අපේ මුතුන් මිත්තන් වසංගත වළක්වාගත්තේ මෙහෙමයි | සිළුමිණ

අපේ මුතුන් මිත්තන් වසංගත වළක්වාගත්තේ මෙහෙමයි

  • නිරෝධායනය වන පවුලක් බව එදා දැක්වූයේ කොහොඹ කොළ සමඟ ගොක් කොළ පෙළක් කඩුල්ලේ එල්ලීමෙන්
  •  නිවෙසට එන විටත් බැහැර යන විටත් අත් පා සෝදාගන්නා ඖෂධීය ශාකසාර අඩංගු ‘පා දිය බදුන’
  • බෝවන රෝගය ඇති රෝගීය සමාජයෙන් මෙන්ම පවුලෙනුත් හුදකලා කරමින් කාමරයක තැබීම එදා අකුරටම පිළිපැද්දා

ලෝකය පුරා පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟ ව්‍යවහාරයට එක් වූ පොදු යෙදුමක් වූයේ ‘නිරෝධායනය’ යි. රෝගයක් වැළැක්වීම සඳහා වෙන් කොට තැබීම හෙවත් ව්‍යාප්තිය වැළැක්වීම යන්න එයින් අදහස් කෙරේ. ඒ මඟින් රෝගයක් පැතිරීම පාලනය කිරීම මූලික අරමුණයි.

එම සංකල්පයෙහිලා සිංහල ජනදිවියේ යටගියාව අධ්‍යනය කරන විට නූතන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද අබිබවා යන තරමට දියුණු සංස්කෘතියක් අපට උරුමව තිබිණි.

අපේ පැරැන්නන් දෙදෙනෙකු හමු වූ විට එකිනෙකා ආචාර කරන ලද්දේ දෙඅත එක්කොට ‘ආයුබෝවන්‘ කීමෙනි. ආයු බොහෝ වේවා යන්න එහි මුඛ්‍ය ප්‍රාර්ථනයයි. කෙනෙකු හමු වූ විට ඔහුගේ හෝ ඇයගේ ආයුෂ වැඩිවේවා යන්න මුහුණට ප්‍රකාශ කිරීම කොතරම් මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් ද? එය ශ්‍රවණය කරන්නාට කොතරම් ධනාත්මක සිතුවිල්ලක්ද? එමඟින් ඔවුනොවුන්ගේ සිත් තුළ අනෙකා කෙරෙහි ඇති කරන හෘදයාංගම බැඳීම කොතරම්ද? ඒ මඟින් කෙනෙකුගෙන් අනෙකාට රෝග කාරකයක් පැතිරයෑමක් සිදු නොවන්නේ එකිනෙකා ස්පර්ශවීමක් සිදු නොවන බැවිනි.

අතීතයේ ජීවත් වූවෝ ස්වකීය ජීවිතයට ආදරය කරන්නේ යම්සේද ඒ තරමටම සෙසු අයගේ ජීවිතවලට ගරු කළහ. ඔවුහු ආගමික නැඹුරුවක් සහිත අවංක ජීවිත ගත කළ බැවින් සමාජයෙන් කිසිවක් වසන් කර තබා ගැනීමට අවශ්‍ය නොවූ ස්වයං විනයක් ක්‍රියාත්මක විය.

එනිසාම සමාජයට අහිතකර බෝවන රෝගී තත්වයන් වසන් නොකර, හෙළි කරන සංස්කෘතික වටිනාකමක් අතීත ජනසමාජයට උරුමව තිබිණ. කිසියම් බෝවන රෝගී තත්වයකින් පෙළෙන කෙනෙකු සිටින නිවසක ඒ බව පෙන්නුම් කළ අවාචික සන්නිවේදන ක්‍රම ක්‍රියාත්මක වූයේ ඒ අනුවය. එවැනි නිවසක ප්‍රධාන දොරටුවේ කොහොඹ පත්‍ර රිකිලි කිහිපයක් එල්ලා තැබීම මූලික සිරිතක් විය. ඒ අනුව බාහිර පුද්ගලයෙකු එම නිවසට ඇතුළු වීම සිදු නොකළ අතර, රෝගය සුව වන තෙක් එම නිවැසියකු බාහිර ගෙදරකට යාම් ඊම් ද සිදු නොකරන චර්යා රටා පද්ධතියක් අතීතයේ ක්‍රියාත්මක විය.

අදාළ නිවසේ එක් අයෙකුට වඩා රෝගයෙන් පෙළෙන්නේ නම් තත්ත්වය ඊට වඩා බරපතළ විය. අදාළ නිවසේ කඩුල්ල හරහා වැල්පොටක ඇමුණන ලද කොහොඹ පත්‍ර අදිනු ලැබේ. යම් හෙයකින් නිවසේ සියල්ලෝම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ නම් කොහොඹ පත්‍ර සමඟ සිහින්ව තීරු කළ ගොක්කොළ පෙළක් කඩුල්ලේ එලලා තැබීය. එය දකින ගම්වැසියෝ එම නිවසට හෝ ගෙවත්තට ගොඩ නොවූ අතර, නිවැසියන්ගේ අවශ්‍යතා නොඅඩුව පිරිමසා දුන්හ. ඔවුන්ට අවශ්‍ය ආහාර, කැඳ වර්ග මෙන්ම ඖෂධ වැනි දේ ඉදිකඩ හෙවත් කඩුල්ල අසල සුරක්ෂිතව තබා ගියහ. නිරෝධායන සංකල්පය අපේ මුතුන් මිත්තන්ට අලුත් දෙයක් නොවූයේ ඒ නිසාය.

රෝග නිවාරණය වෙනුවෙන් ගත යුතු ආරක්‍ෂක ක්‍රමවේද ඒ අතරතුර ක්‍රියාත්මක කිරීම සිදු කළහ. එය ආකාර කිහිපයකින් ක්‍රියාත්මක වීම ඔස්සේ වසංගතය මුළුමනින්ම මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු විය.රෝගය පැතිර යෑම අවම කිරීම, රෝගයට බඳුන් වූ අයගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම, අදාළ නිවසේ සාමාජිකයන්ගේ මෙන්ම ගමේ සෙසු අයගේ මානසික ශක්තිය ඉහළ නැංවීම එහිලා ප්‍රධාන විය.

මේ වෙනුවෙන් ගමේ ගමරාල, වෙදරාල, උණ්ඩියරාල, නැකැත්රාල වැනි ග්‍රාමීය නායකයෙකුගේ හෝ ඒ සියල්ලන්ගේ මැදිහත්වීම සිදු විය. ගමේ සාමූහිකත්වය මත පදනම් වූ එම සංවිධානගත ක්‍රියාවලිය මෙන්ම භාවිත වූ ක්‍රමවේදයන් පුදුම සහගතය.

රෝග නිවාරණයෙහිලා කොහොඔ, දෙහි, ඉඟුරු, නික වැනි ශාක පත්‍ර හා අවශේෂ ඖෂධවලට මුල්තැනක් හිමි විය. ඇතැම් කුෂ්ඨ රෝග වැනි දේ වැලඳුණු රෝගීන් කොහොඹ ලෑලි මත නිදා ගැනීමට සැලැස්වූයේ එවැනි ආයුර්වේද සංකල්ප මුල් කර ගනිමිනි. නිවසේ දොරකඩ අසල බඳුනක පිරිසුදු ජලයට මිශ්‍රකළ ශාකසාර මැටි බඳුනක් තිබිණි. විෂබීජ හරණය මූලික කොට ගත් එහි සම්මත ඔසු වර්ග මිශ්‍ර ජලය දිනකට දෙවරක් මාරු කෙරෙයි. විශේෂයෙන්ම බොහෝ පළාත්වල එවැනි ‘පා දිය බඳුන්‘ මෑත කාලයක් දක්වාම භාවිත කෙරිණි. නිවසින් බැහැරව යන විටත් ආපසු නිවසට එන විටත් පා දිය බඳුනින් අත් පා දෝවනය කිරීම සමාජ සම්මත සිරිතක් විය. විෂබීජහරණය එහි මුඛ්‍ය තේමාව වූ බවට තහවුරු වන්නේ ඒ සඳහා කොහොඹ පත් යුෂ, අමු කහ, කාබන් සංයුතිය අධික දර අඟුරු මිශ්‍ර ජලයට අමු දෙහි ගෙඩි කපා දමා තිබූ නිසාය.

අද වන විට අතීත සමාජයේ පැවති බොහෝ සාම්ප්‍රදායික දැනුම නූතනත්වය හමුවේ දියවී යමින් තිබේ. අනවබෝධය, නොදන්නාකම, සහ නොසැලකිල්ල එම තත්වයට පසුබිම් වී තිබේ. සමාජ පරිණාමය ඇතුළු තවත් බාහිර කාරණා ගණනාවක බලපෑම නිසා ඇතැම් කාරණාවන්හි වටිනාකම් මෙන්ම වෙනස්කම් තවදුරටත් තේරුම්ගැනීම අපහසුය.

විෂබීජහරණයෙහිලා වැඩිවශයෙන් අත් පා දෝවනයට අවධානය යොමු වී තිබේ. ලෝකයේම වැඩි වශයෙන් අවධානයට මෙන්ම කතාබහට යොමුවී ඇති වකවානුවක එම ක්‍රියාව තවදුරටත් අපේ අයට අලුත්දෙයක් නොවීය.

වසංගත වැනි බෝවන රෝග දවස් 14 හෝ 21 ක් පවතින බව අපේ පැරැන්නෝ සමාජ සම්මත දැනුමෙන් පිළිගෙන තිබූහ. නූතන වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේද මඟින්ද ඒ බව තහවුරුය. වර්තමානයේ පැපොල වැනි ආසාධන රෝගී තත්වයන් සඳහා අතීතයේ පටන් ම සමාජයෙන් හුදකලාව ජීවත් වීම චාරිත්‍රයක් බඳු විය. එවැනි බෝ වන රෝග තත්වයන් ‘දෙයියන්ගේ ලෙඩ‘ ලෙස හඳුන්වා රෝගියා නිවැසියන්ගෙන් පවා හුදකලා කොට තබන ලද්දේ නිරෝධායන් ක්‍රමවේදයේ මූලික සංකල්ප අපේ පැරැන්නන් අවබෝධ කරගෙන තිබූ බැවිනි. ඒ අනුව අතීතයේ ‘දෙයියන්ගේ ලෙඩ’ නිරෝධායනය කළේ සරල විද්‍යාත්මක සංකල්ප ගැමි සමාජය තුළ ක්‍රියාත්මක කරමිනි.

සමාජීය වශයෙන් “තහංචි” ලෙස හඳුන්වන ලද දේ සිදු කිරීම සමාජයේ පොදු පිළිකුළට හේතු විය. කඩුල්ලේ කොහොඹ කොළ එල්ලා ප්‍රකාශ කරන්නේ කඩුලු තහංචියකි. ගමකට වසංගතයක් වැලඳුණු විට ගමට ඇතුළු වන ප්‍රවේශ මාර්ගවල “වසංගත වැටි” දැමීමෙන් ප්‍රකාශ කෙරෙන්නේද නිරෝධායන සීමාවක් හෙවත් තහංචියකි. ඒ ඔස්සේ සිදු කළ සන්නිවේදන ක්‍රියාවලිය වූකලි වසංගත රෝග පැතිරීමේ අවදානම අවම කිරීමයි.

රෝගීන්ට සත්කාර කරන කණ්ඩායම මෙන්ම පවුලේ උදවිය නිරන්තරයෙන් ඉහත සඳහන් කළ ඔසු වර්ගවලින් අත් පා දෝවනය කළේය. දෙහි, යකිනාරං වැනි පැඟිරි වතුරෙන් තෙමීම මෙන්ම අඹරන ලද අමු කහ තවරා තම අත් පා පවිත්‍ර කර ගත්හ. ප්‍රතිශක්තියෙන් අඩු නිසා කුඩා දරුවන්ගේ බෙල්ලේ අමු කහ කැබැල්ලක් එල්ලා තැබීම සිදු කළහ. කිසිවක් නොතේරුණ නොදරුවෝ එම අමු කහ කැබලි කටේ දමා හපන විට එහි යුෂ ඉබේම ගිලේ. එවිට ඔවුන් තුළ ප්‍රතිශක්තිය ජනිත වේ.

රෝගියා නිදා සිටින ඇඳේ, කාමරයේ බිත්තිවල සහ උඩට වියනක් සේ මෙන්ම නිවස ඇතුළත සහ පිටතත් කොහොඹ පත් එල්ලා තබමින් විෂබීජහරණයට කටයුතු යෙදේ. රෝගී අයගේ සිරුරේ අමු කොහොඹ දලු අඹරා ඇඟේ ගෑම සිදු කළහ. රජරට ගැමියෝ අද ද මළගෙදරක ගිය පසු නැවත නිවසට පැමිණෙන්නේ හිසේ පැඟිරි තවරා දිය නා පිරිසුදු වීමෙන් පසුය.

වසංගත රෝගයක් වැලඳුණු රෝගියාගේ සිරුරේ ප්‍රතිශක්තිය ගොඩනැඟීම අතීතයේ සිදුකෙරුණු තවත් වැදගත් කටයුත්තකි. එවැනි තත්ත්වයේ නිවසක මස් මාංශ ආහාරයට ගැනීම තාවකාලිකව අත්හිටුවයි. පලා මාංශ ලෙස හඳුන්වන මියෙන දලු, බර කොකු වැනි අධිපෝෂණ පලාවර්ග භාවිතය පවා නතර කෙරෙයි. දිරවීමට පහසු, සැහැල්ලු ආහාර ලබාදෙයි. සිරුරේ ප්‍රතිශක්තිය වඩවන කරපිංචා, මොනර කුඩුම්බිය වැනි කොළකැඳ මෙන්ම වෙනිවැල්, ඉගුරු, කොත්තමල්ලි වැනි ඔසුපැන් ලබාදීමෙන් සිරුරේ ප්‍රතිශක්ති හැකියාව ඉහළ නැංවීය.

රෝගයට බඳුන් වූ අයගේ මානසික ශක්තිය ඉහළ නැංවීම වෙනුවෙන් යම් යම් දේ සිදුකෙරිණි. ඒවා බොහෝවිට ආගමික හෝ ජනඇදහිලි විශ්වාස මත පදනම් වුවත් ඒ මඟින් ඇති කළ මානසික උත්තේජනය ප්‍රබල විය. රෝගී අය වෙනුවෙන් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වමින් සෙත්සුව ප්‍රාර්ථනා කිරීම, දෙවියන්ට භාරහාර වීම ආදිය මඟින් මානසික සහනයක් ඇති කිරීම ඒ අනුව සිදු කෙරිණි.

අපට දියුණු ආහාර සංස්කෘතියක් තිබූ බව අතීත ජන සමාජයේ ආහාර පරිභෝජන රටාවෙන් තහවුරු වෙයි. වසංගත රෝගවලට මෙන්ම වර්තමානයේ බෝ නොවන රෝගවලට මිනිසුන් ගොදුරු වීම වැඩිවන්නට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ අපගේ සාම්ප්‍රදායික ආහාර රටාවෙන් ඉවත් වීම බව පැහැදිලිය. අතීතයේ පටන් විටින් විට විවිධ වසංගත ලංකාවට ඇති වූ බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. ඒ සෑම අවස්ථාවකම අපේ පැරැන්නෝ ඒවායෙන් වැළකී ඇත්තේ ඔවුන් සතුව තිබූ සමතුලිත ආහාර රටාව මත පදනම් වූ ඉහළ ප්‍රතිශක්තිය ගුණය හේතුවෙනි. එබැවින් යටපත්ව ගිය අපේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් කුණුකූඩයට යා නොදී රැකගැනීම වගකිවයුතු සියලු දෙනාගේ යුතුකමකි.

 

Comments