
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තේරී පත්වී තිබේ. අයි.පී.එල්. ඉතිහාසයේ විශිෂ්ටම පිතිකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක ඒ.බී ඩිවිලියර්ස් තේරී සිටින අතර වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වශයෙන් ඉන්දීය නායක විරාට් කෝලි නම්කර තිබේ.
2009 සිට 2019 දක්වාම මුම්බායි කණ්ඩායමට පමණක් සිය දායකත්වය දුන් ලසිත් මාලිංග අයි.පී.එල්. ඉතිහාසයේ තරග 122 කදී කඩුලු 170 ක් දවාගෙන ඇත. ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කර ඇති මාලිංග කඩුලු 5 බැගින් එක් අවස්ථාවකදී සහ කඩුලු 4 බැගින් අවස්ථා 6 කදී දවාගෙන ඇත.
ඒ.බී ඩිවිලියර්ස් 2008 සිට 2019 වසර දක්වා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම් සඳහා ක්‍රීඩාකර ඇති අතර තරග 154 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 33 ක් සමගින් ලකුණු 4395 ක් රැස්කර තිබේ. ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ ලකුණු 133 කි.ෙ
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ඉන්දීය නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස තේරී පත්විය. අයි.පී.එල්. ආරම්භවූ 2008 වසරේ සිට මේ දක්වා තරග 177 කට සහභාගිවී ඇති කෝලී ශතක 5 ක් සහ අර්ධ ශතක 36 ක් සමගින් ලකුණු 5412 ක් රැස්කර ඇත. ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ලකුණු 113 කි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි සහ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විශිෂ්ටම නායකයන් බවට පත්ව සිටිති. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වසර 10 ක් පුරා නායකත්වය දුන් දෝනි ඉන් අවස්ථා 3 කදී ශූරතාවයත්, අවස්ථා 5 කදී අනුශූරතාවයත් කරා සිය කණ්ඩායම මෙහෙයවීමට සමත්විය.
අනෙක් අවස්ථා දෙකෙහිදී අවසන් පූර්ව වටයට සිය කණ්ඩායම ගෙන යෑමට දෝනි සමත්වූ අතර 2016 සහ 2017 වසර වලදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තහනමකට ලක්විය. 2013 දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා බවට පත්වූ රෝහිත් ශර්මා 2013, 2015, 2017 සහ 2019 යන වසර වලදී ජයග්‍රහණ හතරකට නායකත්වය දුන්නේය. චෙන්නායි සුපර් කිංග්ස්හි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයකු වන ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගත්තේය. 2008 වසරේ සිට 2019 දක්වා තරග 134 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 19 ක් සමගින් ලකුණු 3575 ක් ලබාගත් වොට්සන් කඩුලු 92 ක් දවාගෙන ඇත.හොඳම පුහුණුකරු ලෙස තේරී පත්වූයේ චෙන්නායි සුපර් කිංග්ස් හි ස්ටීවන් ෆ්ලෙමිංය.
මෙම ලැයිස්තුව තෝරාගනු ලැබුවේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විශේෂ ජූරි සභාවක් වන අතර සාමාජිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත වූ එයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ 20 ක්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීයෝ 10 ක්, සංඛ්‍යාලේඛන විශේෂඥයෝ 10 දෙනෙක් සහ ක්‍රිකට් විශ්ලේෂකයෝ 10 ක් ඇතුළත් වූහ.
කොවිඩ්19 වසංගතය හේතුවෙන් සමස්ත ඉන්දියාවම මේ වන විටත් වසා දමා ඇති අතර 13 වන අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.










