නායකයා ‌වෙලා විස්සයි20 කිරුළ දිනනවා කිව්වේ මොන හේතුවකටද කියලා දන්නෙත් නෑ | Page 2 | සිළුමිණ

නායකයා ‌වෙලා විස්සයි20 කිරුළ දිනනවා කිව්වේ මොන හේතුවකටද කියලා දන්නෙත් නෑ

ශ්‍රී ලංකාව ක්‍රිකට් හරහා ලොව ප්‍රසිද්ධියට පත් රටවල් අතර ඉදිරියෙන්ම පසුවන බවට සැකයක් තිබිය නොහැකිය. විජයග්‍රාහී 1996 ක්‍රිකට් ලෝක කුසලානය සහ 2014 විස්සයි20 ලෝක කුසලානය අප රටේ ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සංධිස්ථාන දෙකකි. නොසිතූ මොහොතක කණ්ඩායමේ නායකත්වයට පත් වූ ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, 1996 ට පසුව ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූයේ, 2014 අප්‍රේල් 6 වැනිදායි.

එම විජයග්‍රහණයේ 6 වැනි සංවත්සරය සමරන මේ වසරේ, එවකට කණ්ඩායම මෙහෙය වූ ලසිත් මාලිංග ලෝක කුසලාන අවසන් මහා තරගය පැවති දිනය ගත කළ ආකාරය සහ අවසන් 24 පැයේ අත්දැකීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කණ්ඩායම සමඟ අදහස් හුවමාරු කරගෙන තිබුණි.

“ඇත්තටම ඒ මතකය ගැන කියනවා නම් මේ දේ ටිකක් කලින් වුන සිදුවීමක්. දවසක් මම පුහුණුකරුවන් සහ තවත් කීපදෙනෙක් ඉන්න තැනක දී කිව්වා බය වෙන්න එපා 2014 වර්ල්ඩ් කප් එක මං කැප්ටන් කරලා දිනාගෙන එනවා කියලා. මං දන්නේ නෑ මොන හේතුවක් නිසා එදා මම ඒ දේ කිව්ව ද කියලා. එතකොට මං කැප්ටන් වෙන්න හිතලවත් නැහැ. කොහොම හරි නවසීලන්තය එක්ක තිබුණ තරගය ජය ගත්තට පස්සේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් අයියා (ජයසූරිය) ඇවිල්ලා මට කිව්වා දිගටම කැප්ටන් කරන්නේ මම කියලා”.

“මේ ජයග්‍රහණයේ දී මුලින්ම කියන්න ඕන අපිට ලෝක කුසලානය දිනන අඩිතාලම දාල දුන්නේ රංගන (හේරත්) අයියා. ඒ තරගයේදි (සුපිරි 10 වටයේ නවසීලන්තය සමඟ පැවති තරගය) අපි ගැහුවේ ලකුණු 120ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඒත් රංගන අයියා තනියම මැච් එක දිනෙව්වා. ඒ දේ වුනේ නැත්නම් අපිට මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න වෙන්නේ නෑ. මේ ජයග්‍රහණයේ පළමු ගෞරවය හිමි විය යුත්තේ රංගන අයියට කියන එක මම කියන්න ඕන. එයා තමයි ඒ තරගයේ දී කඩුලු 6ක් අරගෙන අපිට නොසිතූ ජයග්‍රහණයකට පාර කැපුවේ”

1996 දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නේ අර්ජුණ රණතුංගගේ නායකත්වය යටතේයි. එම ජයග්‍රහණයට පසුව එක්දින සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි හතරක දී (2007, 2009, 2011 සහ 2012) ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණි නමුත් එම සෑම අවස්ථාවක දී ම අනුශූරයන් ලෙස සෑහීමට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදු වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසය.

2014 දී බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය විජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර ගෙවිගිය 06දාට ශ්‍රී ලංකාව එම හපන්කම පෙන්වා වසර 6කි. මේවන විටත් විස්සයි20 කණ්ඩායමේ නායකත්ව වගකීම් දරණ ලසිත් මාලිංගට, එහි රස මුසු තැන් බොහෝය.

මෙම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වූ අතර එහි ඉදිරියෙන්ම වූයේ කණ්ඩායමේ නායකත්ව ගැටලුවයි. එම ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා වූයේ දිනේෂ් චන්දිමාල්ය. නමුත් තරගාවලියේ සුපිරි 10 වටයේ එංගලන්තය සමඟ පැවති තරගයේ දී, නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකි වීම නිසාවෙන් චන්දිමාල් තරග තහනමකට ලක්විය.

චන්දිමාල්ට තහනම් වන්නේ එක් තරගයක් (සුපිරි 10 වටයේ නවසීලන්ත තරගය) පමණි. නමුත් චන්දිමාල් වෙනුවට, කණ්ඩායමේ අවසන් 11ට තේරී පත්වූ ලහිරු තිරිමාන්න දක්ෂතා අතරට පැමිණීමත්, එතෙක් උපනායකයා ලෙස කටයුතු කළ මාලිංග නායකත්ව වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සමත් වීමත් නිසාවෙන් අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල දී අකමැත්තෙන් වුවද චන්දිමාල්ට සිදු වූයේ බංකුවේ සිට තරග නැරඹීමටය.

සැබැවින්ම එම ලෝක කුසලාන ගමනේ අවසන් කණ්ඩායම් 4ට පිවිසීම සඳහා සුපිරි කණ්ඩායම් 10 යටතේ පැවති නවසීලන්තය සමඟ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය.

එම වැදගත් තරගයේ දී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. නමුත් සුපිරි පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සිය කර මතට තරගය ගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට දොරටු විවර කරමිනි.

මාලිංග පවසන අන්දමට විස්සයි20 ලෝක කුසලානය කරා යෑමට අවශ්‍ය අධිෂ්ඨානය සහ විශ්වාසය ගොඩනැගෙන්නේ එකි ජයග්‍රහණයෙන් පසුවය. ලෝක කුසලානය ජය ගැනීම සඳහා සියලු පිඹුරු පත් සැකසී තිබෙන්නේ ද අවසන් මහා සටනට පෙර දින රාත්‍රියේ එනම් 2104 වසරේ අප්‍රේල් 5 වැනිදා රාත්‍රියෙයි. එම අවසන් මෙහෙයුම සැලසුම් කර තිබුණේ මාලිංග ලැගුම් ගත් හෝටල් කාමරයයි.

“මට මතකයි තරගයට කලින් දවසේ රෑ අපේ සංචිතයේ ඔක්කොම පන්දු යවන්නන් සියලුම දෙනා මගේ කාමරයේ හිටියා. කොච්චර ජ්‍යෙෂ්ඨයෙක් වුනත් රංගන අයියත් (හේරත්) ඒ අතර හිටියා. එතැන දී අපි බැලුවේ ප්‍රතිවාදී කණ්ඩායම පීඩනයකට ලක් කරනවාට වඩා අපේ හැකියා‍වෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක. විශේෂයෙන්ම පීඩනයක් ආවොත් කවුද ඒ වෙලාවට පන්දු යවන්න ගේන්නේ, මොන වගේ තැන්වලට ද අපි පන්දු යැවිය යුත්තේ වගේ දේවල්. ඒ වගේම අපි අවස්ථානුකූලව හැසිරෙන්න කොහොමද කියන එක ගැනත් ගොඩක් කතා කළා”.

“විශේෂයෙන්ම අපි උත්සාහ කළේ ඒ ඒ ක්‍රීඩකයන්ට පැවරෙන වගකීම මොකද්ද කියන එක ගැන ඒ ක්‍රීඩකයන්ට අවබෝධයක් ලබා දෙන්න. ඒ දේ ගොඩක් සාර්ථක වුනා කියලා මම හිතනවා. ඒ තරගයේදි අපි යැව්ව අවසන් පන්දුවාර 4 කොහොමද දැම්මේ කියන එක ගැන අදටත් ලෝකයා කතා කරනවා. එක පාරටම ඒ දේවල් කරන්නත් බැහැ. නමුත් කළ යුතු දේ අපි වටහා ගත්තා. අපේ දක්ෂතාව ඕන වෙලාවක අපිට යොදා ගන්න පුළුවන් කියන මානසිකත්වයකයි අපි හිටියේ. ඒත් දක්ෂතා ඒකාකාරීව පවත්වා ගෙන යන එකයි අමාරුයි. අපි අවධානය යොමු කළේ අන්න ඒ දේවල් ගැන”.

ඉන්දීය කණ්ඩායම යනු IPL නිසාවෙන් එකවර විස්සයි20 තරග රටාව තුල සිය අත්දැකීම් දෙගුණයකින් තෙගුණයකින් පමණ වර්ධනය කර ගත් කණ්ඩායමක් බව මුළු ලොවම දන්නා කරුණකි. එම නිසාවෙන් එවකට අන්තර්ජාතික විස්සයි20 පිටියේ භයානකම පිතිකරණ බලඇණිය ඉන්දීය පිතිකරණ බල ඇණිය යැයි කීමේ කිසිම වැරැද්දක් නැත.

මාලිංග පවසා ඇති පරිදී ශ්‍රී ලංකාව යැවූ එම අවසන් පන්දුවාර 4 සඳහා මුහුණ දුන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනෙකු වන, 2011 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් යුවරාජ් සිං, වත්මන් කණ්ඩායම් නායක විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ය.

ඔවුන් පිතිකරුවන් අතර දැවැන්තයන් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඔවුන්ට අවසන් පන්දු 24 තුළ දී ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. මෙහි 18 සහ 20 වැනි පන්දුවාර යැවීම සිදු කළේ මාලිංග විසින් වන අතර මෙම ලෝක කුසලානයේ වැඩි වගකීමක් ඉටු කළ පන්දු යවන්නා බවට පත් වෙමින් ඔහු විසින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ පිළිවෙළින් ලකුණු 4ක් සහ 7ක් පමණි.

“ගොඩක්ම බැලුවේ හයේ, හතරේ ඒවා නොදී ඉන්න. ඒ අරමුණින් පන්දු යැව්වොත් අපිට කඩුලු ලබාගන්න අවස්ථාවක් නැති බව අපි දැනගෙන හිටියා. හැබැයි අපිට වෙන ඩැමේජ් එක අඩුයි කියන විශ්වාසයෙන් අපි හිටියා. අවසානයේ අපි ඒ දේ කළා. කොච්චර දක්ෂ පිතිකරුවන් හිටියත් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක දී ලකුණු 130කට සීමා කරන්න අපිට එදා පුළුවන් වුනා. අන්න ඒකයි මං කලිනුත් කිව්වේ ඔවුන්ගේ දක්ෂතා ගැන හිතනවාට වඩා අවධානය යොමු කළ යුත්තේ අපේ දක්ෂතා ගැනයි කියලා”.

ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු අවසන් මහා තරගයට පෙර දින රාත්‍රියේ හෝ තරගය පැවති දින උදෑසන හෝ මුණ නොගැසුණු බව පවසන මාලිංග, කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ද අපූරු සිදුවීමක් බව පවසා තිබුණි.

“මට මතකයි කවුරු හරි මට කිව්වා දෝනි එක්ක ටොස් එක දිනන එක හරි අමාරුයි කියලා. එයා කවදාවත් මේ වගේ ලොකු තරගවල දී ටොස් එක පරාද වෙන්නෙ නෑ කියලා. ඒ වෙලාවෙදි ඒ කියපු කෙනාට මං කිව්වා ‘රයිට් OK. මෙදා පාර බලන්න ටොස් එක අනිවාර්යයෙන්ම මම දිනනවා කියලා. ඒ වෙලාවේ මාත් එක්ක නිරෝෂන් කියලා අපේ ඇනලයිසර් කෙනෙකුත් මගේ එහා පැත්තේ හිටියා. කිව්ව විදියටම මගේ වාසනාවට එදා මම ටොස් එක ජයග්‍රහණය කළා. ඒකත් මේ ලෝක කුසලානයේ පොඩි පොඩි සුන්දර මතකයන් අතරට එකතු වුන කරුණක්”.

“ඉන්දීය කණ්ඩායම ගත්තහම අපි දන්නවා එයාලා හඹා යන්න ගොඩක් කැමති කට්ටියක්. නමුත් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් වගේ ගත්තොත් ලකුණු පුවරුවේ ලොකු ස්කෝර් එකක් තිබුනොත් ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා. අපේ වාසනාවට ටොස් එක දිනුවා. ඒ තීරණය ගොඩක් සාර්ථක වුනා” යැයි වචන අතරින් වූ මුවඟ රැඳී සිනහවත් සමඟ මාලිංග පවසා තිබුණි.

“මට මතක විදියට ෆයිනල් එක දවසේ අපිට එච්චරම පීඩනයක් තිබුණේ නෑ. ගොඩක්ම සෙමි ෆයිනල් මැච් එකේ තමයි පීඩනය තිබුණේ. මොකද ඊට කලින් අවුරුද්දේ අපි පැරදුණු කොදෙව් කණ්ඩායම අපේ ප්‍රතිවාදීන් බවට පත්වෙලා තිබුණ නිසා. තරගය දවසේ කිසිම දෙයක් මම මගේ ක්‍රීඩකයන්ට කිව්වේ නෑ. මොකද කියන්න තියෙන දේවල් ඔක්කොම කලින් දවසේ රෑ කියලා තිබුණ නිසා. ඒ තරමටම මට ඔවුන් ගැන විශ්වාසයක් තිබුණා. මට තිබුණේ ඔවුන්ට සුබ පතන එක විතරයි” යැයි තරගයේ පීඩනය සම්බන්ධයෙන් මාලිංග අදහස් දක්වා තිබුණි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු දෙකක් සහ මෙරට පහළ වූ අග්‍රගණ්‍ය ක්‍රීඩකයන් දෙදෙනෙකු වන හිටපු නායක මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරගේ දශක දෙකකට ආසන්න ක්‍රිකට් දිවියේ සමුගැනීම සටහන් වුණු මෙම ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔවුන්ගෙන් ලැබුණු සේවය කියා නිම කළ නොහැකි බව ද මාලිංග පවසා තිබුණි.

“මං පන්දු රකින තැනේ හැටියට ෆීල්ඩර් කෙනෙක් දැම්මොත් ඒ ඈන්ගල් එක හරි ද කියලා බැලුවේ කුමාර අයියා. එයා විකට් කීපර් නිසා ඒක එයාට හොඳට පේනවා. ඒ වගේම මම පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියන එක මහේල අයියා හොඳට දන්නවා. ඒක නිසා මං ගත්ත ගොඩක් තීරණ එයත් එක්ක ගැළපුණා. සීනියර්ස්ලා හිටියා කියලා කැප්ටන්ලා හිටියා කියලා කිසිම කරදරයක් මට තිබුණේ නෑ. ඒක තමයි මේ ජයග්‍රහණයේ රහස” යැයි මාලිංග පවසි තිබුණි.

මෙම තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා (ලකුණු 77) බවට පත්වූ විරාත් කෝලි ලකුණු 11ක් ලබා සිටිය දී, හේරත්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් මාලිංග අතින් ගිලිහී නොයන්නට මෙම ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි. නමුත් ඒ පිළිබඳ මාලිංග දරන්නේ හාත්පසින්ම වෙනස් අදහසකි.

“නෑ. අපි හැම තිස්සෙම බැලුවේ ලකුණු නවත්තන විදිය ගැන. කෝලි 77ක් ගැහුවත් අපිට පුළුවන් වුනා ඔවුන්ව ලකුණු 130කට නවත්වන්න. එක පිතිකරුවෙක් කොච්චර ලකුණු ගැහුවත් එයාට අන්තය නොදී අනිත් අයව පීඩනයකට පත් කරන එකයි අපේ සැලසුම වෙලා තිබුණේ. විරාත් කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඒත් ඒ ටීම් එක ගත්තහම ඒ වගේ අය ගොඩක් හිටියා. ඉතිං අපිට එයා අවුට් කරගත්තා කියලා නිදහස් වෙන්න බැහැ. ඒ කැච් එක අත ඇරුණු එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එහෙම නැතුව (සුරේෂ්) රයිනා වගේ ඇවිල්ලා පහර එල්ල කරලා ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කළා නම් මේ තත්ත්වය එහෙම් පිටින්ම වෙනස් වෙන්න තිබුණා” යැයි මාලිංග පවසා තිබුණි.

 

Comments