දැනට කොරෝනා වසංගත තත්ත්වයේ ඇති වී තිබෙන හදිසි වැඩිවීම බොහෝදුරට තාවකාලික වර්ධනයක් විය හැකි නමුත් රෝගී ව්‍යාප්තිය පැවතිහොත් මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ පරිදි මහ මැතිවරණය ජූනි මාසයේ 20 වනදා පැවැත්වීමට නොහැකි විය හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම ආණ්ඩුවේ ස්ථාවරත්වය සහතික කිරීමට හැකි ඉක්මණින් ජන වරමක් අවශ්‍ය බව නොරහසකි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිවරණය සඳහා නව දිනය නිවේදනය කළේ කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා සමඟ පමණක් නොව සෞඛ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂ නිලධාරීන් සහ වෘත්තීයවේදීන් ද සමග අදහස් හුවමාරු කරගැනීමෙන් පසුවය. කෙසේ වුවද මැතිවරණ තීරණය ගැන පසුවිපරමක් කිරීමට කොමිසම යළි රැස්වීමට නියමිතය.
ඒ අතර විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත කරන ලෙස ය. එසේ නොකරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ය.
මෙය කිසිසේත් ප්‍රායෝගික යෝජනාවක් නොවන බව දේශපාලන විද්‍යාව සහ ව්‍යවස්ථාව පිළිබඳ සුළු හෝ දැනුමක් සහිත සියළු දෙනාට පැහැදිලි කරුණකි. එම පාර්ලිමේන්තුව 15 ලක්ෂයක වැඩි ඡන්දයකින් ජනාධිපති තනතුරට පත්වූ පසුව ද මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමට ඉඩ නොදුන් බව අමතක නොකළ යුතුය.
නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනවරමක්
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර් ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනවරමක් ද පතමිනි.
ඒ හා සමඟම බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ට උඩගෙඩි දෙන පිරිස්වල සහයෙන්, කිසි විටෙකත් රජයක් නොපිහිටුවන බවට ප්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම පාවා දෙන ලෙස ය.
එපමණක් ද නොවේ. බෙදුම්වාදීන්ගේ හා ආගමික අන්තවාදීන්ගේ බලයට නතුව ඇති, පැවති පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. එමෙන්ම, කොරෝනා මර්දනයට ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත.
සුමන්දිරන් මහතා කර ඇති ප්‍රකාශ වලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනටම සැලසුමක් පවතින බවයි. එවන් යෝජනාවක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි.
එවිට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ. මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී, ආගම්වාදී අන්තවාදීන් ගේ සැලසුම් පරාජය කළ හොත් පමණකි.
රටේ ස්ථාවරත්වය සඳහා මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම සඳහා නව පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ගත් තීරණය බහුතර ජනතාවගේ ප්‍රසාදයට පත් වී ඇති නමුත් සුළුතර පිරිසක් එයට විරෝධය පළකර තිබේ.
අධි අවදානමක් සහිත වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු මහ මැතිවරණය පැවැත්විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මැතිවරණය අත්‍යාවශ්‍ය වී තිබෙන බැවින් කොරෝනා වසංගතය සෑහෙන දුරට පාලනය කර ඇති අවස්ථාවකදී මහ මැතිවරණය පැවැත්විය හැකි බව වැඩිදෙනාගේ අදහස ය.
රෝගීන් බහුල දිස්ත්‍රික්කවලද නිරෝධායන තත්ත්වයන් යටතේම ඡන්දය විමසීම පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ, ආරක්ෂක හමුදාවල සහාය මැතිවරණ කොමිසමට හිමිවන බව නිසැකය. එම දිස්ත්‍රික්කවලද අවදානම් රහිත කොටස් තුළ සාමාන්‍ය පරිදි ඡන්ද විමසීම පැවැත්වීමට කිසිඳු බාධාවක් නැත.
කෙසේ වුවද මෙය ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවන් මධ්‍යයේ මහ මැතිවරණයක් පවත්වන ප්‍රථම අවස්ථාව නොවේ.
කොරෝනා අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා
1989 මහ මැතිවරණය පැවැත්වූයේ උතුරු නැගෙනහිර විශාල ප්‍රදේශයක දෙමළ ත්‍රස්තවාදීන්ගේ තර්ජනත්, දකුණේ සෑම දිස්ත්‍රික්කයටම වාගේ ජනතා විමුක්ති පෙරමුණේ එවකට පැවති ආයුධ සන්නද්ධ කැරලිකරුවන්ගේ තර්ජනක් පවතින අවස්ථාවක ය.
දකුණේ සමහර ඡන්ද පොළවල එක් ඡන්දයක් හෝ භාවිත කර නොතිබුණේ ඡන්ද දායකයින් ඝාතනය කරන බවට හෝ ඔවුන්ගේ ඇඟිලි කපා දමන බවට ජ.වි.ප.ය. කළ තර්ජනය නිසාය.
උතුරේද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එබඳු තර්ජන පැවැතුණේ ⅓කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවකට ඡන්දය දීමට අවස්ථාව නොලැබුණු අතර; ඡන්දය දුන් 63%න් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂයට 50.7% ක් එනම්, ඉතා සුළු වැඩි ඡන්දයක් ලැබී පාර්ලිමේන්තුවේ බලය හිමි විය.
ඒ 31ක් වසරකට පෙරදීය. මීට දෙසතියකට පෙර දකුණු කොරියාව කොරෝනා වෛරස තර්ජනය හමුවේ මහ මැතිවරණය බවට එය පත්විය.
පාලක ජනාධිපති මුන් ජාන් යින් ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 300න් 180ක්ම හිමි විය.
එය දකුණු කොරියාවේ අවු. 33ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයයේ එක් පක්ෂයක් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය යි.
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය අවශ්‍ය යැයි හෝ අනවශ්‍යය යැයි තර්ක නගන දෙපාර්ශ්වයේ තර්ක බොහෝ දුරට ඔවුන්ට මැතිවරණයේ දී ලැබිය හැකි ආසන සංඛ්‍යාවේ ප්‍රතිබිම්බයක් ලෙස දැක්විය හැකිය.
අති විශාල ජයග්‍රහණයක් බලාපොරොත්තු වන පොදුජන පෙරමුණ සහ එහි හවුල්කරුවන් හැකි ඉක්මණින් මැතිවරණයක් බලාපොරොත්තු වන අතර සිය ආසන බොහෝ දුරට අහිමි වී යැයි සිතන විපක්ෂ දේශපාලඥයින් ඡන්ද විමසීමට විරුද්ධව විවිධ තර්ක ගෙන ඇත.
විපක්ෂයේ එක් විශේෂඥයෙක් කියා සිටියේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම පහළොස් ලක්ෂයකට අධික ඡන්ද දායකයින්ගේ ජීවිත වලට එල්ල කෙරෙන භයානකම අනතුර බවයි.
මහ මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්වීමට විරුද්ධව තර්ක කරන අය ලොව කොරෝනා වසංගතයෙන් පීඩිත රටවල් ලැයිස්තුවේ 35 වන ස්ථානයේ පසුවන දකුණු කොරියාව හඳුනාගත් රෝගීන් 10,760 ක්ද, කොරෝනා මරණ 246 ක්ද වාර්තා වී ඇති මේ අවස්ථාවේදී සාර්ථක ලෙස ඡන්දයක් පැවැත්වීමට සමත් වූ ආකාරය ගැන කතා කරන්නේ නැත.
ඔවුන්ට අමතක තවත් කරුණක් නම් ශ්‍රී ලංකාව කොරෝනා පීඩිත ලැයිස්තුවේ 101 වන ස්ථානයේ පසුවන බවත් රෝගීන් 925 කින් මියගොස් ඇත්තේ 09ක් පමණක් බවත්ය.
එමෙන්ම කොරෝනා අභියෝගය සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාවට 09 වන ස්ථානය හිමි වූ බවට පසුගියදා පැවැති අපක්ෂපාතී සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.
විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නෑ
පසුගියදා සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමා කිසිසේත් අදහස් නොකරන බවය.
ජනාධිපතිවරණයේදී තමන්ට ලබාදුන් වරම අනුව පාර්ලිමේන්තුව තවදුරටත් නිසි ජනතා නියෝජනයක් නොකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජූනි 02 වැනිදාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03ක් සම්පූර්ණ වේ. රාජ්‍ය පාලන කටයුතු සඳහා අරමුදල් සඳහා අතුරු සම්මත ගිණුම් අනුමත කරගැනීමේ අවශ්‍යතාවයක් ද පවතී.
ඒ අතරට විපක්ෂය ව්‍යවස්ථා අර්බුදයක් ගැන ද තර්ක ගෙන එති. මේ සියලු ප්‍රශ්නවලට ඇති පිළිතුරු නම් මහ මැතිවරණය හැකි ඉක්මණින් පවත්වා ජනවරම සනාථ කිරීමය.
ත්‍රස්තවාදී තර්ජන හමුවේ මහ මැතිවරණ පැවැත්වූ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමට සීමිත වසංගත තත්ත්වයක් යටතේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නොහැකි යැයි තර්ක කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බවටත්, මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයටත් කෙරෙන නිගරුවකි.
ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට 1931 සිට පූර්ණ කැපවීමක් පෙන්නුම් කරමින් අවුරුදු 90 කට වැඩි ඡන්ද ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවාසීන්ට සිය ඡන්ද අයිතිය ලබාදීම රජයේත් මැතිවරණ කොමිසමේත් පමණක් නොව සියලුම දේශපාලන පක්ෂවල වගකීමකි.