
මේ වන විට ලෝක ඉතිහාසයේ අන් කවරදාවත් නොමැති ලෙස මිනිසා ඇසට හෝ නොපෙෙනන අංශු මාත්‍රික ජීවියකු හමුවේ අසරණ වී සිටියි. මිනිසා විසින් ස්වකීය අතිශය දියුණු මනස මෙහෙයවා සකස් කරන ලද, නිපදවන ලද න්‍යෂ්ටික අවි, අභ්‍යවකාශ යානා, ඔත්තු බලන චන්ද්‍රිකා, ඩ්‍රෝන අවි, කෘත්‍රිම බුද්ධිය යනාදී මේ සියල්ල යල් පැනගොස් තිබේ.
ඒ කිසිවකින් කිසිදු ප්‍රතිඵලයක් මිනිසාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මොහොතේදී ලැබෙන්නේ නැත. වයිරසය පරාද කිරීම පහසු නොවේ. ඒ සඳහා කළ හැකි එකම දෙය නම් මිනිසා එකාවන්ව එක අරමුණක සංවිධාන ගත වීමය. ඒ හැර අන් කිසිදු ක්‍රියාමාර්ගයක්, අවියක් හෝ ඖෂධයක් මේ මොහොතේ සාර්ථක නැත.
එක අරමුණක සංවිධාන ගත වීම යනු මේ මොහොතේ සමාජයේ ක්‍රියාත්මක විය යුතු නීතීරීතිවලට පහසුවෙන් අනුගත වීමය. සමාජ දුරස්ථකරණය, නිරෝධායන නීතිරීතිවලට අනුගත වීම, ඇඳිරි නීතියට, ලොක්ඩවුන් නීතියට අනුගත වීම යනාදිය මෙන්ම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීමද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුගතවීම් බොහෝ රටවල සමාජ ස්ථරයන්ට අපහසු වී ඇති බව පෙනේ.
උදාහරණ ලෙස චීනය මේ අනුගත වීම් සාර්ථකව ක්‍රියාත්මක කළ අතර යුරෝපයේ බහුතරයක් රටවල් අසාර්ථක වී තිබේ. ඉතා ක්‍රමාණුකූලව මිනිසුන් අතර ඇති කර ගන්නා අවබෝධයෙන් සහ ඉන්පසු ඇති කර ගන්නා අවබෝධයෙන් මෙන්ම, සංවිධානය කර ගත යුතු පැවැත්ම මගින් මිස වයිරසය පැරදවිය හැකි මගක් මේ මොහොතේ නොමැත. මේ සංවිධානය වීම එක් දිනයකින්, සතියකින් හෝ මාසයකින් කළ හැකි දෙයක් නොවේ.
ඒ සඳහා යම් රටක, සමාජයක ජනතාව හුරු කිරීමට සැලකිය යුතු කාලයක් ගත වේ. සමාජ විනය මත සියල්ල හැඩ ගැස්විය යුතුය. මෙවැනි සමාජ විනය හැඩගැස්වීමක් දැනට ලෝකයේ සාර්ථකව අත්හදා බලා ඇත්තේ සමාජවාදී රටවල් අතලොස්සකි.
සමාජවාදී නැතහොත්, සමාජවාදී ක්‍රමයට වැඩි නැඹුරුවක් දක්වන යනාදී වශයෙන් මේ රටවල් විග්‍රහ කර ගත හැකිය. චීනය, කියුබාව, රුසියාව, උතුරු කොරියාව වැනි රටවල් මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ වන විට කෝවිඩ් සාර්ථකව පාලනය කර ඇති හෝ සාර්ථකව මුහුණ දෙන රටවල් අතලොස්ස මේ අතර ඇති බව ඔබට වැටහෙණු ඇත.
චීනය කොවිඩ් පාලනයේදී එරට ජනතාවගේ විනය ඉතා ප්‍රයෝජනවත් විය. රටේ උඩ සිට පහළට මනාව පැතිරීගිය බල ධූරාවලියක් පැවති අතර යම් යම් ස්ථරවලදී අසාර්ථක වූ බලධරයන් ඉල්ලා අස්වෙමින් යාන්ත්‍රණය යාන්ත්‍රණය ඉදිරියට ගෙන යෑමට සහයෝගය දැක්වීය. විශේෂයෙන්ම තනිව ලකුණු දමා ගැනීම් හෝ ඡන්ද බලාපොරොත්තුවෙන් වැඩ කිරීම් දක්නට ලැබුණේ නැත. වගකීමට බැදී සිටි බලධාරින් පුදුමයට කරුණක් නොව සාමාන්‍ය දෙයක් විය.
මේ ආකෘතිය ඔස්සේ කටයුතු කළ චීනයේ විනයවත් ජනතාව වයිරසය පැරදවූහ. රුසියාවේ සහ කියුබාවේද මේ හා සමානම නොවූවද සමාජ විනය පැවතීම සහ බලධූරාවලිය සහ වගකීම් ගන්නා පාලකයන්ද රෝගය පාලනය කිරීමට මෙන්ම රටතුල අවම ව්‍යාප්තියක් පවත්වා ගැනීමටද බෙහෙවින් හේතු සාධක විය.
යුරෝපය වයිරසය හමුවේ අසාර්ථක වීම සහ අමෙරිකාව ඉතා භයංකාර අත්දැකීමක මුවවිටට පැමිණීම තුළ ඇත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ සිද්ධාන්තය බව පැවසිය හැකිය.
යුරෝපා ධනවාදී සමාජය තුළ ඇත්තේ එකිනෙකා පරයා යෑමට තරගවදින අතිධාවනකාරී සමාජ රටාවකි. ඒවායේ පාලකයෝ එම තරගයේ නිර්මාතෘවරුද සාමාජිකයෝද වෙති.
එම තරගකාරී සමාජ රටාව තුළ සමාජ විනයක් ඇත්තේම නැත. ඇත්තේ තරගයකි. බලධූරාවලියක් තිබුණද ඒ සියල්ල ජනතා ඡන්දය වෙනුවෙන් පමණි. වගකීමක් නැත.
මෙතෙක් මතුපිටින් පමණක් පවත්වාගෙන ගිය උසස් සමාජයට අයත් යැයි සම්මත හැසිරීම් තත්ත්පර කිහිපයකින් බිද වැටෙණු දැකගත හැකි විය. උදාහරණයක් ලෙස මානව අයිතිවාසිකම් සුරැකීමේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස පිළිගත් ස්විස්ටර්ලන්තයේ ජනතාව සුපිරි වෙළෙදසැල්වලින් බඩු තෝරා ගෙන මිල ගෙවීමට පෝලිම්වල සිටියදී, භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇතැම් දෙනා මිල ගෙවීමට පෝලිමේ සිටින අයගේ කරත්තවලින් භාණ්ඩ සොරකම් කිරීමට කටයුතු කිරීම දැක්විය හැකිය.
ලෝකෙට ලොක්කා වෙමින් ලොව පුරා ඛනිජ ඉන්ධන ඇතුළු සම්පත් අයතා ලෙස තමා සතු කර ගත්, ඒ සහා සියදහස් ගණනින් ජීවිතක්ෂයට පත්වූ යුද්ධ පවා ඇති කළ අමෙරිකාව මේ වන විට වයිරසය පැතිරීම පාලනය කර ගත නොහැකි තැනකට පත්ව අසීරු අවස්ථාවකට මුහුණ දෙමින් සිටී.
ඔවුන්ගේ නවීන අවිආයුධවලින් මේ අවස්ථාවේ ඔවුන්ට පිහිටක් නැත. වයිරසය හමුවේ බලවතුන් දණගසමින් සිටින්නේය.
මෙහිදී ආසියාව සම්බන්ධයෙන්ද අමුතුවෙන් අවධානය යොමු කළ යුතු වේ. ආසියාතික රටවලින් වැඩිහරියක් බුදුදහමේ සංස්කෘතික පෝෂණය ලැබූ රටවල්ය. බුදුදහම සහ සමාජවාදය යනු සමීපව ගමන් ගන්නා දර්ශනයන් දෙකකි. ආසියාතික රටවල ජනතාව බුද්ධියට හා සමානම වටිනාකමක් හැගීම්වලටද ලබා දෙති. එහි අවසානයේ මෙවැනි ව්‍යසන අවස්ථාවක එක්ව බැදෙන සමාජ බැම්මක් පහසුවෙන් ඇති වේ. ඒ හැගීම හා බුද්ධිය එක්ව බැදෙන බැම්ම ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ශක්තිය සපයන්නේය.
විපත්තිදායක අවස්ථාවකදී ආසියාව බොහෝ විට තීරණ ගැනීමට අවසන් මොහොත වන තෙක් සිටින්නේ නැත. තම රටවල පහසුකම් අවම බව දන්නා නිසාම කළ හැකි උත්සාහයන් සියල්ල ආරම්භයේදීම දරන්නේය. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කොව්ඩ් සම්බන්ධයෙන් ක්‍රියාකරන අන්දම දැක්විය හැකිය.
එහිදී මේ රටවල පාලකයන් රටේ ආර්ථිකයේ බිද වැටීම සම්බන්ධයෙන් කණගාටු වෙමින් ජනතා ආරක්ෂාව පසුපසට දැමුවේ නැත. ඔවුන් විශේෂයෙන් ජනතාවගේ ආරක්ෂාව සලකා බැලූහ. එහෙත් ජනතා ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරමින් ආර්ථිකය ගැන පමණක් සිතූ මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ අමෙරිකාව වැනි රටවල් පසුකාලීනව ජනතා ආරක්ෂාව පමණක් නොව ආර්ථිකයද අහිමි කර ගැනීමේ ඉඩකඩ සලසා ගත් බව අමතක කළ යුතු නැත.
ආසියාවේ සෙසු රටවල් සැලකුවහොත් සිංගප්පූරුව මේ වන විට රෝගය පැතිරීමේ උච්චාවචනයන් පෙන්වමින් සිටියද වඩා අනතුරුදායක අවස්ථාවක් කලින්ම මගහරවා ගනිමින් ලොවටම ආදර්ශයක් දුන් බව අමතක කළ යුතු නැත.
පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය වැනි රටවල්ද තවමත් යුරෝපය මෙන් අනාරක්ෂිත යැයි පැවසිය නොහැක. මේ වන විට කෝවිඩ් සම්බන්ධයෙන් යුරෝපා රටවලට සාපේක්ෂව ආසියාව ගම් ගණනක් ඉදිරියෙනි.
කෙසේ වුවද කෝවිඩ් ලෝකය උඩු යටිකුරු කර අවසන් බව පැහැදිලිය. කෝවිඩ් අවසන් වන දිනයක් තවම පෙනෙන තෙක් මානයේ නැති වුවද එය අවසන් වූ දිනයට ලෝකය පෙර පැවති අන්දමින් තවදුරටත් නොපවතිනු ඇති බව නම් ඉරහද සේ විශ්වාසය.