ආසියානු රග්බි තරගාවලියත් ඔක්තෝබර් දක්වා කල් යයි | සිළුමිණ

ආසියානු රග්බි තරගාවලියත් ඔක්තෝබර් දක්වා කල් යයි

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අප්‍රේල් මස 29 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කොවිඩ්19 හේතුවෙන් උද්ගත වී ඇති අවදානම නිසා ලබන ඔක්තෝබර් මස දක්වා කල්දැමීමට ආසියානු රග්බි සංගමය තීරණය කළ බව ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න පවසයි.

මෙම තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් හතර සහභාගි වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න පවසන්නේ ලෝකයම පත්ව ඇති අවදානම් තත්ත්වය මත තරගාවලියක් පැවැත්වීම ගැන සිතීමටවත් හෝ නොහැකි බවයි.

“ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ආසියානු රග්බි සංගමය සංවිධානය කරන සියලුම තරගාවලි මේ වන විට කල්දාලයි තියෙන්නේ. ඒවා පැවැත්වෙන දින දැන්ම කියන්න බෑ. ආසියානු රග්බි සංගමය ඇසුවා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් මාසය දක්වා කල්දාමුද කියලා. මම එයට එකඟ වුණා“ යැයි සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

 

Comments