
මේ වන විට ලොවම අවබෝධ කරගෙන ඇති සත්‍යය නම් එන්නතක් සොයා ගන්නා තුරු කොවිඩ් - 19න් මිනිසාට ගැලවීමක් නොමැති බවයි. මීට පෙර ලොව පුරා කොවිඩ් - 19ට වඩා භයානක, මරණ අනුපාතය වඩා වැඩි, වඩා වේගයෙන් බෝ වන වසංගත පැතිර ගියද, ඒ රෝග සඳහා ඉක්මනින් එන්නත් සොයා ගැනීමට මිනිසාට හැකිවිය.
එහෙත් කොවිඩ් සඳහා මේ දක්වා නිශ්චිත සාර්ථක එන්නතක් සොයා ගැනීමට කිසිවකු සමත් වී නැත. රටවල් රාශියක්ම මේ වන විටත් ඒ සඳහා ස්වකීය කාලය, ශ්‍රමය සහ මුදල් කැප කරමින් සිටියද මේ දක්වා කිසිවකුත් සාර්ථක වී නැත.
මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක එන්නත් 70ක් පමණ පර්යේෂණ මට්‍ටමේ ක්‍රියාත්මක වෙමින් පවතී. ලොව පුරා ඖෂධ නිශ්පාදක පර්යේෂකයන් සහ සමාගම් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරමින් සිටින අතර ඇතැම් එන්නත් මේ වන විට සායනික පර්යේෂණ සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්ය.
මේ වන විටත් එන්නත් තුනක් රෝගීන් සම්බන්ධව පර්යේෂණ සඳහා ඉදිරිපත් කර තිබුණද ඒ සියල්ල ප්‍රතිඵලදායක නොවන බව තහවුරු වී තිබේ. ඒ අතරින් ප්‍රධාන එන්නතක් වන්නේ මීට පෙර පැතිර ගිය කොරෝනා වර්ගයේ වයිරසයක් වන සාර්ස් රෝගය සඳහා භාවිත කළ එන්නතේ වැඩි දියුණු කිරීමකි. එහිදී ප්‍රෝටීන් අණු මගින් ප්‍රතිදේහජනක වර්ධනය කිරීමටත් එමගින් ප්‍රතිදේහ නිපදවීමත් අපේක්ෂා කරන ලදී. එහෙත් එය සාර්ථක වූයේ නැත. මේ පර්යේෂණ සිදුකරණු ලැබුවේ චීනයේ බීජිංහි බීජිං ජීව තාක්ෂණ අධ්‍යාපන ආයතනයේදීය.
තවත් පර්යේෂණයක් අමෙරිකාවේ විද්‍යාඥයන් විසින් අරඹනු ලැබූ අතර ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥ සාරා ගිල්බර්ට් සහ ඇයගේ ශිෂ්‍ය කණ්ඩායම මේ පර්යේෂණ ක්‍රියාත්මක කළහ. චිම්පන්සින්ගේ ඇඩිනොවයිරස යොදා ගනිමින් සිදු කළ මේ පර්යේෂණයේදී ද කොරෝනා වයිරසයේ ප්‍රෝටීන අණු වෙන් කිරීම අපේක්ෂා කර තිබේ.
බොස්ටන් නගරයේ ක්‍රියාත්මක පර්යේෂණ කණ්ඩායම් විසින් තවත් එන්නතක් සම්බන්ධව සිදුකරමින් පවතින පර්යේෂණ තරමක් දුරට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් පවතින බව ප්‍රකාශ වී තිබේ. මේ එන්නත සඳහා සායනික පර්යේෂණ කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රෝගීන් වොශිංටන් නගරයෙන් යොදා ගැනීමට පර්යේෂකයෝ කටයුතු කර තිබේ. මාධ්‍ය වෙත නිකුත් කර ඇති තොරතුරු අනුව මේ අත්හදාබලමින් පවතින එන්නතද සාර්ස් එන්නතේ ප්‍රෝටීන් අණු වෙන් කිරීමේ ක්‍රමවේදයට සමානකම් දක්වන බවයි.
අමෙරිකාවේ ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඉනොවෝ ෆාමශූටිකල්ස් සමාගම විසින් එරට ෆෙඩරල් ඖෂධ අධිකාරියේ අවසරය මත එන්නතක් නිපදවා ඇති අතර අප්‍රේල් 6වැනිදා සිට එය සායනික පර්යේෂණ සඳහා ඉදිරිපත් කර තිබේ.
තවත් පුද්ගලයන් සහ ආයතන 67ක් කොවිඩ් සදහා එන්නත් නිපදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වී ඇති බවට වාර්තා ලැබී තිබේ.
යම් මොහොතක මේ අතරින් එකක් හෝ සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට සමත් වේද, එදා, ඒ මොහොතේ සිට ලෝකය සාමාන්‍ය ජීවන රටාවට ප්‍රවිශ්ට වනු ඇත.