
තුඩැල්ල දෑලතුර ප්‍රදේශයේ සොරකමේ ගිය පුද්ගලයකු ප්‍රදේශවාසින් විසින් අල්ලා පමුණුගම පොලිසියට බාර දී තිබුණේ ඉකුත් සතියේදීය. ප්‍රදේශවාසීන් එකතු වී සොරාට හොඳහැටි පහර දී තිබූ බැවින් පමුණුගම පොලිස් නිලධාරින් විසින් ඔහුව රාගම රෝහලට ඇතුළත් කෙරිණි. මෙහිදී රෝගියාව පරීක්ෂා කිරීමේදී ඔහු කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ අයකු බව හෙළිදරව් විය. සොරකමේ ගිය පුද්ගලයා තවත් දෙදෙනකු සමඟ සොරකමේ යෙදුණු බවත් ඔවුන් දෙදෙනා පලා ගිය බැවින් අල්ලාගත හැකි වූයේ මෙම තැනැත්තා පමණක් බවත් ප්‍රදේශවාසීන් දන්වා සිටි බැවින් ඔහු සමඟ ගිය දෙදෙනා සොයා ගැනීමට පොලිස් නිලධාරින් උත්සුක වූයේ ඔවුන්ට ද කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව වැඩි නිසාය. ඊට අමතරව සොරකමේ ගිය පුද්ගලයා පදිංචි තුඩැල්ල සුදුවැල්ල ගමම නිරෝධායනයට ලක් කෙරිණි.
බැලු බැල්මට මෙය සිනහව උපදවන කතාවක් වුවද මෙයින් ගම්‍ය වන භයංකාරත්වය සුළුපටු නැත. කොරෝනා වෛරස් ආසාදිතයකු වාසය කරන ගමම, ඔහු ගිය මාවතම පමණක් නොව ඔහු සමීපව සිටි පුද්ගලයන් සියලු දෙනාම අමාරුවේ වැටෙන්නෙ කෝවිඩ් 19 වෛරසය ඒ තරමටම භයානක නිසාය.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ භයානකකම පැය 24 මුළුල්ලේ මාධ්‍ය මඟින් දැනුම්වත් කළ ද ඒ ගැන කිසිදු තැකීමක් නොකරන අය ද තවමත් අපේ සමාජයේ සිටිති. ඇතැමුන් සැඟවී සිටින්නේ කොරෝනා අසභ්‍ය ක්‍රියාවකින් වැලඳෙන රෝගයක් යැයි සිතාගෙන විය යුතුය. මෙවැනි දුර්මත සමඟ සිටින පුද්ගලයන් නිසා විනාශ වන්නේ ඔවුන් පමණක් නොවේ. ඔවුහු සමාජයම විනාශ කරති. ලංකාවේ 7 වැනි කොරෝනා මරණය ඊට හොඳම නිදසුන ලෙස දැක්විය හැකිය. ඔහු ජර්මනියේ සිට මිතුරකු සමඟ පැමිණි අතර මිතුරා කොරෝනා ආසාදිතයකු බව දැනගැනීමෙන් අනතුරුව පුද්ගලික රෝහලකින් පරීක්ෂණයක් සිදුකරගෙන කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබුණි. එහෙත් ඔහු ප්‍රතිකාර සඳහා යොමු නොවී සැඟවී සිටීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරින්ට ඔහු සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. පසුව ඔහුව අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ අතර ඔහුටත් ඔහුගේ බිරිඳටත් නඩු පවරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරින්ගේ නියෝගයන්ට අවනත නොවීම සහ නිරෝධායන නීතිකඩ කළ බැවිනි. අවසානයේදී ඔහු මියගියේ ලංකාවේ 7 වැනි කොරෝනා මරණය ලෙස සටහන් වෙමිනි. ඔහුගේ වරදින් දඬුවම් ලැබුවේ ඔහු පමණක් නොවේ. ඔහුගේ බිරිඳ, දුව, පුතා සහ මව කොරෝනා රෝගින් බවට පත් වූයේ ඔහුගේ වරදිනි.
වගකීම් විරහිතව හැසිරෙන මෙවැන්නන් නිසා කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, මීගමුව මූලික රෝහල, මහරගම අපේක්ෂා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල වැනි රෝහල්වල ඇතැම් වාට්ටු සීල් තැබීමටත් රෝහල් කාර්ය මණ්ඩලයට නිරෝධායනය වීමටත් සිදු විය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අය රෝගි වුවහොත් සෞඛ්‍ය පද්ධතියේ හැකියාව හෙවත් ධාරිතාව පහත වැටෙනු ඇත. කෝවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා 2020 අප්‍රේල් 09 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙන්නෙ එබැවිනි.
මේ වන විට අපේ රට පවතින්නෙ වසංගතයේ තෙවැනි අදියරේ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, සිව්වැනි අවස්ථාව හෙවත් වසංගත අවධියට එළැඹුණහොත් එය පාලනය කිරීම ඉතා අසීරු කටයුත්තක් බව දන්වා සිටියි. ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් ක්‍රමෝපායන් කීපයක් යෝජනා කර තිබෙන්නේ එකී සිව්වැනි අදියර හෙවත් වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහාය. එකී යෝජනා මතු දැක්වේ.
1. ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් වසංගත ප්‍රතිචාරය සමායෝජනය කිරීම
ජාතික මට්ටමේ සහ බිම් මට්ටමේ කණ්ඩායම් අතරත් රෝග නිවාරණ සහ ප්‍රතිකාර කාර්ය මණ්ඩල අතරත් මේ එක් එක් කාණ්ඩයේ අනු කාණ්ඩ අතරත් වඩාත් ඵලදායි සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා නැවත පසු විපරමක් අත්‍යවශ්‍ය බව මෙයින් අදහස් කෙරේ.
2. “සෑම විටම පරීක්ෂා කරනු“ යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමෝපාය අනුගමනය කිරීම
කෝවිඩ් 19 රෝගය ඇතැයි සැක සහිත අය සොයා යෑම, ඔවුන් ඇසුරු කළ අය සහ ආගිය තැන් සොයා යෑම මඟින් වසංගත තත්ත්වය පාලනය කර ගත හැකිය. මෙහිදී රෝග ලක්ෂණ පෙන්වන අය මෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයන් හඳුනාගෙන RT, PCR පරීක්ෂණ සිදු කළ හැකිය. ඒ සඳහා යෝජනා කීපයක් මතු දැක්වේ.
තාක්ෂණික විශේෂඥ මණ්ඩලයක් මඟින් රෝගය ඇති බවට සැක සහිත පුද්ගලයන් සහ ඇසුරු කළ අය වඩාත් වැඩි ගණනක් පරීක්ෂණයට ලක් කළ හැකි පරිදි පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් වඩාත් පුළුල් කළ යුතුය. එලෙසම පරීක්ෂණයට ලක් කළ යුතු පුද්ගලයන්ගේ පැහැදිලි ප්‍රමුඛතා ක්‍රමවේදයක් සහිතව සංශෝධනය කළ යුතුය. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැති අනෙකුත් රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරින් සහ RT, PCR පරීක්ෂණ පිළිබඳ අත්දැකීම් ඇති Gene Xepert යන්ත්‍ර සහිත රසායනාගාරවල සේවයේ නියුතු විද්‍යාඥයන්ගේ සේවය ලබා ගැනීම.
ඉහත කී Gene Xepert යන්ත්‍ර යොදාගෙන වෛද්‍ය පර්යේෂණායතනය තුළ වඩා විශාල රසායනාගාරයක් පිහිටුවා එහි සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරින් සහ ඉහත කී විද්‍යාඥයන් යෙදවීම.
එකවර පරීක්ෂා කළ හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ දැමිය හැකි ක්‍රමවේදයක් වන නියැදි එකට දමා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය (Pooled Sampling) PCR පරීක්ෂණය සඳහා යොදා ගැනීම.
ප්‍රතිදේහජනක (Antigen) හා ප්‍රතිදේශ (Antibody) ක්ෂණික පරීක්ෂාවන් යොදා ගැනීමේ විද්‍යාත්මකභාවය හා ශක්‍යතාව පිළිබඳව සොයා බැලීම.
3. වසංගතයේ විකාශනය පිළිබඳ විද්‍යාත්මක පුරෝකථන
වසංගතයේ ඉදිරි හැසිරීම පිළිබඳ හැකිතාක් දුරට නිවැරැදි පුරෝකථනයක් ලබා දිය හැකි, ශ්‍රී ලංකාවට ආවේණික වූ තත්ත්වයන් හා දත්ත මත පදනම් වූ මොඩලයක අවශ්‍යතාව මෙයින් අදහස් කෙරේ.
4. අපේක්ෂිත අවස්ථා පදනම් කර ගත් ප්‍රවේශය
අවස්ථාව 1 - ප්‍රජාව තුළ රෝගය සම්ප්‍රේෂණය වෙමින් රෝගින්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ යෑම සහ රෝග වැළැක්වීමේ ක්‍රමවේදයන්ගේ පාලනයේ සීමා ඉක්මවා යෑම. (ඇතිවිය හැකි නරකම තත්ත්වය මෙයයි)
අවස්ථාව 2 - දැන් පවත්නා පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියට බරක් නොවෙමින් අතරින්පතර රෝගින් වාර්තා වීම.
අවස්ථාව 3 - සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අය රෝගි වීම සහ සැපයුම් පහත වැටීම නිසා සෞඛ්‍ය පද්ධතියේ හැකියාව හෙවත් ධාරිතාව පහත වැටීම.
අවස්ථාව 4 - වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවීම.
මෙම අවස්ථාවන් කල් තබා හඳුනාගෙන ඊට මුහුණදෙන ක්‍රමවේදයක් ඇති කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.
5. මුඛ ආවරණ පැලඳීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශකත්වය.
6. ස්වයං නිරෝධායනය සහ මධ්‍යස්ථානයන්හි නිරෝධායනය.
7. කෝවිඩ් 19 රෝගින් සඳහා ප්‍රතිකාරය
8. කෝවිඩ් 19 නොවන අනෙකුත් රෝගින් සඳහා සත්කාරය
කෝවිඩ් 19 ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු අතර හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙණ අයට ද ප්‍රතිකාර කිරීමට ඉඩ ප්‍රස්ථා දිය යුතුය. ඇතැම් රෝහල්වලින් එවැනි රෝගින් ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සේවා සැපයීම ප්‍රමාද වීමත් නිසා කෝවිඩ් 19 රෝගය හැර සෙසු රෝගවලින් මරණයට පත් වීමේ අවදානමක් තිබේ. එය වළක්වා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
9. පිටවීමේ මඟ අගුළු දැමීම.
ඇඳිරි නීතිය නියමිත කාලයට පෙර ඉවත් කළහොත් වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබේ. එය දිගටම පවත්වාගෙන යෑමෙන් රටේ ආර්ථිකය සහ ජනතාවගේ චිත්ත ධෛර්යය බිඳ වැටීම සිදු විය හැකිය. එබැවින් වසංගතයේ සියලු පැතිකඩ සහ ප්‍රජාවගේ මූලික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙයින් සාකච්ඡා කෙරේ.
10. රෝගින් හංවඩු ගැසීම / කොන් කිරීම
රෝගින් හංවඩු ගැසීම නිසා ඇතැම් අය සැඟවී සිටීමේ අවදානමක් පවතී. එබැවින් එවැනි අදහස් සමාජයෙන් දුරු කර නිරෝධායනය සඳහා යොමු වීමේ වැදගත්කම සමාජයට කියා දීම තුළින් වසංගත තත්ත්වය පාලනය කර ගත හැකිය.
11. මහජනතාව දැනුවත් කිරීම.
12. අනෙකුත් රටවල සාර්ථක හෝ අසාර්ථක ක්‍රමවේදයන් තුළින් ඉගෙන ගැනීම.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම පාලනය කර ගැනීම සඳහා ක්‍රමෝපායන් කීපයක් ඉදිරිපත් කර ඇති අතරවාරයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ලිහිල් නොකර තවදුරටත් පවත්වා ගැනීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවයි. පවතින තත්ත්වය ලිහිල් කළහොත් මෙම සාධනීය තත්ත්වය වෙනස් විය හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළුව සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් මහජනතාව විසින් තවදුරටත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර සිටියි.