ඉන්දියාව යමින් සිටින්නේ ඛේදවාචකයක් කරාද? | Page 2 | සිළුමිණ

ඉන්දියාව යමින් සිටින්නේ ඛේදවාචකයක් කරාද?

ඉන්දියාව මේ වන විට කොවිඩ් හේතුවෙන් මහත් භයංකාර ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින බවක් දකින්නට තිබේ. ඉන්දියාව යනු කොහොමත් සෞඛ්‍ය පහසුකම් අවම රටකි. එරට වෙසෙන අධික ජනගහණයට සාපේක්ෂව එය එසේමය. එරටේ දිල්ලිය ඇතුළු අධික නාගරික ප්‍රදේශවල වෙසෙන මිලියන ගණනක් මුඩුක්කු ජනතාව අතරට වංසගතයක් පැතිරීම යනු මරණ පමණක්ම විය හැකිය. කණගාටුවට මෙන් මේ වන විට ඉන්දියාව ගමන් කරමින් සිටින්නේද එවන් වූ ව්‍යසකයක් කරා ය.

ඉන්දියාව කොවිඩ් රෝගීන් සුළු වශයෙන් වාර්තා වන විට රට වසා දැමූමවද ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් අවසන් යැයි පැවසිය හැකිය. මේ වන විට එරටින් මූලය සොයා ගත නොහැකි රෝගීන්ද වාර්තා වෙමින් තිබෙන අතර එහි අර්ථය වන්නේ රෝගය පාලනය කිරීමේ අවස්ථාව සෞඛ්‍ය බලධාරීන් වෙතින් ගිලිහෙමින් පවතින බවයි.

පසුගිය අප්‍රේල් 12වැනිදා මාධ්‍ය වෙත ලැබී තිබුණා වාර්තා අනුව ඉන්දියාවෙන් හමුවී ඇති සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11,933කි මරණ සංඛ්‍යාව 329කි. කෙසේවුවද කොවිඩ් රෝගය සම්බන්ධව විශේෂඥයන් මත පළ කර ඇත්තේ ඉන්දියාවේ සැබෑ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙයට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි බවයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ඉන්දියාව දැනට සිදු කර ඇති කොවිඩ් පර්යේෂණ ප්‍රමාණය 1,95,748ක් පමණක් වීමයි. බැලූ බැල්මට එය විශාල සංඛ්‍යාවක් වුවද ඉන්දියාවේ සමස්ත ජනගහණය වන බිලියන 1.4ට සාපේක්ෂව බලන විට එම සංඛ්‍යාව ඉතා අවමයකි. එබැවින් ප්‍රමාණවත් පර්යේෂණ නොකෙරී ඇති බැවින් ඉහත සංඛ්‍යා බෙහෙවින් වැඩි අගයක් ගනු ඇති බවට විශේෂඥයන් සැක පහළ කර තිබේ.

තත්ත්වය මෙසේ වුවද ඉන්දියාව කොවිඩ් වයිරසය වඩා වැඩි පිරිසක් මේ වන විට කුසගින්න හේතුවෙන් බැටකමින් සිටිති. පසුගිය මාසයේදී අගමැතිවරයා විසින් රට වසා දැමීම ප්‍රකාශයට පත් කළ පසු නගරවල සේවයට පැමිණ යළි ස්වකීය ගම් රටවල් බලා යෑමට නොහැකි වූ දහස් ගණනක් ඉන්දියානුවන් හිස්ව ගිය මහාමාර්ග ඔස්සේ පා ගමනින් යළි තම නිවෙස් කරා ගමන් කිරීම ඇරඹු බවට වාර්තා දක්නට විය. මෙය ඉතා දුශ්කර ක්‍රියාවක් වූයේ ඉන්දියාව භූමි ප්‍රමාණයෙන් අති විශාල රටක් වන බැවිනි. එමෙන්ම මේ හේතුවෙන් දිල්ලියට සීමා වී පැවති ‍වයිරසය රටේ සෙසු ප්‍රදේශ වෙතද ව්‍යප්ත වීම සිදුවීමට ප්‍රබල පිටුබලයක් ලැබුණු බවට අනුමාන කළ හැකිය.

කෙසේවුවද මේ වන විට ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම කොවිඩ් රෝගීන් ශීඝ්‍රයෙන් වාර්තා වෙමින් තිබේ. නවදිල්ලි නුවරින් රෝගීන් 1500 ඉක්මවා වාර්තා වන විට ඉන්දියාවේ අතිශයින් දුගී ජනතාව ජීවත් වන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන තමිල්නාඩුව ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරමින් සිටීම එතරම් සතුටුදායක නොවන බව පැවසිය හැකිය. පසුගිය අප්‍රේල් 12 වැනිදා වන විට තමිල්නඩුවෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවමින් විය. මරණ ද 12ක් වාර්තා වී තිබුණේ තත්ත්වය තවත් බැරූරුම් කරමිනි.

එහෙත් දැනට ‍ඉන්දියාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙනි. එහි වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 178කි. දැනට මේ වාර්තා කණගාටුදායක නොවන බව පැවසිය හැකි වුවද කොවිඩ් රෝගයේ භයානක බව වන්නේ එය ඉතා කෙටි කලකින් අති විශාල ව්‍යප්තියක් පෙන්වීමය. මේ සඳහා හොඳම උදාහරණ වන්නේ රෝගය ඇමරිකාවේ සහ ඉතාලියේ පැතිර ගිය අන්දමය. ඒ අනුව මේ දත්ත පැහැදිලිවම තහවුරු කර සිටින්නේ ඉන්දියාව ඛේදාවචකයක් අබියස සිටින බවය.

මේ වන විටත් ඉන්දියාවේ සෞඛ්‍ය අංශ කොවිඩ් රෝගය සමග දරුණු සටනක නියැලී සිටින බවට වාර්තා ලැබී තිබේ. එහෙත් පුද්ගල දුරස්ථකරණය සාර්ථක කර ගැනීමට එරට ජනතාවගෙන් අගමැති මෝදිගේ රජයට හිමිවන්නේ ඉතා අවම සහයක් බව පෙනේ. ඊට හේතුව වන්නේ දෛනික ආදායම ලාභීන්‍ අතිවිශාල සංඛ්‍යාවක් සිටීමයි. මේ දෛනික ආදායම් ලාභීන් කුසගින්න හේතුවෙන් මේ වන විට රට වසා දැමීමට එරෙහිව සටන් බිමට පිවිස සිටිති. සැබවින්ම නොදන්නා ‍වයිරසයකට වඩා හොඳින් දන්නා කුසගින්න ඔවුන් ආදායම් මාර්ග යළි විවෘත කරන ලෙස ඉල්ලා සටන් වැදීමට පොළඹවා තිබේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම පොලිසිය සහ සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇතිවූ බවට වාර්තා ලැබී තිබේ.

රජය මගින් සහන සලසා දීමෙන් මේ ජනතාව පාලනය කිරීමට ඉන්දීය රජය ක්‍රියා නොකරන්නේ නම් ඉන්දියාව කඳුළු ගගක ගිලී යෑම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් ඒ වෙනුවට අගමැති මෝදි දෙවැනි වර දීර්ඝ කරන ලද රට වසා දැමීමේ තීරණය යම් අන්දමකින් ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටින බවක් පෙනේ. එහි ප්‍රතිඵල කෙසේ වනු ඇත්දැයි සිතා ගැනීමට හෝ නොහැකිය.

කොවිඩ් යනු බිඳිති මගින් ඉතා ඉක්මනින් පැතිර යන රෝගයක් වන අතර දැනට රෝගය පාලනය කිරීමට ඇති එකම විසඳුම වන්නේ පුද්ගල දුරස්ථකරණයයි.

කෙසේවුවද අපගේ කාරුණික අසල්වැසියා වන ඉන්දියාව ඛේදවාචකයකට මුහුණ දීමෙන් තොරව මේ ගැටලුවෙන් මිදෙන්නේ නම් එය අපටද සැනසිල්ලක් වනු ඇත.

Comments