඒ අනුව ඉදිරි දිනවලදී කඩසාප්පු ආරම්භ කෙරෙනු ඇති අතර කර්මාන්ත රාශියක් මේ දෙරටේම මේ වන විටත් ක්‍රියාත්මකය.   

Comments