බ්‍රිතාන්‍යය ශීඝ්‍රයෙන් වැඩිම මරණ අතරට | Page 2 | සිළුමිණ

බ්‍රිතාන්‍යය ශීඝ්‍රයෙන් වැඩිම මරණ අතරට

කොව්ඩ් ලෝකයම ගිල ගනිමින් සිටියදී කිසිඳු සතුටුදායක පුවතක් අසන්නට නොලැබීම ඉතා කණගාටුදායකය. වයිරසය පැතිර ගිය රටවල් රාශියක ජනතාව දිනකට දහස් ගණනින මිය යමින් සිටියදී රටවල් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් රෝගය පාලනය කර ගැනීමට සමත් විය. එහෙත් දැන් ලැබෙන තොරතුරුවලට අනුව රෝගය පාලනය කර ගැනීමට සමත් වූ ඇතැම් රටවල්ද යළිත් වරක් කොවිඩ් වයිරසයේ ග්‍රහණයට නතු වෙමින් තිබේ. මේ කණගා‍ටුදායක පුවත් සමස්ත මිනිස් වර්ගයාගේ බලාපොරොත්තු බිඳ වට්ටන සුළු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය ජනවාරි මාසයේදී චීනයේ කොවිඩ පැතිර යෑම දරුණු ලෙස සිදුවීමත් සමගම චීනයෙන් බාහිර රෝගීන් මුලින්ම වාර්තා වූ රටවල් අතර ජපානයද විය. විශේෂයෙන්ම ජපානයේ නැංගුරම් ලූ ඩයමන්ඩ් ප්‍රින්සස් කෲස් වර්ගයේ නෞකාව හේතුවෙන් ජපානයෙන් ශීඝ්‍රයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට විය. එහෙත් රෝගය දරුණු ලෙස රටතුළ පැතිර යෑම වළක්වා ගැනීමට ජපානය හැකියාව ලැබිණි. විශේෂයෙන්ම මේ දක්වා ජපානය වසා දැමීමටද අවශ්‍ය වූයෙ නැත. ඒ වෙනුවට ජපානයේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට එරට බලධාරීන්ට හැකියාව ලැබුණු අතර සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීමට නීති දැමීමටද අවශ්‍යතාවක් නොවීය. එයට හේතුව ලෙස ලෝකය පිළිගත්තේ ජපාන ජනතාව ඉතා විනයවත් ජනතාවක් වීමය. හුදෙක් රජය මගින් නිකුත් කරන නිවේදන පිළිගැනීම ජනතාව ඉතා හොඳින් සිදු කළ අතර ඒ සඳහා නීති පැණවීමක් හෝ පොලීසියේ අධීක්ෂණයක් අවශ්‍ය නොවීය.

එහෙත් මේ දක්වා එන්නතක් සොයා ගෙන නොමැති බැවින් ඕනෑම රටකට රෝගය පාලනය කිරීම සැමදා කළ නොහැකි බවට සාක්ෂි ඉදිරිපත් කරමින් ජපානය තම පාලනය යටතට ගැනීමට කොවිඩ් -19 වයිසරයට මේ වන විට හැකියාව ලැබී තිබේ. ජපාන රජය පසුගියදා හදිසියේ මුළු රටටම බලපාන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සිටියේ වයිරසය රට තුළ දරුණු ලෙස පැතිර යන බව තහවුරු වූ බැවිනි.

මැයි 6 වනදා වන තෙක් මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරමින් ජපාන රජය ජනතාවට පවසා ඇත්තේ නිවෙස්වලටම වී සිටින ලෙසයි. කෙසේ වුවද තවමත් එරට ජනතාව පාලනය කිරීම‍ට ආරක්ෂක අංශ යොදා ගැනීමට ජපාන රජය ක්‍රියා කර නැත.

කෙසේ වුවද මේ වන විට ජපාන ජනතාව තුළ අගමැති ශින්සො අබේ සම්බන්ධයෙන් කළකිරීමක් බවතින බව සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව බීබීසී වෙබ් අඩවිය සඳහන් කර තිබේ. ජනතාව පවසා ඇත්තේ රට වසා දැමීමේ තීරණය ගැනීමට අගමැතිවරයා ප්‍රමාදවන බවයි. එමගින් ව්‍යසනකාරී වාතාවරණයක් ඇතිවිය හැකි බව ජනතා අදහස වී තිබේ.

මේ වන විට ජපානයෙන් කොවිඩ් රෝගීන් 9,331 වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 190කි.

මේ අතර සමස්ත ලෝකයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ අඩුවක් ඇතැම් මාධ්‍ය විසින් නිරීක්ෂණය කර තිබේ. එසේ වුවද වර්ල්ඩ්මීටර්ස් වෙබ් අඩවිය දක්වන තොරතුරු අනුව සමස්ත ලෝකයෙන් වාර්තා වන කොවිඩ් ආසාධිතයන්ගේ වක්‍රය පෙන්වන්නේ අති ශීඝ්‍ර නැග්මකි. ඒ අනුව තවත් අවම සතියක කාලයක් තුළ ‍සමස්ත ලෝකයේ කොවිඩ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවනු ඇත. මේ වන විට මරණ සංඛ්‍යාවද 1,50,000 ඉක්මවා තිබීම අතිශයින් කණගාටුදායකය. ලොව පුරා ලක්ෂ 7ක ජනතාවක් කොවිඩ් රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා තිබේ.

මේ වන විටත් ලොව වැඩිම ආසාදිතයන් අමෙරිකාවෙන් වාර්තා වන අතර අතිශය කණගාටුදායක ලෙස වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේද අමෙරිකාවෙනි. මේ වන විට එරට මරණ සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ. දෛනිකව මරණ 2000කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර වාර්තා වන ආසාධිතයන්ගේද අඩුවක් වී නොමැත.

ඉතාලියද මේ දක්වා රෝගය පාලනය කළ බවට සතුටු විය හැකි වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ. මේ වන විට එරට වෛද්‍ය වෘත්තිකයන් තුන් දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ඒ අතර වෛද්‍යවරු සියදෙනෙක් පමණ සිටින බවද වාර්තා වේ. ඉඳහිට එක් දිනයක හෝ දෙකකදී ඉතාලියේ ආසාධිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පහළ ගියද එය ස්ථීරව පවත්වා ගැනීම අපොහොසත් වී තිබේ. එරට ‍දෛනික රෝගීන් සංඛ්‍යාවන් නිශ්චිතව වාර්තා කිරීමේ අපහසුතා උද්ගත වී ඇති අතර මරණ 22,170ක් මේ ලියන අවස්ථාව වන විට වාර්තා වී තිබේ. ඉතාලිය ආසන්නයෙන්ම ස්පාඤ්ඤය පැමිණෙමින් සිටින අතර මේ වන විට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 19,315කි. යුරෝපා මහාද්වීපය සැලකූ විට ප්‍රංශය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යයද ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා කර තිබේ. එහෙත් පසුගිය සතියේ මෙන්ම මේ වන විටත් ජර්මනිය අඛණ්ඩව තම රටේ මරණ සංඛ්‍යාව 4,000ක් තරම් අවම සංඛ්‍යාවක පවත්වා ගැනීමට සමත් ව සිටින අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරට රටවල් අතරට බ්‍රිතාන්‍ය වේගයෙන් එක්වෙමින් තිබේ. මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 13,729කි.

දකුණු කොරියාවද ආසාදිතයන් 10,635ක් වාර්තා වී සිටියදී පසුගියදා එරට මැතිවරණය පැවැත්වූ අතර ඒ හේතුවෙන් රෝගයේ ව්‍යප්තියට කිසියම් බලපෑමක් සිදුවීද යන්න ඉදිරි දිනවලදී නිරීක්ෂණය කළ හැකි වනු ඇත. කෙසේවුවද ජපානය මේ වන විටත් දකුණු කොරියාවට වඩා අඩු ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා කර සිටියද ජපානය ආරක්ෂක ක්‍රියාමාර්ග දැඩි කරමින් සිටින බව පෙනේ.

මේ වන විට යුරොපයටත් වඩා ඛේදවාචක ඉස්මතු කරමින් සිටින්නේ වයිරසය මෑත කාලීනව ව්‍යප්ත වූ ලතින් අමෙරිකානු රටවලිනි. ඒ අතරින්ද ඉක්වදෝරය, බ්‍රසීලය යන රටවල ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සම්බන්ධව නිශ්චිත වාර්තා ඉදිරිපත් කිරීමට රජය අපොහොසත්ව සිටින බවට වාර්තා වී තිබේ. ලතින් අමෙරිකානු කලාපයේ පිරූ, කොළොම්බියා සහ ආර්ජන්ටිනාව යන රටවල්ද රෝගීන් දහස් ගණනින් වාර්තා කරමින් සිටී. මේ රටවල පොදුවේ කොවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනීමේ පර්යේෂණ අවමයෙන් සිදුවන බවද ප්‍රකාශිතය. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ රෝගයෙන් ආරක්ෂා වීමට කළ හැකි වැදගත්ම පියවර වන්නේ රෝගීන් තහවුරු කර ගැනීමේ පර්යේෂණ අඛණ්ඩව පැවැත්වීම බවයි.

මේ වන විට රෝගය අප්‍රිකා මහාද්වීපයටද පැතිර ගොස් ඇති අතර දැඩි උනුසුම් කාලගුණයෙන් හෝ දැඩි ශීත කාලගුණයෙන් වයිරසයේ පැතිරීහමට බාධාවක් සිදු නොවන බව තහුවරු වී තිබේ. අප්‍රිකා මහාද්වීපයේ මොරොක්කෝ සහ ඇල්ජීරියාව වැනි රටවල් ආසාදිතයන් දහස් ගණනින් වාර්තා කරමින් සිටී.

කෙ‍සේ වුවද මේ දක්වා කොවිඩ් - 19 වයිරසයෙන් ලෝකයට ගැලවීමක් ලැබෙන පාටක් හෝ පෙනෙන්නට නැත.

Comments