රැඳවියා තාප්පයෙන් වැටී මරු දකියි | සිළුමිණ

රැඳවියා තාප්පයෙන් වැටී මරු දකියි

මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කළ පුද්ගලයෙක් තාප්පයෙන් වැටී මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (02) දින අලුයම 3.00 ට පමණ බන්ධනාගාරයේ "O" වාට්ටුවේ රඳවා සිටි 09 දෙනෙක් මෙලෙස පැන යාමට තැත් කොට තිබේ.

මෙම රැඳවියන් බන්ධනාගාරයේ ආරක්‍ෂිත කම්බි වැට කපා පැන යන අයුරු බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන්ට බිය ගැන්වීමට අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇත.

එහිදී එක් රැඳවියෙකු තාප්පයෙන් පැන යාමට උත්සහ කොට ඇති අතර ඔහු ඉන් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු තුනක් තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් ද වේ.

මේ අතර පළායාමට තැත් කළ සෙසු රැඳවියන් 08 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් එම පරිශ්‍රය තුලදීම සිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් පරීක්ෂණයක් සිදුකරන අතර ඊට අමතරව බන්ධනාගාර මුලස්ථානය වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

 

Comments