
"මම ඉතාලියේ ඉදලා ආවේ පසුගිය තුන්වෙනිදා, එදා ඉදලා අද දක්වා ස්වයං නිරෝධායනයට ලක් වුණා. මේ ගෙවිච්ච දවස් පහළොව තමයි මගේ ජීවිතේ ගත කළ අමතක නොවන දවස් කීපය. හැබැයි මම ඒ කාර්ය සතුටින් කළා" ස්වයං නිරෝධායනයට ලක්වූ නාත්තන්ඩියේ පළමු කාන්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවේ එසේ පැවසුවේ සතුටු කදුළු ද වගුරුවමිනි.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මේ කාන්තාව ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට ලක්වූ අතර නාත්තන්ඩිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හතර දෙනෙකු මේ පවුලේ නිරීක්ෂණය කටයුතු සදහා යොදවා තිබිණි. පසුගිය 18 වැනි දින පස්වරුවේ නිරෝධායන කටයුතු වලින් මේ පවුලේ සමාජිකයන් නිරෝධායනයෙන් නිදහස් කරමින් පුද්ගල වෛද්‍ය සහතිකයක් නිකුත් කිරීම හා ප්‍රදේශවාසීන්ට ඒ බව දැන්වීම සදහා නිවස ඉදිරිපිට දැන්වීමක් මඟින් ප්‍රසිද්ධ කරන ලදී.
ඉතාලියේ සිට පැමිණි ඇතැම් පිරිස් සියලු පහසුකම් ලබා දී නිරෝධායනය කිරීමට කටයුතු කරද්දී නිරෝධායනයෙන් මිදී පලා යද්දී මේ පවුල විසින්ම ඔවුන්ට පමණක් නොව ලංකාවටම ලබා දුන්නේ ආදර්ශයකි. ඒ ස්වයං නිරෝදායනයට ලක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක ප්‍රකාශ කළේ එම පවුලේ සාමාජිකයන් ඉතා හොදින් තම අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයකට ලක් වූ බවයි. ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීමට තමන් පියවර ගත් බවද වෛද්‍ය උපුල් ජයතිලක වැඩිදුරටත් පැවසීය.
![]() |
නිවෙස් හිමියන් නිරෝධායනයට ලක් වූ බවට ලබා දී ඇති සහතිකය
|
නාත්තන්ඩිය නගරයට ඉතා සමීපව පිහිටා ඇති මේ නිෙවසේ සිටි කාන්තාව ප්‍රකාශ කළේ පසුගිය දින කීපයේ තමන්ට විවිධාකාරයේ තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදු වූ බවයි.
"අපි දිහා මිනිස්සු බැලුවේ අමුතු විදිහට. ඒ අවස්ථාවන්හිදී අපි ඇත්තටම අසරණ වුණා. නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් අපි දැනගෙන හිටියා අපිට කිසිම රෝගී තත්ත්වයක් නැහැ කියලා නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉවසීමෙන් සියල්ල විඳ දරා ගෙන සිටියා. කෙසේ වෙතත් දැන් ලොකු සතුටක් තියෙනවා. රජය පිළිගෙන තිබෙනවා අපිට කිසිදු ආසාදනයක් නැහැ කියලා. ඒ පිළිබඳ අපිට සහතිකයක් පවා නිකුත් කරලා තියෙනවා. ඒ නිසා දැන් බය නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. අපි ගම වෙනුවෙන් රට වෙනුවෙන් රටේ නීතියට අනුව වැඩ කළා. ඒ ගැන අපිට සතුටුයි"
පොලිස් ඇදිරි නිතිය
නව කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පුත්තලමට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පසුගිය බදාදා (මාර්තු 18) පස්වරු 4.30 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවිණි. හලාවත පම්බල පදිංචි බර්නාඩ් අප්පුහාමි (75) කියා සිටියේ තමන් දන්නා ඉතිහාසයේ අසනීපයක් නිසා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය බවයි.
මේ පොලිස් ඇඳිරි නීතිය පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරච්චෝලේ සහ සාලියවැව යන පොලිස් බල ප්‍රදේශවලටත් හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව හා ආරච්චිකට්ටුව යන පොලිස් බල ප්‍රදේශවලටත්, මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන ලදී.
මෙම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර දීමේ කටයුතු සිදු කිරීමට බාධාවක් නොවූ අතර ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකි බවට පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
පොලිස් ඇදිරි නිතිය ක්‍රියාත්මක කිරීමට පෙර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීමටද පොලිසිය පියවර ගත් අතර ඊට අමතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයට පිවිසෙන හා පිටවන සියලු මංමාවත් ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යෙදීමටද පියවර ගැනිණි.
අධිකරණයෙන් නොතීසි
මේ අතර ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණි සිටි පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට දින 14ක කාලයක් බැහැර නොවන ලෙස මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා උපදේශාත්මක නොතිසි නිකුත් කර ඇත. දිසා විනිසුරුවරයා විසින් මෙසේ තහනම් නියෝග නිකුත් කරන ලද්දේ නාත්තන්ඩිය, කටුනේරිය, මාවිල සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටය.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක විසින් මාරවිල අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය අධිකරණය මේ නියෝගය නිකුත් කර තිබේ.
වර්ග කිලෝ මීටර් 71.4ක භූමියක 68402 දෙනෙකුගෙන් සමන්විත ජනගහනයක් වෙසෙන නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම සදහා සහාය වන ලෙස අධිකරණයට කරුණු දක්වමින් වෛද්‍ය උපුල් ජයතිලක කියා සිටියේය. දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය ප්‍රකාරව
සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය අනුව තමන් මෙම ඉල්ලීම සිදු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
මේ වන විට ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට පැමිණ සිටින ඇතැමුන් නිරෝධායන කටයුතුවලට ලක් නොවීමෙන් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනත නොවී කටයුතු කරන බවත්, එම පිරිස 65 දෙනෙකු වන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලත විසින් අධිකරණ හමුවේ සිදු කරන ලද දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදි. ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන් විසින් නම් කර ඇති 65 දෙනාට වෙන වෙනම අදාළ නියෝගය නිකුත් කිරීමටත් දිසා විනිසුරුවරයා කටයුතු කරන ලදි. අත්‍යාවශ්‍යම මානුෂීය කටයුත්තක් සඳහා වුවද සෞඛ්‍ය නිලධාරීන්ගෙන් නිසි අවසරයක් ගෙන පමණක් තමන් පදිංචි නිවෙස් වලින් බැහැරට යා යුතු බවටද එම නියෝගයේ දැක් වේ.
බාධකය හඳුනා ගැනීම
නව කොරෝනා වයිරස් ආසාදනය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනයට ප්‍රධාන අභියෝගයක් වී ඇත්තේ, මාර්තු 01 සිට 09 දක්වා කාලය තුළ නිරෝධායනයට ලක් නොවී 2000ක පමණ පිරිසක් රට තුළට ඇතුළු වීම බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. මේ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයේත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ජීවත් වන බව වාර්තා වී ඇති අතර එයින් වැඩි පිරිසක් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. එවැනි අයගේ තොරතුරු පිලිබඳව නිරන්තරයෙන් මහජනතාවගෙන් තොරතුරු ලැබෙන බව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මිට අමතරව රජය මගින් සිදුකරන දැනුවත් කිරීම් හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් තමන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එලෙස ස්වයං නිරෝධායනයට ලක්වූ ජර්මන් ජාතිකයන් සිව් දෙනෙකු පිළිබදව පසුගිය 18 වැනි දින නාත්තන්ඩියෙන් වාර්තා විණි.
පොලිසිය හා බුද්ධි අංශවල නිලධාරීන්ගේ ද සහාය ඇතිව, ඔවුන් නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනයට පියවර ගත්ත ද ඇතැමුන් එම උපදෙස් පිළි නොපදින බව කොවිඩ් - 19 මර්දනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසුගියදා පැවසිය.
''විශේෂයෙන් පුත්තලමේ අයගෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. එසේ නොකොළොත්, තවදුරටත් ව්‍යාප්ත වෙන්න ගියොත් ඒ ප්‍රදේශ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා,'' යනුවෙන් යුද්ධ හමුදාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
විදෙස් ගතව සිට පැමිණි අයගේ විනය ප්‍රශ්නයක් ඇති අතර විශේෂයෙන් පුත්තලමේ ඇතැම් ප්‍රදේශවල සංචරණය සීමා කරමින්, ඒ ප්‍රදේශවලට ගත යුතු පියවර ගැන කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කළ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිනිය ද පැවසුවාය.
කෙසේ හෝ ස්වයං නිරෝධනයට පත් වන අයට පවා ඇතැම් පිරිස්හි ක්‍රියාවන් නිසා මුහුණ පාන්නට සිදුව ඇත්තේ දැඩි අපහසුතාවකටය. පුත්තලම දිස්ත්‍රික්කයේ වසංගත රෝගයක් නිසා ඇඳිරි නීතිය පනවන්නට සිදුවීමත් නිවෙස්වල රැදී සිටින ලෙසට අධිකරණ නියෝගයක් ලබා දීමත් වසර 75කට මෙපිට කාලයක් තුළ සිදුව ඇත්තේ ප්‍රථම වතාවට වීමෙන් එයද එක්තරා අයුරකින් ඉතිහාසය හා එක් වනු ඇත.
ඡායාරූප පුත්තලම දිසා සමුහ